2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

ඒක කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්!

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

ළය ලෙය කිරි කළ අනුහසින් මවක් ලෙස විවරණය ලද ගැහැනියක නොවේ ඇය... එහෙත් ජීවිතය විෂයෙහි ඇති පරිණත දැක්ම උදෙසා ඇය සාක්ෂි සපයන්නීය. ඒ සැබෑ මව්වත් ගුණ හඳුනාගනිමින් දාරක ස්නේහය පිළිබඳ සොඳුරු විමසුමකට මං පාදමිනි.

ගීතයෙන් ඔබ අප සැනසූ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහගේ රුවැති දියණිය ද ඇයම වන්නීය.

අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන ඇය සංඛනී එදිරිසිංහ 
සංඛනී ඔබ කැමතිම ඔබේ නොවන ගීතයක් ඔබට තියෙනවද?
ඔව්. මට ඒ විදිහට දැනෙන ගීත හුඟාක් තියෙනවා.

ඒ ගීත අතුරින් තමන්ගේ ආත්මයටම බද්ධ කර ගත්ත, ආධ්‍යාත්මික සිතුම් පැතුම් එක්ක නෑදෑකමක් තියෙනවා කියලා දැනෙන එක ගීතයක් තියෙනවද?
එච්චරටම ළඟින් දැනෙන ගීතය තමා බන්දුල නානායක්කාරවසම් ලියූ &සුදු ඇත් පොව්වෙක්* කියන ගීතය. රෝහණ වීරසිංහ සංගීතවත් කළ නිරෝෂා විරාජිනී ගයන ඒ ගීතයට අදාළ ප්‍රස්තුතය මගේ අත්දැකීමක් නොවුණාට ඒක මගේ හදවතට හුඟක් සමීපයි. කොහොමත් දරු නැලවිලි ගීවලට මම ආසයි. මේ ගීයත් මට ළයාන්විත දරු නැලවිලි ගීයක්.

ඒ ගීයට එහෙම සමීප වෙන්න හේතුව මොකද්ද?
ඒ ගීතය අහන අහන වාරයක් පාසා පුදුම විදිහට මගේ හිතට ඒක දැනෙනවා.

එච්චරටම ඒ විදිහට ඒ ගීතය දැනෙන්න විශේෂ හේතුවක් නැතිවෙන්න බෑ. මට දැනගන්න ඕනෑ ඒ හේතුව? 
ගැහැනියක් දරුවකු බිහිකළ පමණින් සැබෑ අම්මා කෙනෙක් වෙන්නෙ නෑ. ඇය මව්වත් ගුණයෙන් පරිපූර්ණ විය යුතුයි. එවැනි සැබෑ අම්මා කෙනෙක්ගේ හදවතේ දරුවෙක් වෙනුවෙන් උපදින සැබෑ ආදරණීය සිතුවිලි හරිම ලස්සනට මේ ගීයෙන් කියනවා. ඒ දරුවා මේ ලෝකයට බිහිවෙන්නත් ඉස්සර දරුවා ගැන හිතේ උපදින අපමණක් ආදරය හරිම ලස්සනට මේ ගීතයේ පෙළගස්සවලා තියෙනවා. මම ගුරු වෘත්තියේ හිටපු නිසාත් වෙන්න ඇති දරුවන්ට මම හරි ළෙන්ගතුයි. දරුවා කුසේ ඉන්න කාලයේ පටන් මවකගේ හදගැස්ම වචනයෙන් කියන්න බැරි තරම් චමත්කාර ලෙස විවරණය කරමින් බන්දුල නානායක්කාරවසම් ලියූ ගීයක් මේක.

බන්දුල නානායක්කාරවසම් කියන ගී පද රචකයා ඒ තරම් ලස්සනට ගීතය ලීව නිසාමද ඔබට මේ ගීතය දැනෙන්නේ? නැත්නම් වචනයෙන් කියාගන්න බැරි මොකක් හෝ හේතුවක් නිසාද ඔබට මේ ගීතය දැනෙන්නේ? අවංකවම කතා කරමු?
බන්දුල නානායක්කාරවසම් මේ ගීතය ලීවා කියලා මම දැනගත්තෙත් ගීතය ඇහුවට පසුවයි. ඒත් මේ ගීතයේ ගී පද, එහි අර්ථය, කටහඬ, තනුව මේ හැමදේකම ප්‍රබලත්වය මේ ගීතයට මාව මේ තරම් බැඳ තබන්න හේතුව වෙන්න ඇති. මේ ගීතය ඇහුව පළමු දවසෙම මේ ගීතය මම නැවත අහන්න ඕනෑ, ඒ ගීතය මට පුදුම සහනයක්, සැනසිල්ලක්, නිවීමක් මනසට ගෙන දෙනවා කියන හැඟීම ආවා.

මේ ගීතයේ ඔබට වැඩියෙන්ම හිතට දැනෙන පද පේළිය කුමක්ද?
හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා 
නුඹ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි

ඇයි ඒ ගී පදවලට එච්චර කැමති?
සැබෑ ආදරණීය අම්මා කෙනෙක්ගේ හදවත ඒ ගී පදවලින් පෙන්වනවා හරියට කැඩපතකින් වගේ. නුඹ මට දුවෙක් වුණත් පුතෙක් වුණත් මගේ ආදරයේ වෙනසක් නෑ කියද්දි ඒ ආදරය කොච්චර උත්තරීතරද? ඒ ගී පද සමානාත්මතාවයෙන් තොර සමාජ ආකල්පයකට හොඳ පහරක් දෙනවා කියලා මට හිතෙනවා. අනිත් එක සැබෑ අම්මා කෙනෙක්ගේ හදවතේ ඇති බලාපොරොත්තු, සිහින, තමන්ගේ ප්‍රාණ සමාන ස්නේහය මේ හැම හැඟීමක්ම හරිම අපූරුවට මේ ගීතයෙන් දැනෙනවා.

මේ ගීතය වේදිකාවක් මත ගයන්න ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද?
නිරෝෂා අක්කා තරම් මට ලස්සනට ගයන්න බැරිවෙයි. නිරෝෂා අක්කා කටහඬ ලස්සනටම භාවිත කළ මුළු ගීතය පුරාම ළයාන්විත බවක් පවතින ගීතය මේක කියලා මට හිතෙනවා. ඒත් වේදිකාවක් මත ගයන්න ලැබුණොත් මම ආසාවෙන් ගයනවා. මම නිදහසේ ඉද්දි නිතර මුමුණන ගීතයක් ඒ. කොච්චර ඇහුවත් එපා නොවෙන මේ ගීතය කියලම දරුවන් නලවන්න පුළුවන්නම් හිතෙන ගීතය වේදිකාවක් මත ගයන්න ඇයි මම අකමැති.

මේ ගීතයට මම හුඟාක් කැමතියි කියලා සංවේදීව කතා කළ කෙනෙක් ඉන්නවද ඔබගේ ජීවිතයේ?
මගේ හොඳම මිතුරියක් එක්ක කියලා තියෙනවා. ඇය සමඟ මම ගීත ගැන කතා කරනවා. මම මේ ගීතයට ආසයි කියලා අම්මා තාත්තා එක්කත් කියලා තියෙනවා. දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම මේ ගීතය කියලා දරුවන් නලවන්න. හරිම සුවපත් හැඟීමක්, දරුවන් ගැන ආදරණීය හැඟීමක් ඔබේ හිතට දනවන්න මේ ගීයට අපූරු හැකියාවක් තියෙන නිසයි මම මේ ඉල්ලීම කරන්නේ.