2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ඉස්සර මම ටියුබ්ලයිට් දැන් එහෙම නැහැ

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

- මැණික් කුරුකුලසූරිය

මැණිකක් ලෙසින් කලක් රංගන ක්ෂේත්‍රය හැඩකළ ඇය  මැණික් කුරුකුලසූරිය තනිකඩ ජීවිතට ගැන කතා කරන්න මේසතියේ  සදසරට ආවේ ඇය

තනිකඩව ගෙවෙන මේ ජීවිතය ගැන ඔබ මොනවද හිතන්නෙ? කොහොමද දැනෙන්නෙ?
තනිකඩව ගෙවෙන මේ ජීවිතය හරි නිදහස්. තහංචි දාන්න කවුරුවත් නැහැනෙ. ඕනෙ නම් කනවා. ඕන වෙලාවක එළියට යනවා එනවා. ජීවිතේ මේ විදිහට නිදහසේ නිස්කලංකව ගලාගෙන යනවා. හැබැයි ඉතින් මට තනිකම දැනෙන වෙලාවල් තියෙනවා. එහෙම නැහැයි කියන්න බැහැ. අපි පෘථග්ජන මිනිස්සුනෙ. නමුත් ජීවිතේ හැම දෙයක්ම සතුටින් භාරගන්නවා. හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන අරගෙන තව කෙනෙකුට උදව්වක් පදව්වක් කරගෙන ජීවත් වෙනවා.

ඔබ විවාහ නොවී තනිකඩව ජීවත් වෙන්න හේතුවුණු විශේෂ කාරණාවක් තිබුණද?
එහෙම විශේෂ කාරණාවක් තිබුණෙ නැහැ. විවාහය සිද්ධ වුණේ නැහැ, එච්චරයි. මම පුංචි කාලෙම මව්පියො නැතිවුණා. එතකොට මම යොවුන් වියේ තරුණ ගෑනු ළමයෙක් හැටියට කවද හරි විවාහ වෙලා පවුලක් වෙලා ජීවිතයක් ගත කරන බලාපොරොත්තුවක් මටත් තිබුණා. අක්කලාගෙන් බලපෑමකුත් තිබුණා බඳින්න කියලා. ඒත් තව පොඩ්ඩක් ලොකු වෙනකොට තේරුම් ගියා ජීවිතේ කියන්නෙ විවාහයම පමණක් නෙවෙයි කියලා.

ඔබට කොයි කාලෙද දැඩිව දැනුණෙ විවාහ නොවී ඉන්න ඕනෙ කියලා?
එහෙම දැඩි තීරණයක් ගත්තෙ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගත්තා. එච්චරයි.

ජීවිතේ කාන්සිය, තනිකම දැනෙන වෙලාවට ඒක මකාගන්න ඔබ මොනවද කරන්නෙ?
එදා ඉඳලම මම තනියෙන් තමයි හිටියෙ. මම හැදුනේ අය්යයි, අම්මයි, තාත්තයි එක්ක. ඒ ගොල්ලොත් ඈත්වෙලා ගියාට පස්සෙ මම ගොඩක් දුරට ජීවත් වුණේ තනියම. ඒත් මට හොඳ යාළුවො ටික දෙනෙක් හිටියා. ගොඩක් වෙලාවට කාන්සිය මකාගන්න මම සින්දු අහනවා, පොත් කියවනවා.

විශේෂයෙන් අහන සින්දු තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. කාලෙන් කාලෙට අපි අහන්න ආස කරන සින්දුත් වෙනස් වෙනවනෙ. කාලෙත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවනෙ. අපිත් වෙනස් වෙනවා.

විවාහ නොවී ඉන්න කෙල්ලො ගැන ලෝකයා කියන, හිතන දේවල් ගැන ඔබ මොනවද හිතන්නෙ?
විවාහ නොවී තනියෙන් ජීවත් වෙන්න මම කැමැත්තෙන් තෝරගත්තෙ නැහැ. එහෙම වෙන්න වුණා. ඒකට මම මුහුණ දුන්නා. මිනිස්සු ඒ ගැන මොනවා කියනවද කියලා හිතන්න මට උවමනා වුණේ නැහැ. ඒ වෙලාවේ ඒක තමයි තිබුණ එකම විකල්පය. මම ආසම නැහැ තනියෙන් ඉන්න. අවංකවම කියන්නෙ. අම්මා නැතිවෙන දවස වෙනකම් මම අම්මත් එක්ක නිදාගත්ත කෙනෙක්. ඒ තරමට තනියෙන් ඉන්න අකමැතියි. ඒත් ඊට පස්සෙ තනියෙන් ඉන්න බොහොම අමාරුවෙන් පුරුදු වුණා. පුරුදු වෙන්න වුණා. මම ඇත්තටම ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ කාලෙ මාව දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයාලා පුදුම වෙයි මම තනියෙන් ඉන්නවා කිව්වම. මම හැදුනෙ සමාජ ඇසුරට වැඩිය වැටුනෙ නැති වටපිටාවක. බොහොම ලැජ්ජා බයට හැදුන කෙල්ලෙක්. අපිට කොහෙවත් තනියම ගමන් බිමන් යන්න දුන්නෙ නැහැ. අඩුම ගානෙ ගෑනු ළමයෙක් එක්කවත්. ඉතින් වෙන විකල්පයක් නොතිබුණු නිසා මම ගත්ත තීරණය ගැන මිනිස්සු මොනවා කියනවද කියලා මට අදාළ වුණේ නැහැ. ඒ කාලෙ මම දන්න විදිහට ඒ වගේ තනියෙන් ජීවත්වුණු අය ගොඩක් අඩුයි. මම විතරයි එහෙම ඉන්න ඇත්තෙ, මං දැනුම්වත්ව. ඒත් දැන් මව්පියො ඉද්දි, පවුල් තියෙද්දි තමන්ගෙ පහසුව සඳහා තනියම ජීවත් වෙන ගෑනු ළමයි ඉන්නවා. පිටරටවල්වල නම් කවුරුත් අම්මා තාත්තා ළඟට වෙලා ඉන්නෙ නැහැ. එක වයසකට ආවට පස්සෙ. ලංකාවෙ තමයි ඒක වැරදි දෙයක් විදිහට සමහරු දකින්නෙ.

ජීවිතේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ අවිවාහකව ඉන්න ගත්ත තීරණය වෙනස් කරයිද?
මම එහෙම තීරණයක් ගත්තෙ නැහැනෙ එහෙම ඉන්න. ඒක එහෙම සිද්ධ වුණා. ඒත් ආපස්සට යන්න ලැබුණොත් දැන් තියෙන මොෙළත් එක්ක සමහර දේවල් වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒත් විවාහය ගැන නම් කියන්න දන්නෙ නැහැ. මම හිතන්නෙ විවාහය ගැන හිතන්න ගිහින් තමයි මට බොහෝ දේවල් අතීතයේ නැතිවුණේ. ආපස්සට යන්න ලැබුණොත් වැඩිදුර අධ්‍යාපනය ලබලා, මගේ වෘත්තියට අදාළ වැඩිපුර හැදෑරීම් කරාවි.

ඒ කාලෙ මට ගොඩාක් ලොකුවට තේරෙන්නෙ නැහැ. කෙනෙක් මට බොරු කරනවද කියලා තේරෙන්නෙත් නැහැ. ඒ කාලෙ මාව දන්න ගොඩාක් අය මට කිව්වෙ ටියුබ් ලයිට් කියලා. හැබැයි දැන් එහෙම නෑ හොඳේ.

 

                           සේයාරූ I දයාන් විතාරණ