2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ඒ් පින්තූරේ දැක්ක ගමන් මට පිස්සු හැදුණා

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

ඔබේ ජීවිතය ආරම්භ වන්නේ දකුණු පළාතෙන්. ඒ අතීත‍ෙය් ඉඳන් අපි ජීවිතය ගැන කතා කළොත්?
මගේ ජීවිතය පටන් ගත්තේ මාතරෙන්. මම මුලින්ම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයෙන්. මගේ පවුලේ අම්මා තාත්තා දෙන්නා ඇතුළුව හත් දෙනෙක් හිටියා. මම පවුලේ තුන්වැනියා. මට අයියයි, අක්කයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. මම ඒ දවස්වල ඉගෙනගන්න හරිම දක්ෂයි. මම තමයි ඒ කාලේ පන්තියේ පළවෙනියා. පාසැලේ හැම වසරකදීම තිබුණ තෑගි උත්සවයේදී මට අනිවාර්යයෙන්ම තෑගි ලැබුණා. අපි පහළ මධ්‍යම පන්තියේ ජීවිතය ගෙන ගිය අයයි. මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඔහු ගබඩා පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළා. අම්මා රුකියාවක් කළේ නැහැ.

ගමේ ගතකරපු ඒ ළමා කාලය ගැන මතක් කළොත්?
හැම වසරකදීම අපේ පළාත්වලට ගංවතුර ගලනවා. අපේ ගෙවල් හදලා තිබුණේ නිල්වලා ගඟ අසලමයි. ඒ නිසා වැහි කාලේට අපේ ගෙවල්වලට වතුර පිරෙනවා. ඒ කාලේ තමයි අපේ සතුටුම කාලය වුණේ. අපි කඩදාසි ඔරු යැව්වා. මිදුලේ තිබෙන වතුර උඩ අපි පීනුවා. පුංචි කාලේ ඉඳන්ම මගේ නායකත්ව ගතිගුණ තිබුණා. පුංචි කාලේ ඉඳන්ම ගීත ගායනා කරන්න. කවි ගායනයට මම හරි ආසයි.

මාතර ගමේ තිබුණ ඒ ගහකොළට, ස්වභාව දහමට ඔබේ තිබුණ ඇල්ම මොන වගේද...?
පුංචිකාලේ ඉඳන් අද දක්වාම ගහකොළ, මුහුද සහ අහසට මගේ ලොකු සම්බන්ධකමක් තිබුණා. මේවා මගේ ජීවිතේ ප්‍රධානම තැන් වුණා. මම ගහකොළට පුදුමාකාර ලෙස ආදරය කළා. දරුවෙකුට ගහන එක මම ඉවසුවත් ගහකොළට හිංසා කරන එක මට ඉවසගෙන ඉන්න බැරිවුණා. ගහකොළ මම ජීවිතයත් විදිහට තමයි සැලකුවේ. අපේ ගෙවල්වල ඒ කාලේ මැටි පෝච්චි තිබුණා. මම ඒවාවල පැල හිටවලා ඒවා පවා හරි ආදරයෙන් බලාගත්තා. හැමදාම හවසට මම මුහුද අයිනට ගිහින් අර මහ විශාල මුහුද දිහා බලාගෙන හිටියා. ඒ වගේම මුහුදත් එක්ක ගැටුණු ඒ අහස දිහා බලාගෙන හිටියා. හවසට මුහුද දිහා බලාගෙන ඉඳලා මට ඒ කාලේ අපූරු සාහිත්‍යමය සිතුවිලි ඇතිවුණා. හැමදාමත් රෑට ඒ අහස විද්‍යාවට බරවුණා. අහසෙ තිබුණ තාරකා දිහා, රෑ අහස දිහා මම ගෙදරට වෙලා රෑට බලාගෙන හිටියා. පසුකාලේදී මම ලියපු ගීතවලට ඒ ළමා කාලයේදී දැනුණු සිතුවිලි හේතුවක් වුණා. පහුකාලේදී මම කරපු භවත්‍රා වැනි නිර්මාණවලට පාත්‍ර වුණේ ඒ ළමා කාලේදී දැකපු අහසයි.

පුංචි කාලේ ඔබ හීන දැක්කේ කවුරු වෙන්නද...?
මට තාම මතකයි එක අවුරුද්දක අනාගතයේ කවුරු වෙන්නද කැමති කියලා අපෙන් ඇහුවා. පන්තියේ ළමයින්ගෙන් දොස්තරවරු, ලිපිකරුවෝ, ගුරුවරු, නීතිඥවරු හැමෝටම ඕනවුණේ ඒ වගේ චරිත වෙන්නයි. ඒත්... මට වෙනස් කෙනෙක් වෙන්න ඕනවුණා. ඔය කාලේදී මම පයිලට් කියන නම අහලා තිබුණා. හැබැයි ඒ කවුද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. මම එකපාරටම මහ හයියෙන් නැගිටලා පයිලට් කෙනෙක් වෙනවා කියලා කිව්වා. මම තියා පන්තියේ කවුරුවත් පයිලට්ව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම පන්තියේ අයට ලොකු ඕනකමක් වුණා පයිලට් කියන්නේ කවුද කියලා දැනගන්න. පන්තියේ හැමෝම මම ළඟට පිරිලා කවුද පයිලට් කියලා අහද්දී ඉන්නවකෝ... ඉන්නවකෝ... මම කියන්නම් කියලා උන්ගෙන් මිදිලා මම ගෙදරට දුවගෙන ගියා. ගෙදර ගියපු මම ගේ දෙවනත් වෙනකම්ම කවුද මේ පයිලට් කියලා හොයලා බැලුවා. එතකොට තමයි මම දැනගත්තේ පයිලට් කියන්නේ කවුද කියලා. ඊටපස්සේ මම ඒ පැත්තටම යොමුවුණා. මම විද්‍යාව ඉගෙන ගත්තා. ඉංජිනේරු අංශය ඉගෙන ගත්තා. කොහොම නමුත් මම පයිලට් කෙනෙක් වෙන්න බැරිවුණත් මම අවසානයේදී සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කළා.

මාතර සිට බදුල්ලට ආ ගමනේදී ඔබේ ජීවිතේ බොහෝ වෙනස්කම්වලට, කම්කටොළුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද?
ඔව්... මාතර සිට බදුල්ලට ආවට පස්සේ ජීවිතේ බොහෝ ගැටලුවලට මුහුණදෙන්න සිද්ධ වුණා. මගේ එක් සහෝදරයෙක් මුදල් නිරපරාදේ නාස්ති කළා. ඒ නිසා අපිට සල්ලි නැති පරිසරයකට හැඩගැහෙන්න සිද්ධ වුණා. මම හොඳට ඉගෙන ගත්තා. නමුත් මුදල් දී ටියුෂන් ගන්න මට වත්කමක් තිබුණේ නැහැ. මට තාම මතකයි මම රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙකු ළඟට ගිහින් සර්.... මම ඉගෙනගන්න හරි ආසයි. මගේ ආසම විෂය රසායන විද්‍යාව. මට ක්ලාස් එකට එන්න ඕනේ. හැබැයි මට ගෙවන්න සල්ලි නැහැ. කියලා කිව්වා. සර් හරි අපූරු යෝජනාවක් මට කළා. ඒ මම ඔය වගේ ළමයෙක් හොය හොයායි හිටියේ. මේ පන්තියට එන උන් මට සල්ලි ගෙවන්නේ නැහැ. මාසේ අන්තිමට මේ ළමයින්ගෙන් සල්ලි අරගෙන දෙන්න පුළුවන් නම් මම නොමිලේ ඔය ළමයාට උගන්වන්නම්* කියලා කිව්වා. මාත් ඒකට කැමති වුණා. හැම මාසෙ අවසානයේදී මම කොහොම හරි පන්තියේ ළමයින්ගෙන් ක්ලාස් මුදල් ඉල්ලලා දුන්නා. ඒකෙන් මට නොමිලේ සර් ඉගැන්වූවා වගේම මාසේ අන්තිමට මගේ වියදමට පොඩි මුදලක් අතටත් දුන්නා. ඒක තමයි මගේ මාසෙ වියදමට තියාගත්තු පුංචි මුදල. හැබැයි ඒක මට ගොඩක් වටිනවා. මම හැතැප්ම තුනක් හැමදාම පයින් ඉස්කෝලේට ගියා. හැමදාම හවස ඒ හැතැප්ම තුන ගෙවාගෙන පයින්ම ගෙදර ආවා. බස් එකක යන්නවත් සල්ලි අතේ තිබුණේ නැහැ. හවසට මම පන්තිවලට වතුර බීලයි ගියේ. ඒ වගේ කටුක ජීවිතයක් තමයි ඒ කාලේ මම ගත කළේ.

කාලයක් ඔබ ටියුෂන් මාස්ටර් කෙනෙක් නේද?
ඔව්... ඒකත් හරි අපූරු කාලයක්. මගේ අක්කාව විවාහ කරල දෙන්න අපේ ගෙදර සල්ලි තිබුණේ නැහැ. මම ටියුෂන් පන්තියක් පටන් ගත්තා. ඒ ටියුෂන් පන්තිය බදුල්ලේ විශාලම ටියුෂන් පන්තිය වුණා. ඒක මට ආදායම් එන මාර්ගයක් වුණා වගේම අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න විසඳගන්නත් ලොකු හයියක් වුණා. වසර දහසකට වැඩි කාලයක් මම බදුල්ලේ ටියුෂන් පන්ති කළා.

ටෙලිවිව් ආයතනය ආරම්භ කළේ කොහොමද...?
මම මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී ලංකාවට රූපවාහිනිය ඇවිත් තිබුණේ නැහැ. පිටරට යන කෙනෙක් රූපවාහිනියක් ළඟ ඉඳගෙන ගත්තු පින්තූරයකින් තමයි ඒ කාලේ අපි රෑපවාහිනිය කියන දේ බලාගත්තේ. ඔය කාලේදී අපේ යාළුවෙක් ඉන්දියන් ටී.වී. එකක් ගෙනාවා. ඒ යාළුවෝ හපුතලේට ලොකු ඇන්ටනාවක් දාලා ඉන්දියානු චැනල් බලන්න පටන් ගත්තා. ඒවා පැහැදිලි චැනල් නෙමෙයි. මම හිටියේ බදුල්ලේ. හැමදාම උදේට වැඩට ගියාම ඒ හපුතලේ ඉඳන් ආපු යාළුවෝ ටික රෑ බලපු චැනල්වල විස්තර කියවන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙලාවේ මට කතා කරන්න දෙයක් තිබුණේ නෑ... ඒ නිසා මාත් ටී.වී. එකක් ගෙන්වගෙන අඩි හතළිහේ දිග ඇන්ටනාවක් සවිකරගෙන ඒ ඇන්ටනාව කරකවකවා බලන්න පටන් ගත්තා. කිසිම දෙයක් පැහැදිලි නොවුණු එක දවසක හදිස්සියේම කුඩා දරුවෙකුගේ ඡායාවක් පෙනී නොපෙනී ගියා. එදා මගේ පිස්සුව ඒ දැකපු ඇපැහැදිලි ඡායාවත් එක්ක තවත් වැඩිවුණා. හැබැයි ඒකත් එක්ක ආයෙත් මට ඒ වගේ ඡායාවක් දකින්න ලැබුණේ නැහැ. මේ නිසාම මගේ සෞදි අරාබියේ හිටපු අයියාට ලෝකේ තියෙන හොඳම සවුන්ඩ් සෙට්අප් එකක් ගෙනත් දෙන්න කියලා මම සල්ලි වගයක් දීලා තිබුණා. මම හදිස්සියේම සඟරාවක වීඩියෝ ඩෙක් එකක් දැකලා අයියට කියලා ඒ වීඩියෝ ඩෙක් එකත් ගත්තා. එතකොට අපේ කවුරුවත් මේ ගැන අහලවත් තිබුණේ නැහැ. එයා මට ඩෙක් එකත් එක්ක කැසට් වගයකුත් ගෙනත් තිබුණා. ඊට පස්සේ හැමෝම මගේ මේ චිත්‍රපට බලන්න හවසට මම ඉන්න තැනට එන්න පටන් ගත්තා.

චිත්‍රපටයක් කැමරාවකින් රූගත කළේත් ඔය කාලේදීමයි....?
ඔව්... ඒ වෙද්දී මම වර්ණ රූපවාහිනියකුත් අරගෙන තිබුණේ. ඒ ඩෙක් එකේ එක කොටසකට කැමරාවක් සවි කරලා වීඩියෝ ගත කරන්න හැකියාව තිබුණා. මේ නිසා සෞදි අරාබියට ගිහින් මාස හතරයි දවස් විසි එකක් වැඩකරලා කැමරාව ගන්න අවශ්‍ය මුදලත් හොයාගෙන කැමරාවකුත් අරගෙන ලංකාවට ආවා. ඊට පස්සේ මේ ඩෙක් එක යට ලෑල්ලකට තියලා ඒක යාළුවෝ දෙන්නෙක්ට උස්සගෙන ඉන්න කියලා ඒකට විදුලිය ගන්න පොඩි ජෙනරේටරයක් සවිකරලා ඒකත් තව ලෑල්ලක් උඩ තියලා තව දෙන්නෙක්ට උස්සගෙන ඉන්න දීලා කැමරාවෙන් ගමේ එක එක දේවල් වීඩියෝ කරන්න පටන් ගත්තා. ඒක තමයි මගේ ආරම්භය වුණේ. බදුල්ල ගැන හදපු බදුල්ල සිරි තමයි මගේ මුල්ම චිත්‍රපටය වුණේ. පසුව මම කාලයක් රූපවාහිනියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් ලෙසත් සේවය කළා.

ඔබ හරි අපූරු ගීත රචනා කරලා තිබෙනවා? ඒ ආභාෂය ලැබුණේ කුඩා කාලේදීමද?
ගීත හතළිහක් විතර රචනා කරලා තියෙනවා. ඒකෙන් පහකට පමණ සම්මාන ඇගයීම් ලැබිලා තියෙනවා.

අපිට ඔබේ පවුලේ විස්තර ටිකක් කියමුද?
මම විවාහ වුණේ සිරිමා කාන්තිනී රත්නායක එක්ක. ඇය මගෙන් ඉගෙනගත්තු කෙනෙක්. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. එක පුතයි දුවලා දෙන්නයි. ඒ තුන්දෙනාම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම හිතපු බොහෝ දේවල් මම අද හැබෑ කරගෙන තියෙනවා. මම කවදාවත් ඉලක්ක අතහරින්නේ නැති කෙනෙක්.