2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

මුණුබුරාට ’’මචං’’ කියපු ටෙනී

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 772

ටෙනිසන් කුරේ ලංකාවේ ජනප්‍රිය කලාකරුවෙක් බව මධූගේ ළමා කාලයේදී දැනුණේ කොයි විදිහටද?
මම ඉපදෙන්න කලින් ඉඳන්ම තාත්තා මේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා තිබුණා. මම පුංචි කාලේ තාත්තට ලොකු ජනප්‍රියත්වයක් තිබුණේ නැහැ. හැබැයි පල්ලිය පසුබිම් කරගෙන තමයි ඒ කාලේ තාත්තා නාට්‍යවල රඟපෑවේ. දිනේෂ් අංකල් (දිනේෂ් ප්‍රියසාද්) තාත්තගේ හොඳම යාළුවෙක්. නිතරම තාත්තා මුණගැහෙන්න දිනේෂ් අංකල් අපේ ගෙදර ආවා. දිනේෂ් අංකල් තමයි තාත්තව සිනමා නළුවෙක් කළේ. එදා ඉඳන් තාත්තා මියයන දවස වෙනකම්ම දිනේෂ් අංකල් අපේ තාත්තට ලොකු හයියක් වුණා. මට වයස අවුරුදු හයේදී විතර තාත්තගෙයි මානෙල් ඇන්ටිගෙයි (මානෙල් වානගුරු) ෆොටෝ එකක් සරසවි පත්තරේ මුල් කවරයේ තිබුණා. ඒ දෙන්නා රඟපාපු ෆිල්ම් එකක් ඒ කාලේ හරි ජනප්‍රිය වුණා.

එදා අවුරුදු හයක් වුණු මධූ ඒ පුවත්පත් මුල් කවරය  දැකලා මොකද කළේ?
එදා මට හරියට තරහ ගියා. එතකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. ඒ ෆොටෝ එකේ තාත්තා හිටියේ මානෙල් ඇන්ටිගේ අත අල්ලගෙනයි. මම පෑනක් අරගෙන කේන්තියෙන් මානෙල් ඇන්ටිගේ මූණේ බලි ඇඳලා ඒක ඉරුවා. තාත්තා මගේ.. මායි, අම්මයි එක්ක විතරයි තාත්තා ඉන්න ඕනෙ කියලයි මට ඒ පුංචි වයසෙදී හිතුණේ. ඒ කවරය තමයි තාත්තා රටේ ජනප්‍රිය කෙනෙක් කියලා මට මුලින්ම දැනුණු සිදුවීම වුණේ.

ටෙනී මේ රටේ මිනිස්සු හිනැස්සූ කලාකරුවෙක්. ඒ කලාකරුවාගේ දියණිය විදිහට මඟතොටදී යද්දී සිදුවුණු අත්දැකීම් එහෙමත් මධූට ඇති?
ඔව්.. තාත්තා ජනප්‍රිය වෙන්න ගනිද්දී එයාගේ දුව විදිහට මොරටුව පැත්තේ මිනිස්සු මාවත් ටිකෙන් ටික හඳුනා ගත්තා. තාත්තා රඟපාපු ෆිල්ම්වල විහිළු වචන මටත් ඒ කාලේ කියන්න පටන් ගත්තා. මට තාම මතකයි.. එක ෆිල්ම් එකක වාහනයක යද්දී තාත්තා බ්‍රේක් නෑ.. බේක් නෑ කියලා කියනවා. ඒ කාලේ මටත් පාරේ යන්න බැහැ. එතකොට මම පාසල් යන කාලේ. මාව දැක්ක ගමන් පාසල්වල පිරිමි ළමයි &බ්‍රේක් නෑ.. බ්‍රේක් නෑ.. කියලා මම ගාවින් දුවනවා. මට හිනා වගේම කේන්තියි. මම ඒ දවස්වල ගෙදර එන්නේ හරිම කේන්තියෙන්. &මොනවද තාත්තා.. මේ කොල්ලෝ කියන්නේ... තාත්තට බැරිද ඔය විහිළු චරිතවලින් ඈත්වෙලා සාමාන්‍ය චරිත විතරක් කරන්න. කියලා කියද්දී තාත්තා මාව ළඟට අරගෙන හිනාවෙලා ඔළුව අතගාපු දවස් මගේ ජීවිතේ තියෙනවා. තාත්තා මට කරදර නිසාම ටික දවසක් ඒ වගේ චරිත බාරගත්තෙත් නැහැ.

මධූ නිසා ටෙනී ගත්තු ඒ තීරණය වැරදියි කියලා මධූට හිතුණේ නැද්ද?
හිතුණා. මම සාමාන්‍ය පෙළ කරන කාලෙදී හාස්‍ය රංගන ශිල්පියෙක් කියන්නේ මොන තරම් දක්ෂ කලාකරුවෙක්ද කියලා මට තේරුණා. ඒ නිසා මමම දවසක් තාත්තා.. ඔයා මිනිසුන්ව සතුටු කරන්න පුළුවන් විදියේ චරිත කරන්න. මම ඒකට කැමතියි කියලා කිව්වා. දවසක් අපි කතරගම ගියා. එදා තාත්තා අපිත් එක්කම නිදහසේ ඉන්න ඕන නිසාම රැවුල රෙදි කෑල්ලකින් (මාස්ක් එකක් විදිහට) වහගෙන තමයි ගියේ. ඒත්.. මිනිස්සු තාත්තව හඳුනා ගත්තා. තාත්තා හිනාවෙලා වැඩක් නැහැ පුතා.. මම මොන තරම් මූණ වහගෙන ගියත් මාව මිනිස්සු හඳුනනවා කියලා කිව්වා. මිනිසුන්ගේ ආදරයට තාත්තා හරියට ආදරේ කළා.

හිනාවෙන්ම මිනිසුන්ව සතුටු කරපු ටෙනී ගෙදරදීත් එහෙමද?
තාත්තා කවදාවත් එයාගේ ජීවිතේ විහිළුවක් කර ගත්තේ නැහැ. මම හොඳට ඉගෙන ගනිද්දී තාත්තා හරිම ආස කළා. තාත්තා මට මැරෙන තුරාවට කතා කළේ පුතා කියලයි. මට ජීවිතේටම තාත්තා ගැහුවේ එකම එක පාරයි. මට අවුරුදු හයේදී අපි තුන්දෙනා ගෙදර ටී.වී. බල බලා හිටියා. ඒ වෙලාවේ එවකට ජනාධිපතිතුමාගේ කතාවක් ටී.වී. එකේ විකාශය වුණා. මම ඒක ගාණක් ගත්තේ නැතිව දැඟලුවා. එදා තාත්තා මට පටියකින් ගැහුවා. හැබැයි එදා මටත් වඩා ඇඬුවේ මගේ තාත්තා. අදටත් ඒ සිදුවීම මතක් වෙද්දී මට හරි දුකයි. ජීවිතේ මට තාත්තා ගැහුවේ එදා විතරමයි. අම්මා මට සැර කළත්, තාත්තා පුතාට සැර කරන්න එපා කියලා කිව්වා. තාත්තා මගේ හොඳම හොඳ යාළුවා.

මධූගේත් චතුරංගගේත් ආදර කතාවට ටෙනීගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
මායි චතුරංගයි විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. ඒක මම මුලින්ම කිව්වේ මගේ අම්මට. ඒ දෙන්නට කියන්නත් කලින් තාත්තා ඒක දැනගෙන හිටියා. හැබැයි ඒ ගැන මට හැඟෙව්වේ නැහැ. දවසක් මාව ළඟට අරගෙන පුතා අපි මුලින්ම හොඳට ඉගෙන ගමු. ඊටපස්සේ පුතා කියන ඕනදේකට අපි හොඳනම් කැමති වෙනවා* කියලා කිව්වා. මායි චතුරංගයි විවාහ වුණේ 2001 අවුරුද්දේ. එදා තාත්තා අඬපු තරමක්... මටත් හරියට ඇඬුණා. හැමදාම හිනාවෙන ටෙනිසන් දුව දීගදෙන දවසේ අඬනවා කියලා හැමෝම එදා විහිළු කළා.

සීයා වෙනුවට ඇයි ටෙනී සීපා වුණේ?
ඒක මගේ පුතා තාත්තට දාපු නම. පුතයි දුවයි මගේ තාත්තට කතා කළේ සීපා (සීයා පප්පා) කියලයි. මට මුලින්ම ලැබුණේ පුතා. තාත්තා මුණුපුරා අතට ගත්තේ රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. තාත්තා පුතාට කිව්වේ චාපු (චන්දු පුතා) කියලයි. ඊටපස්සේ අපිට දුවෙක් ඉපදුණා. එදත් තාත්තා ගොඩක් සතුටු වුණා. මගේ පොඩි කාලෙ ආයෙත් දැක්කා කියලා තාත්තා දුව අතට අරගෙන එදත් හරියට සතුටු වුණා. දුවට තාත්තා කතා කළේ මීදු (මින්ද්‍රා දුව) කියලයි. දරුවන් දෙන්නට වගේම චතුරංගටත් තාත්තා ගොඩක් ආදරේ කළා. බෑණා කියලා හිතනවාටත් වඩා එයාට චතුරංග පුතෙක් වුණා.

අසනීපයකදී ටෙනී කලබල වුණාද?
කලබල වෙනවාටත් වඩා පොඩි අසනීපයක් හැදුණත් තාත්තා ඒ ගැන හරියට සැලකිලිමත් වුණා. තාත්තා කවදාවත් දුක් විඳින්න කැමති වුණේ නැහැ. තාත්තගේ ප්‍රතිරෑපය එයා නැතිකර ගන්න ආස වුණේ නැහැ. පහුගිය අවුරුදු දෙක ඇතුළත ඔපරේෂන් එකෙන් පස්සේ තාත්තා කෙට්ටු වුණා. පාස්කු ප්‍රහාරය, කොරෝනා වෛරස නිසා එළියට බහින්නත් වැඩිය ලැබුණේ නැහැනෙ. ඒ නිසා තාත්තා වැඩි හරියක් හිටියේ ගෙදර. ඒක එයාට සැනසීමක් වුණා. හැබැයි මාර්තු මාසේදී තාත්තා සිසිල් ගුණසේකර අංකල් එක්ක ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් කිහිපයක ප්‍රසංගවලටත් ගියා. ගෙදර ඇවිත් නිරෝධායනයත් වුණා. ජීවිතයේ අවසාන කාලය දක්වා තාත්තා නිරෝගීව හිටියා. හැබැයි අවසන් සති දෙක තුළදී තමයි තාත්තා අසනීප වුණේ. 

අවසන් දවස් කිහිපයේදී රෝහලේදී ටෙනී සුපුරුදු පරිදි මධූ එක්ක කතා කළාද?
ඔව්.. තාත්තා රෝහලේදී හැමතිස්සෙම අපිට කිව්වේ පුතා මම මැරෙන්න බය නැහැ. හැබැයි මම විඳවන්න කැමති නැහැ. මම ඉල්ලන්නේ සුන්දර මරණයක් විතරයි කියලයි. ඒ තාත්තා පැතුව විදිහට දෙවියන් වහන්සේ තාත්තට සුන්දර මරණයක් ලබා දුන්නා. තාත්තා යාඥා කරමින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ ඒකමයි. මගේ පුතාට තාත්තා රෝහලේදී ආච්චිට, අම්මිට කියන්න මම වෙනුවෙන් අඬන්න එපා. මචං උඹ දන්නවනේ මේ කට්ටිය ඇඬුවට මුන් ඔක්කොමත් මැරෙනවනෙ. කියලා තිබුණා. (ටෙනී ඇතැම් වෙලාවල්වලට තම මුණුපුරාට මචං කියලත් කියනවා)

ටෙනී වැඩියෙන්ම ආසා කළේ මොනවටද?
තාත්තා ලස්සනට පිළිවෙළට ඇන්ඳා. තාත්තගේ කෝට්, සපත්තු, ඇඳුම් හරි පිළිවෙළයි. තාත්තා ලස්සනට ඉන්න හරිම ආසා කළා. ඒ වගේම තාත්තා අපේ වාහනවලට ආසා කළා. එයා අසනීප වෙන්න කලින් බෙන්ස් එකක් ගමු කියලයි කිව්වේ. නමුත් ඒක තාත්තට කරගන්න බැරි වුණා. එකපාර ලොකු වාහනයකට ණය වුණේ නැහැ. තාත්තා වාහන ගන්නෙත් හරි ක්‍රමානුකූලවයි. තාත්තා එයාගේ වාහනයට හරියට ආදරේ කළා. ඒ වගේම ඒක හරි පිළිවෙළට තියාගත්තා.

රටක් ආදරය කරපු ආදරණීය කලාකරුවෙක් අද ජීවිතෙන් සමුඅරන්. ආදරණීය තාත්තගේ නික්ම යාම අදටත් මධූට දරාගන්න බැහැ?
ඔව්.. ඒක දරාගන්න හරි අමාරුයි. තාත්තා ලැබීම මට දෙවියන් වහන්සේ දුන්නු විශාල වරමක්. මගේ තාත්තා ලංකාවේම තාත්තා වුණා. මාත් එක්ක මිනිස්සු ඇඬුවා. මගේ ඇස්වල දුක තුනී වුණේ අද රටක් මේ තාත්තා වෙනුවෙන් අඬනවා දැක්කාමයි. දවසක දෙවියන් වහන්සේගේ විනිශ්චයේදී අපි ඔක්කොම මුණගැහේවි කියලා අපි විශ්වාස කරනවා. දැනට ඒ ආත්මය ස්වාමීන් වහන්සේ තුළ රුඳී පවතීවි. තාත්තගේ මතකය හැමදාමත් මගේ මතකයේ තියෙනවා.