මෙදා සැරේ My pet ගැන කතා කරන්නෙ අපි කවුරුත් දන්න රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන
පියුමි ශ්‍රීනායකයි.
ඔබ සුරතලයට ඇතිකරන්න කැමති මොන වගේ සතුන්ද?
හැම සතාටම කැමතියි. ඒත් මම ගොඩක්ම ආස පූසන්ට.
ඇයි ඔබ පූසන්ට ඔච්චරටම කැමති?
මම පොඩි කාලේ ඉඳන්ම කැමති පූසන්ට. එයාලව වඩාගන්න පුළුවන්. සුරතල් කරන්න පුළුවන්. අනික එයාලා පොඩියි. අන්න ඒ නිසා මම එයාලට ආසයි.
මේ වෙනකොට ඔයා ළඟ පූසො කීයක් ඉන්නවද?
මගේ ළඟ දැනට පූසො හතර දෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට දවසින් දවස වැඩි වෙනවා. මොකද මම කොහේ හරි යනකොට අසරණවෙලා ඉන්න පූසෙක් දැක්කොත් එයාලව ගෙදර ගෙනල්ලා බෙහෙත් කරලා හදනවා.
ඔබට පළවෙනි වතාවට ලැබුණු සුරතලා ගැන කිව්වොත්?
මම පොඩි කාලෙ අපේ තාත්තා පොඩි කළු පාට පූස් පැටියෙක් ගෙනල්ලා දුන්නා. එයාට මම නම දාලා තිබ්බේ කලූ කියලා. එයා දැන්නම් නෑ. එයා වැඩිය සුරතල් නෑ. මොකද එයා පිරිමි සතෙක්. පිරිමි පූසො වැඩිය සුරතල් කරන්න බෑ. හැබැයි එයාව මට තාම මතකයි. එයා තමයි පළවෙනි සුරතලා.
ඔබ සුරතලේට හදන පූසන් හතර දෙනාගේ නම් මොනවද?
මම එක එක නම් දාන්න කැමති නෑ. එයාලගේ පාටවල් අනුව තමා මම එයාලට නම් දාලා තියෙන්නෙ. තැඹිලි පාට කෙනෙක් ඉන්නවා. එයාව මම ගෙනාවේ පාරේ ඉඳලා. එයාගේ බඩේ ගෙඩියක් තිබුණා. මම එයාව ගෙදර ගෙනල්ලා සනීප කරලා දැන් එයා හොඳට ඉන්නවා. එයාගේ නම තැඹිලි. තව අපේ ගෙදරට කොහෙන්දෝ පූසෙක් ඇවිල්ලා පැටව් දැම්මා. එයා ටිකක් මහතයි. එයාට මම කියන්නෙ තඩිච්චි කියලා. තව කෙනෙක් ඉන්නවා. එයාට පොඩි අසනීපයක් වෙලා එයා මැරුණා. එයාට පැටව් දෙන්නෙක් හම්බවුණා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මම ගාව ඉන්නවා. මම එයාට නම දාලා තියෙන්නෙ සමල්කා කියලා. මම කලින් කිව්ව තඩිච්චිට පැටියෙක් ඉන්නවා. එයාගේ නම %චූටි^. එයා හරි පොඩියි. ඒකයි චූටි කියලා නම දැම්මේ.
මේ හතර දෙනාගෙන් ඔයාට වැඩිපුර ආදරේ හිතෙන කෙනා කවුද?
සමල්කා. මොකද එයාගේ අම්මත් මම කියන දේ හොඳට අහනවා. එයා මට ගොඩක් ආදරෙයි. සමල්කාව හම්බවෙන්න ඉඳිද්දි එයාගේ අම්මා මගේ ඇඟ උඩමයි නිදාගෙන හිටියේ. ඒ හින්දද මන්දා එයාගේ පැටියත් මට මාරම ආදරෙයි. මමත් වැඩිපුරම කැමති සමල්කාට.
එහෙනම් සමල්කා ගැන අපට ටිකක් කියන්නකො?
එයාගේ අම්මට ලෙඩක් තිබුණා. එයාට විටමින් ඌණතාවය තිබුණු නිසා ඩොක්ටර් කිව්වා එයාට පැටව් හදන්න දෙන්න එපා කියලා. ඉතින් මම ගෙදර ඉන්නෙ නැති වෙලාවට මෙයාව හිර කරලා යන්න බැහැනෙ. අනික මෙයාව ඔපරේෂන් කරන්නත් බෑ. එයාට සිහිය නැති කළාම ආයේ සිහිය එන්නෙ නෑ. ඊටපස්සේ කොහොම හරි පැටව් දෙන්නෙක් ලැබුණා. ඒ හින්දා තමයි එයා මැරුණේ. දැන් ඒ ලෙඩේ මෙයාටත් තියෙනවා. මෙයත් වැනි වැනි තමා එහාට මෙහාට යන්නේ. මෙයාට හැමදාම විටමින් දෙනවා. එයා මම නැතිව ඉන්නෙම නෑ. පැය 24න් පැය 12ක්ම මාත් එක්කයි ඉන්නෙ. ඕවා තමා සමල්කාගේ විස්තර.
ඇයි ඒ පූසාට සමල්කා කියලා නමක් තිබ්බෙ?
ඉස්කෝලෙ යන කාලේ මගේ හොඳම යාළුවා සමල්කා. එයා දැන් රට ඉන්නෙ. එයාව මතක් වෙන්න තමයි පූසාට සමල්කා කියලා නම දැම්මෙ.
මෙයාගේ නරක පුරුදු එහෙමත් ඇති?
මම ගොඩක් වෙලාවට නිදාගන්නෙ රූ වෙලා. ඉතින් උදේට ඇහැරෙනකොට වෙලා යනවා. ඒත් සමල්කා ඉන්නකම් මට නිදාගන්න වෙන්නෙ නෑ. මම රූට මෙයාව වඩාගෙන කියනවා &සමල්කා හෙටනම් අක්කව පාන්දර ඇහැරවන්න එපා* කියලා. ඒත් මෙයා ඒක අහන්නෙ නෑ. මෙයා උදේම නැගිටලා මගේ කාමරේ දොර අතින් පහුරු ගානවා. ඒක තමා මෙයාගේ නරකම පුරුද්ද.
පියුමි.. ඔයාගේ සුරතලුන් හොඳ වර්ගයේ අයද?
අපෝ නෑ.. හොඳ ජාතියේ අය හදන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා. ඒත් පාරක අසරණවෙලා ඉන්න අයට සලකන්න කවුරුත් නෑ. මම කවදාවත් සල්ලි දීලවත් නිකම් හම්බවෙලාවත් හොඳ ජාතියේ සතුන් හදලා නෑ. ඒක නිසා තමා මෙයාලට ලෙඩ තියෙන්නෙත්. හොඳ ජාන තියෙන අය නෙවෙයිනෙ. ගොඩක්ම මම ගේන්නෙ පාරේ ඉන්න ලෙඩ හැදිච්ච සතුන් තමයි.
මෙයාලගේ උපන්දින එහෙමත් සමරනවද?
එහෙම කරන්නෙ නෑ. හැබැයි මෙයාලට අසනීප වුණු වෙලාවට මම දෙවියන්ට පහන තියලා කියනවා මෙයාලව ඉක්මනට සුව කරන්න කියලා. ඒ වගේම මම කොහේ හරි ගියාම මෙයාලට මොනවා හරි ගේනවා. කුරුලු පිහාටු, බෝල වගේ දේවල් ගේනවා. උපන් දිනය කියලා දවසක් සමරන්නෙ නෑ.
පියුමි.. ඔයා රංගන කටයුතුවල නිරතවෙන ගමන් කොහොමද මෙයාලා ගැන බලන්නෙ?
ගොඩක් වෙලාවට මම ගෙදරින් එළියට යනවනම් මෙයාලට කෑම හදලා කවලා යන්නේ. සමහර දවස්වලට පාන්දරම යනවා. එතකොට කලින් දවසේ කෑම හදලා ෆ්‍රිජ් එකේ දාලා උදේට රත් කරලා දීලා යනවා. අනික මම මෙයාලා නිසා ගොඩක් වෙලාවට දුර ගමන් යන්නේ නෑ. බැරි වෙලාවත් මට යන්න වුණොත් මම අපේ ලොකුඅම්මට එයාලාව දීලා යනවා. එයාලා කන්න බොන්න දෙනවා. ඒක නිසා මම කොච්චර කාර්යබහුල වුණත් මෙයාලට ඒක දැනෙන්නෙ නෑ.
ඔබට මේවාට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයාලා ගොඩක් කැමතියි. එයාලගෙ ආරෙටම නිසා වෙන්නැති මමත් මේ සතුන්ට ගොඩක් ආදරේ ඇත්තෙ. අපේ අම්මලගේ ගෙදර පූසො අටක් හිටියා. තව බල්ලො දෙන්නකුත් හිටියා.
පියුමි අහලා ඇති සමහරු අනාථවෙලා ඉන්න සතුන් බෝවෙන එක නවත්වන්න සැත්කම් කරනවා. ඒ ගැන මොකද හිතන්නෙ?
අපේ අම්මා කිව්වා ඕවා කරන්න එපා, පව් වැඩ කියලා. හැබැයි මම කරන්නෙ එකපාරක් පැටව් හදන්න දෙනවා. මොකද එයාලත් කැමති ඇතිනේ අම්මා කෙනෙක් වෙන්න. ඉතින් මම හිතන්නෙ එකපාරක් පැටව් දැම්මට පස්සෙ ඒ සැත්කම කළාම කමක් නෑ කියලා. ඒක සතාටත් හොඳයි. අපිටත් හොඳයි.
සුරතලුන් හදන අයට හරි, හදන්න ඉන්න අයට හරි ඔයාට කියන්න තියෙන්නෙ මොකක්ද?
සමහරු සුරතලේට කියලා ලොකුවට සල්ලි වියදම් කරලා සත්තු හදනවා. ඒ වගේ සතුන්ට ආදරේ කරනවා වගේම පාරේ ඉන්න අසරණ සතුන්ටත් සලකන්න. එයාලව ගෙදර ගෙනල්ලා සලකන්න බැරිනම් පාරේ ඉන්න අයට කෑම ටිකක්, වතුර ටිකක්, විටමින් ටිකක් දෙන්න. ඒක ලොකු පිනක්.