ආදරය කියන්නේ අයිතියටම නොවේ. මගේම කියන්න භෞතිකව අයිතියක් නැති නැනක හදවතින්ම මගේම වෙච්ච මගේම කරගත්ත ආදරයක් රැඳිලා තියෙන්න පුළුවන්. මට හිතෙන්නේ ආදරය තියෙන්නේ අත්පත් කර ගැනීම කියන සම්මත රාමුව ඇතුළේ නෙමෙයි. ජීවිතයේ කවදාද කොතැනද මට මගේම හිතුවිලි වලට, මට මගේම හදවතින්ම, ජීවිතයේම කොටසක් කියලා දැනෙන හැඟෙන කෙනෙක් මුණගැහුණේ. අන්න එතැනදී තමයි ඇත්තටම ආදරය කියන දේ දැනෙන්නේ.
එහෙම දැනිලත් අප්‍රකාශිතවම හදවතේ පැලපැදියම් වෙලා තිබෙන ආදර හැඟුම් ලෝකයේ කොච්චර තියෙනවාද? ඒත් අප්‍රකාශිත ආදරේත් හරිම ඉසියුම් විදිහට කෙනෙක් ඉවසගෙන දරාගෙන හදවතේ හංඟාගෙන ඉද්දී දැනෙන හැඟෙන විඳීම විඳවීම ඇතුළෙත් වචනවලට ගලපාගන්න බැරි මහා ශෝක රසයක් තියෙනවා.
රාම් කෙනෙක් ජානු කෙනෙක් ඔයාගේ ජීවිතේත් කොතැනක හරි හිටියා නම් මම මේ කියන හැඟීම ඔයාට හොඳට දැනෙයි. රාම් හා ජානු මට මුණගැහුණේ ඩී. ප්‍රේම්කුමාර්ගේ 96 දමිළ සිනමා රූපකාරකයේදී. දෙවියනේ එච්චරම ඉවසිල්ලෙන් එච්චර නිර්මල විදිහට ආදරය හංඟාගෙන ඉන්න පිරිමි හදවතකට පුළුවන්ද? 96 අවසානයේදී ඒ ප්‍රශ්නය ඉතුරු කරනවා, රාම් ගැන මහා පුදුමාකාර ආදරයකුත් එක්ක. රාම්ව අපට මුණගැහෙන්නේ මූණ පුරා රුවුල වවාගත් මැදිවියේ ඡායාරෑප ශිල්පියෙක් විදිහට. සමස්ත සිනමා රෑපකාරකය තුළම අපි කියවන්නේ රාම්ගේ ජීවිතය. ඔහු ඔහුට ඔහුව නොදැනෙන ලෙස ජීවිතය ගෙවන්නට මහ අමුතුම ප්‍රයත්නයක් ගත්ත මනුස්සයෙක්. ඇයි රාම් ඒ විදිහට ජීවත් වෙන්න හදන්නේ.
රාම්ගේ මුළු ජීවිතය පුරාම හැංගිලා තියෙන්නේ නිය තුඩකින්වත් නාල්ලා ආදරය කළ කාටවත් නොපෙනෙන්න හංඟාගත්ත ආදරයක්. කාලයකින් පසුව පාසල පහුකරගෙන යද්දී දැනෙන හැඟීමත් එක්ක ඔහු 96 කණ්ඩායමේ සුහද හමුවක් ලෑස්ති කරනවා. ඒ දවස හරි අපූරු දවසක්. හැමෝම අතීත සැමරුම් අතීතයක මතක එක්ක. ඒත් තනිකඩ රාම් මොකක්දෝ තිගැස්මක.
රාම් අන්න ජානු එනවා...
කුඩා වියේ සොඳුරු ලෙස ගී ගයන්නියකු වූ ජානු තමා හැමදාම රාම්ගේ හදවතේ ජීවත් වූ සිහිනය. ආදරයේ පළමු හා අවසාන ස්වරය හුස්ම ඔහුට හැඟුණේ දැනුණේ ජානු ළඟදීම විතරයි. ඒත් මේ සමීපතම මිතුරිය තමන්ට අහිමි වෙයි කියන බියෙන් ඔහු කවදාවත් තමාගේ ආදරය ගැන ජානුට කීවේ නැහැ. ඒත් ඇය ජීවිතයේ හුඟාක් තැන්වලදී ඔහු ආදරෙයි කියනකම් බලාගෙන ඉන්නවා. ඒ ආදරය පිළිගන්න. ඒත් සංවේදී වෙන තරමට හිම වගේ දිය නොවන ඒ ඝනකම් ආදරය හැමදාම රාම්ගේ හදවතේ හුස්ම ගත්ත සිතිවිල්ලක් ලෙසම පවතිද්දී ජානුට සිදුවෙනවා වෙනත් බැඳීමකින් ජීවිතය සිරකර තබන්න. හැබැයි ඒ බැඳීම ළඟ සාමය සැනසීම දැනුනට ආදරය දැනුනද? ආදරය තිබුණද? කියන එක ජානු දන්නේ නැහැ. සතුට නැතත් සැනසීම තියෙනවා. ඇය කියන්නේ එහෙම. ජානු ජීවිතයේ හුඟක් කල් රාම් එනකම් බලාගෙන ඉන්නවා. ඒත් ඉරණම මහ පුදුම තීරකයක්. සමහර අය ජීවිතයෙන් මහා අමුතු විදිහකට මඟහරවන්න ඉරණමට පුළුවන්. ජානු 96 සුහද හමුවට එන්නේ සිංගප්පූරුවේ ඉඳන්. ඒ වෙද්දී ඇය එහි පදිංචිකාරියක්. සුහද හමුව අවසානයේදී යළි හෙට දින ඇය ඇයගේ එහි ජීවිතය වෙත යා යුතුයි.
රාම් හා ජානු ජීවිතයේ පළමු වතාවට ඔවුනොවුන් ළඟ තමන්ගේ හදවත් දිගහැර ගන්නේ එදා රාත්‍රියේ. හැබැයි මුළු ජීවිත කාලය පුරාම රාම් නොකිලිටි ලෙස ඒ ආදරය වින්ද විදිහටම හරිම අචින්ත්‍ය විදිහට අනුරාගයෙන් තොරව ඔහු එදා සිපගන්නේත් ඇගේ ජීවිතය විතරමයි. ඒත් රාම් ඔහුගේ ආත්මයට මොකද්දෝ නිදහසක් ඒ රාත්‍රියේදී මුණගස්සනවා. රාම් ළඟ තියෙන පාසල් ජීවිතය පුරාම ජානුට හදවතින්ම ආදරය කරමින් එක්රුස් කරගත් මතක සටහන්වලින් පිරුණු සූට්කේසයක්. අවසානයේ ජානු තවත් මතක සටහන් අමතක වීමකින් ඔහුට ඉතුරු කරමින් සමුඅරන් යනවා. ඈ අමතක කර ගිය ඇය ළය වසාගත් සලුව ඔහු හුඟාක් ආදරයෙන් පරිස්සමින් අර සූට්කේසයේ මතක අතරට එක්කරනවා. නොඉල්ලමින් කිසිවක්ම නොලබමින් කිසිවක්ම ආදරය කළ හැකිද?
එලෙසින් රාම් කියන්නේ ප්‍රායෝගික සමාජය තුළ අභව්‍ය චරිතයක් විතරමද? ඒත් ඒ සිතුවිල්ලවත් රාම් කියවද්දී හිතට ගොඩවදින්නේ නෑ. සැබෑ ආදරය කියන්නේ අයිති කර ගැනීම කියන සම්මත සංකල්පය හෝ භෞතික ගනුදෙනු කියන රාමුවටත් බොහෝ පිටතින් තියෙන දෙයක්. එහෙම තැනක ඉඳන් දිගහැරෙන ආදරයක දිව්‍යමය වටිනාකමක් දේවත්වයක් තියෙනවා කියලා දැනෙනවා වගේම ඒ දැනීම සැබැවින්ම විඳින තැනකදී හරිම ප්‍රබලයි සහ යථාර්ථවාදීයි. රාම් ජීවිතය පුරාම හදවතම දන්දී ගෙන ආදරය කරන්නේ කුණු කොටස් තිස් දෙකකින් පිරුණු මනුෂ්‍ය ශරීරයකට නොවෙයි. තමන්ට දැනෙන ආදරයෙන් මනුෂ්‍යත්වයෙන් සොඳුරු ගැහැනුකම් වලින් පිරුණු හදවතකට. ඔහු ඇය නමට තමන්ගේ සිරුරත් හදවතත් ජීවිතයත් ලියා තබන්නේ ඒ ආදරය ළඟ. ඒ ආදරය හැර කිසිවක්ම ඔහු ළඟ නොතිබුණ සහේතුකත්වය නිසා.
ප්‍රායෝගික ආදරයක වුණත් සුන්දරම පරිච්ඡේදය ඒ ආදරය අප්‍රකාශිතව ගෙවෙන තත්පරය කියලා මට දැනෙන්නේ. ආදරය බන්ධනයක් බවට පත්වීමට පෙරාතුව ඒ අප්‍රකාශිත බව හරි වින්දනීයයි. නොකියමින් කියන තැන දෙයක් සුන්දරද මෙතරම්. ජීවිතය එක මොහොතකින් හරි දැනි දැනී ඇත්නම් යන්න මතකය ළඟට. පරිස්සමින් පසුව එන්න මේ ගෙවන ජීවිතයට. නැත්නම් 96ත් එක්ක යන්න මගේ නොවන මගේම අත්දැකීමක් විඳින්න.