2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ආසාව වැඩිකමට බලෙන් කියවා ගත්තා

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 143

භෞතිකව අයිතියක් නැති හුඟාක් දේවල් මිනිස්සු ආධ්‍යාත්මිකව අයිති කර ගන්නවා.. එහෙම මගේ කරගන්න එක දෙයක් තමා තමන්ගේම ආත්ම ප්‍රකාශනයක් ලෙස දැනෙන හැඟෙන ගීත... මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්න අපිට හිතුණෙත් ඒ නිසා.. අද කතාබහට කැටුව ආවේ ප්‍රවීණ ගායනවේදී, සංගීතවේදී  අමරසිරි පීරිස්...

ඔබේ නොවන ඔබ කැමතිම ගීතය කුමක්ද?
මහගම සේකර ලියූ ලයනල් අල්ගම සංගීතවත් කළ පණ්ඩිත් අමරදේව ගැයූ ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ළපලු හෙවණේ ගීතය.

ඇයි ඒ ගීතයට එච්චර කැමති?
අමරදේව මහත්තයගේ ඈත කඳුකර හිමව් අරණේ ගීතය මට හුඟාක් දැනුණු සහ මම වින්ඳ ගීතයක්. අපි ගීතය ගැන හදාරන කාලේ මම අහපු ගීතයක් ඒක. ගීතයක් කියන්නේ නිකම් කොළයක ලියන වචන ටිකක් නෙවෙයි. ගීතයක් ලියන්න මනා සාහිත්‍ය දැනුමක් තියෙන්න ඕනෑ. බරසාර ගීතවත් වචන සංයෝජනයක් තියෙන්න ඕනෑ. උපමා, රෑපක, අලංකාර, කාව්‍යෝක්ති අලංකාර ගීතයක තියෙන්න ඕනෑ.

මහගම සේකර, මඬවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, රත්න ශ්‍රී විජේසිංහ, කුලරත්න ආරියවංශ මේ ආදී ගීත රචකයන් ලියූ ගීත අදටත් අපි රස විඳින්නේ ඒ ගීත ගී රසයෙන් අර්ථයෙන් පිරිපුන් නිසා. ඈත කඳුකර හිමව් අරණේ ගීතය අහද්දි මට සංකල්ප රූප මැවෙනවා. නල කුමරුගේ ලස්සන පෞරුෂය මැවිලා පේනවා. රචකයාගේ සංකල්පනාවන් ශ්‍රාවකයා තුළ මැවෙන ආකාරයට ඒ ගීතය අපූරුවට ලියලා තියෙනවා. එහෙම ගීත අද නැති තරම්. අනිත් එක පිරිමියෙක් ගැන වර්ණනා කරන ගීත අපේ ගීත සාහිත්‍යයේ නෑ.

ඒ ගීතය ඔබේ ප්‍රියතම ගීතය වෙන්න විශේෂම හේතුවක් නැතිවෙන්න බෑ?
නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන මේ ගීතයේ ශාස්ත්‍රීය පසුබිමක් තියෙනවා. මේ ගීතයේ තනුව සරල තනුවක් නෙවෙයි. ශාස්ත්‍රීය සංගීතයට බර සම්භාව්‍ය මට්ටමේ තනුවකින් නිර්මිත ගීතයක්. ඒ තනුව, ඒ ආකෘතිය වෙන ගීතයක මට ඇහිලා නැති තරම්. වචනවලට සාධාරණීකරණයක් තනුව සහ කටහඬ ඔස්සේ උපරිමයෙන් කළ ගීතයක්. ගීතය ගයන ළය මානය හරිම උචිතයි මේ වචන ටිකට. පරිසරය වචනවලින් සංගීතයෙන් සහ කටහඬින් මවන ගීතයක්. දනවන ගීතයක්. ඒ රසය වචනවලින් කියන්න බැරි තරම්.

ඔබට ලස්සනට ගයන්න පුළුවන්ද ඒ ගීතය?
ඇත්තටම ඔව්.. මම ප්‍රතිපත්තියක් විදිහට අනුන්ගේ ගීත ගයන්නෙ නෑ. ඒත් මම නිකම් ඉද්දි වුණත් ඉබේම මිමිණෙන ගීතයක් ඒක. 

මේ ගීතය ගැයූ අමරදේව මාස්ටර් ගැන ඔබට ඇති ළෙන්ගතුම මතකය කුමක්ද?
ඔය සින්දුව මම ඇහුව මුල්ම කාලය වෙද්දි අමරදේව මහත්තයා අපිට හරි කිට්ටුයි. එතුමා අපිට සංගීතය ගැන උගන්වනවා. එතුමා ඇවිත් විනාඩි පහක් දහයක් ඉගැන්නුවත් අපිට ඒක හරි වටිනවා. අපි ඉස්සර අමරදේව මහත්තයට කියලා ඔය ගීතය බලෙන් කියවනවා. එතුමා උගන්වන්නේ සමහරවිට හරි පුංචි දෙයක්. ඒත් ඒ පුංචි දෙය හරි ගැඹුරුයි. එතුමා තුළ ශාස්ත්‍රීයව පිරිපුන් එහෙත් සරල අපූරැ මනුස්සයෙක් ජීවත් වුණා. එතුමා කීව දෙයක් තමා මම මහා යාං හෑලි දෙන්නෙ නෑ. ගුරුවරයෙක් කියන්නේ සටහන් කියවන්නෙක් නෙවෙයි කියලා.

මේ ගීතයට මම මේ හේතුව නිසා ආසයි කියලා හුඟාක් හැඟීම්බරව කතා කළේ කා එක්කද?
එක දවසක් මගෙන් නිවේදකයෙක් ඇහුවා ඔබට අමරදේව මහත්තයගේ ගීතයක් කියන්න කීවොත් ඔබ මොකක්ද කියන ගීතය කියලා. මම එදා මේ ගීතය ගැන තමා කතා කළේ. හැබැයි එකපාරටම මට පද ටික මතකයට එන්නෙ නෑ. කෙනෙක් අහන්න පුළුවන් මෙච්චර කැමතිනම් ඇයි ගීතයේ පද ටික මතකයට එන්නෙ නැත්තෙ කියලා. ස්වර මාධුර්ය්‍ය, රසභාව අපි විඳින්නේ. එතෙන්දි වචන කියන දෙය එතරම් අදාළ නෑ. ඒක එක පැත්තකින් ලොකු දුර්වලකමක්. තව පැත්තකින් ලොකු දක්ෂකමක්. ඒ ගීතය ඇහෙද්දි මම දැහැන්ගත වෙනවා. මට එතකොට හිතෙනවා වචන මොකටද කියලා. අදහස ඔළුවට ආවට පසුව මම ඒ ගීතය දිගේ වෙනම ගමනක් යනවා. මම මෙහෙම කියන එක අසාධාරණද මන්දා. ගීතයක් ආත්මයම කරගෙන විඳිද්දි ඒ ගීතයට ලස්සන හැඩතල මුසුවෙනවා. අමරදේව මහත්තයටත් එයාගේ සමහර සින්දුවල පද අමතකයි. එහෙම පද අමතක වුණාම එතුමා පැටලෙන්නෙ නැතිවෙන්න වෙන පද යොදලා ගීත ගයනවා. හැබැයි ඒ දාන්නේ සුදුසුම වචනයක්. එතුමාට තිබුණු සාහිත්‍යමය ඥානයත් ඊට ප්‍රබල හේතුවක් වෙන්න ඇති. ඒක එතුමා තුළ තිබුණු සුවිශේෂී හැකියාවක්. අපිට ඒක කරන්න බෑ. 

හදවතේ ගැඹුරටම දැනෙන්න, ප්‍රකම්පනයක් දනවන්න ගායකයෙක් ගීතයක් ගයන්නේ කොහොමද?
ඉස්සරලාම වචන ටික ගැන හිතන්න. ඊළඟට හැඟීම ගන්න. වචන ටික ගත්තට පස්සේ එයට හැඟීමක් දෙන්න ඕනෑ. ඒ හැඟීම දෙද්දි වචනයට අවැසි හැඩතල අපි ගායනය තුළට ප්‍රදානය කළ යුතුයි. ඒ වචන ටිකට සාධාරණයක් ඉටුකරන්න පුළුවන් අර්ථය ඔළුවට අරගෙන ඊට භවාත්මක ලෙස හැඩතල මුසුකරද්දි. එහෙම ගීතය ගයද්දි මට හිතෙන්නේ මමයි ලොක්කා කියලා. හැඟීමක් එක්ක ගීයක් ගයද්දි තමා ඒ ගීතය ආත්ම ප්‍රකාශනයක් තරමට හැඟීම්බර වෙන්නෙ. සමහර ගීත රචකයන් කියනවා ගීතය ශ්‍රාවකයා අතරට අරන් යන වාහකයා තමා ගායකයා කියලා. වාහකයා කියන වචනය එතෙන්දි තුට්ටු දෙකේ වචනයක්. ගායකයා වාහකයෙක් වෙන එක නෙවෙයි කරන්නෙ. පද සංයෝජනයේ රස පෙරළ පෙරළා හදවතට අරගෙන ඊට උපරිමයෙන් හැඩතල එකතු කරලා මහා ආදරයකින් ප්‍රකාශ කිරීම ගායකයෙක් විදිහට මම කරන්නෙ. රසිකයා ඉල්ලන්නේ ගීතයක පද සංයෝජනයට හෘදය කම්පනයකට පත් කරන තනුවක් සහ කටහඬක්. ඒක නොදෙන තැන ගීතය අසාර්ථකයි. සින්දුවක් කියන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. ඒත් ගීතයක් ප්‍රකම්පන ගුණ ඇති භවාත්මක හැඩතල සම්මිශ්‍රිත සහෘද ප්‍රකාශනයක් කරන්න හැමෝටම බෑ. මම මේ පුරසාරම් දොඩවනවා නෙවෙයි. ඒත් හුඟාක් අර්ථවත් ගීත ගයන්න මට අවකාශ ලැබුණා. ඒත් ඒ ගීවලට ප්‍රතිචාර නොලැබෙද්දි මම ගායකයෙක් විදිහට මගේ ගමන්මඟ ටිකක් වෙනස් කළා. සරලව කියනවනම් ළෙන්ගතු හැඟීමෙන් &උඹලට ඒ තරම් අර්ථවත් ප්‍රබුද්ධ ගීත විඳින්න බැරිනම් මේවවත් අහපල්ලා* කියන්න මට හිතුණා.

 සේයාරුව: චන්න කස්සප