2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

අත්නොහැරුණු ස්නේහයක ප්‍රකම්පනය Diya

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

එය විය නොහැක්කක්... විඥානවාදයට ගරහන භෞතිකවාදීන් ජීවිතයේත් ලෝකයේත් සංසරණය වන ඇතැම් සංසිද්ධීන් නිර්වචනය කරන්නේ එහෙම. ඒත් පියවි ඇසට නොපෙනෙන ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ නොවෙන විද්‍යාවට හසුනොවුණු හුඟාක් දේවල් මේ අනන්ත විශ්වයේ පවතිනවා. මානව බන්ධනයන් කේන්ද්‍රගතව ඇතිවන දැඩි ආධ්‍යාත්මික අල්ලාගැනීම්, අත්නොහැරීම් ප්‍රබල සංසාරික සාධක බවට පත්වෙන්න පුළුවන්. එවන් අතිශය සංවේදනාවන් සංධ්වනියක් මුදාහල සිනමා රූපකාරකයක් ළඟ මගේ හිත නැවතුණා දවසක. A.L. Vijay ගේ දියා දමිළ සිනමා සිත්තම ආදරය අත්‍යන්තයෙන්ම මනුෂ්‍ය හද සන්තානය කෙතරම් ප්‍රබල ලෙස අතික්‍රමණය කරන්නේද යන්න කදිම සංනිදර්ශනයක්. දියා මේ ලෝකය දිහා ඇස් ඇර දකින්න වරම් නැතුව කළල වියේදීම මව් කුසය තුළ ප්‍රාණය අහිමි කිරීමට ලක්වෙනවා. ඒ ලෝක නිර්ණායකයට අනුව ඇගේ පැමිණීම සම්මතය යන වර්ගීකරණය තුළ මහා වැරැද්දක් වෙන හින්දා. ඒ කළලයේ අයිතිකාරිය අනාගත දරු උපත අත්හරින්න අකමැති වුණත් ඈ වටා ලෝකය ෘර විදිහට ඇගේ ඉල්ලීමට අවසඟව යනවා. මොනවද ඈ ඉල්ලන්නේ. මේ පොහොට්ටුවට මලක් වෙලා පිපෙන්න ඉඩ දෙන්න. ඈ එච්චරම එච්චරයි ඉල්ලන්නේ. මාව මරන්න එපා මට රිදෙනවා. මට හුස්මක් ගන්න ඉඩ දෙන්න. ඒ පුංචි පොහොට්ටුව ඒ විදිහට ජීවිතය ඉල්ලන්න ඇති.

ඒත් ඇය පර මලක් ලෙස මව් ඇකයෙන් ස්නේහයෙන් රුකවරණයෙන් ගිලිහී යනවා. එසේ රුඳෙන්නට වරම් නොලදත් ඒ පුංචි කුසුමාවිය අම්මා අත්හරින්නේ නැහැ. ඒ අත්නොහැරීම තුළ ඇතිවන සිද්ධි දාමයක් මත තමයි මේ සිනමා ගෙත්තම භාවමය ප්‍රකම්පනයක් දනවමින් දිවයන්නේ. තමන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගත් ආත්ම ප්‍රාණය භෞතිකව තමන්ට අහිමි වුවත් ඇය ඒ ප්‍රාණසම මතකය හදවතින් අත්හරින්නේ නැහැ. ඇය පුංචි බිළිඳියකව දැරියකව හැදී වැඩෙන අයුරු තුල්සි සිතුවමට නගනවා. භෞතිකව මළගිය උන්ගේ ලෝකයේ ජීවත්වන දියා තුල්සිගේ මනෝමය ලෝකය තුළ යළි ජීවමානවන අයුරු ඇත්තටම ආස්වාදනීයයි. ඒවගේම හැඟීම්බරයි. තුල්සි තම නූපන් කළලයට දෙන නම තමයි දියා. මව්වත් ගුණ හඳුනන සැබෑ අම්මා  කෙනෙක් සහ ආත්මගත ස්වාමි භක්තියක් ළය ලෙය දරන සොඳුරු බිරියක් දියාගේ මව තුල්සි තුළ ජීවත් වෙනවා. දියා තමන්ට ඒ අම්මාව අහිමි කළ ලෝකය සමඟ ඇසට නොපෙනෙන භවයක සිට කරන අරගලය සහ අවසානයේ ආදරය විසින් ඔවුන්ගේ ජීවිත සුවපත් කරන ආකාරය දියා සිනමා සිත්තම ඔස්සේ ප්‍රකාශිතයි.

දියාගේ මවගේ චරිතයට ආත්මගත වෙන්නේ ප්‍රතිභාපූර්ණ භාවකම්පන රංගන වින්‍යාසයකට නිසඟ හැකියාවක් දක්වන සායි පල්ලවී කියන රංගන ශිල්පිනිය. ඇය තාත්වික සහ ඉසියුම් භාව ප්‍රකාශාත්මක රංගනය ඔස්සේ දියා සිනමා කාව්‍ය තුළ ප්‍රේක්ෂකයා දැහැන්ගත කරවන අයුරු සැබැවින්ම ආකර්ෂණීයයි.

ඇය බලහත්කාරයෙන් තමන්ට අහිමි කරන තම දරුවා ගැන මතක අල්පමාත්‍රය ළඟ පවා අතිශය සංවේදීයි. එහෙත් මානසික කම්පනය අකම්පාව දරාගනිමින් ඇය ජීවිතයට තවදුරටත් වලංගු වෙන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහය තුළ නිරෑපණය වන්නෙත් ගැහැනුකම හදවතේ පූර්ණවූ ගැහැනියක් මහපොළොව සේ අකම්පිතව දරාගන්න මහමෙරක් තරම් දරාගැනීම්. ඇය ආදරණීයයි. ඉවසිලිවන්තයි. එහෙත් ඒ ආදරණීය ගැහැනිය ජීවිතය තුළ සිදුවන නොසිතූ මුණගැසීමක්, එසේත් නැත්නම් තමාගේ මනෝමය ලෝකය තුළ සැරිසැරෑ තමන්ට අහිමි දියණිය දියාගේ අනපේක්ෂිත හමුවීමත් සමඟ නිර්මාණය වන, සිද්ධි දාමයකට මුහුණදෙනවා. ඇය වටා සිටින විශ්වාසවන්තයින් පවා විශ්වාස නොකරන යථාර්ථය හමුවේ තම ස්වාමියාගේ ජීවිතය රැකගනු වස් තුල්සි කරන අරගලය තුළ ගැහැනියකගේ බුද්ධිය දැක්ම හා ශක්තිය මැනවින් නිරූපණය කරනවා. 

ජීවිතය කියන්නෙම අවිනිශ්චිතයක්. ජීවත්වීම කියන්නේ ඒ අවිනිශ්චිතය තුළ නිශ්චිතයන් නිර්මාණය කර ගැනීමට අපි දරන නිරන්තර වෑයමක්. ඒ වෑයම තුළ හිමි අහිමිවීම් මඟහැරීම් වැරදීම් ජයග්‍රහණයන් වගේම පරාජයන් කොතෙකුත් තියෙන්න පුළුවන්. අවසාන අර්ථයෙන් ජීවිතය කියන්නෙත් එයම නොවෙයිද?

ආදරය නිර්වචනය කරන්නේ කොහොමද? අල්පමාත්‍රයක්වත් ආපසු නොඉල්ලන පරිත්‍යාගයක් පමණයි, එය.. එහෙත් එවන් ආදරයක් මුණගැසීම විරල යථාර්ථයක් පමණයි. ඒ විරල යථාර්ථය ජීවන දායාදයක් වූ දිනෙක ඔබට ජීවිතය තුළම නිර්වාණයත් මෝක්ෂයත් සමඟ දෙවියන්ද මුණගැසේවි..

ආදරය දකින්නේ, ආදරය දැනෙන්නේ, ආදරය හොයන්නේ හුස්මක් වැටෙන මිනිස්සු විතරමද? ඒ මගේ විනිශ්චය... ඔබේ විනිශ්චය?