2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

හැමෝම මේ සින්දුව කියන්න කියලා මට කියනවා

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

ඉසියුම් ල‌ෙස ඇහිපිල්ලමකින් පවා රංගනයට අර්ථයක් වෙන්න තරම් රංගනයේ නිපුණ භාව ප්‍රකාශන හැකියාවෙන් අනූන අතලොස්සක් ලාංකික කලාකරුවන් අතර ඔහු එක් අයෙක්. නමින් බිමල් ජයකොඩි

බිමල් ඔබේ නොවන ඔබේම ගීතයක් තියෙනවද ඔබට...?
ගීත හුඟක් අතරින් මම ඉතාම ආදරය කරන ගීතයක් තමයි පණ්ඩිත් අමරදේව මහතා ගයන ආරාධනා ගීතය. ඒ ගීතය මට හරි සුවිශේෂියි.

ඒ ගීතයට ඔබ එතරම් කැමැත්තක් දක්වන්න විශේෂ හේතුවක් තිබෙනවද?
මේ සින්දුවට මම මෙන්න මේ හේතුව නිසා ආසයි කියන්න නිශ්චිත හේතුවක් මටත් හොයාගන්න බෑ. මෙය අතිශය කලාත්මක හා අතිශය වාණිජ නොවන ඒ දෙක අතර මධ්‍යස්ථ තැනක ඇති සිනමා පටයක පසුබිම් ගීතයක්. හැමෝටම නොතේරෙන සම්භාව්‍ය මට්ටමේ ගීතයකුත් නෙවෙයි. බොළඳ ගීතයකුත් නෙවෙයි. ඉතින් මට හිතෙනවා මම රංගන ශිල්පියෙක් වීම සහ ගීත ගැන උනන්දුවක් දක්වන කෙනෙක් විදිහට මට මේ ගීතය කොතැනදී හරි දැනෙන්න ඇති.

හුඟක් අයට ගීතයක් තමන්ගේම වෙන්නේ අත්දැකීමක් සමඟ ඒ ගීතය සමපාත වන නිසා. ඇත්තටම එහෙම බැඳීමක් නැද්ද ඔබට මේ ගීතයත් එක්ක?
අවංකවම කියනවා නම් මගේ හිතට දැනෙන්නේ මේ ගීතයේ අර්ථ රසයටත් වඩා ගායනයත් එක්ක මේ ගීතය ස්ථානගත වී ඇති ආකාරය. අපේ රසඥතාව අනුව අපට රහ දැනෙන විදිහක් තියෙනවා. මේ ගීතයේ තනුව සහ පණ්ඩිත් අමරදේවයන්ගේ ගායන විලාසය, හැම වචනයකටම දෙන රිද්මය මතුකරන අයුරු මට හරි විශේෂයි. හැබැයි ඊළඟට මේ ගීතයේ අර්ථය වචනයෙන් වචනය සසඳලා බලනකොට වේදනාත්මක දිග කතන්දරයක් මේ ගීය ඇතුළේ කැටි කොට තිබෙනවා. ඒ සියල්ල සමඟ තමයි මම අවසානයේ බැඳෙන්නේ. ඒ වගේම මාලනී ෆොන්සේකා සහ රවීන්ද්‍ර රන්දෙණිය කියන විශිෂ්ඨ රංගධරයන්ගේ රංගයනයත් එක්ක මේ ගීතය පසුබිමේ ඇහෙද්දී හරි පරිපූර්ණ ගීයක් බවට මේ ගීය පත්වෙනවා කියලා මට හිතෙනවා.

මේ ගීතයේ වඩාත් ගැඹුරට හදවතට දැනෙන පද පේළියක් තියෙනවාද ඔබට?
එහෙම පද කීපයක්ම තිබෙනවා. ඔබේ උණුසුමේ යළිඳු උපන්නෙමි... ඒ පද පෙළ මට හුඟක් දැනුණා. ඒ වගේම ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා. කියන පද පෙළ මට හුඟාක් දැනුණා. මේ වචනවල තියෙන හැඟීම හරිම ආකර්ෂණීයයි. ඔබේ නුවන් පහනින් කීවම ඒ බැල්මම ඇති මුළු ජීවිතයටම කියලා මේ කියන්නේ. ආරාධනා කියන වචනය හරිම නිවීමක් සංසුන් බවක් ඇතිවන විදිහට උච්චාරණය වෙනවා. 

මේ ගීතයේ පද රචකයා කුලරත්න ආරියවංශ මහතා ඔබට හමුවී තිබෙනවාද? මේ ගීතය ගැන ඔහුට කියන්න දෙයක් ඔබට නැතිවෙන්න බෑ.
ඔව්. කීප වතාවක් මට එතුමා මුණගැහිලා තියෙනවා. සංගීත රසය සාහිත්‍ය රසය ඈත් වී යන අද වගේ කාලයක් වෙනුවෙන් නිධානයක් වගේ දැනෙන මේ ගීත ලියා තැබුවාට ඔබට ස්තූතියි කියලා තමා කියන්නේ. ඊළඟට මම කියන්නේ කුලේ අයියා මටත් ගයන්න මේ වගේ ගීයක් ලියාදෙන්න, ඔබ තවත් ගීත ලියන්න මේ වගේ කියලා.

මේ ගීය ගයපු අමරදේවයන් ඔබට මුණගැසී තියෙනවද?
පණ්ඩිත් අමරදේවයන් මට අවස්ථා කීපයකදී මුණගැසුණා. එතුමා සමඟ මම ගත්ත සෙල්ෆි ඡායාරෑපය මට හරි සුන්දර මතකයක්. මට එක අවස්ථාවක ආරාධනාවක් ලැබුණා එතුමා ඉදිරියේ එතුමාගේ ගීයක් ගයන්න. ඒත් මගේ අවාසනාවට ඒ උත්සවය කෙරුණේ නැහැ. ඒ අවස්ථාව මට මඟහැරුණා. ඔහු මට මුණගැහෙද්දී ඔහු ඉතාමත් වියපත්. එතුමාගේ පුතා රංජන මාත් එක්ක හරි හිතවත්. මම ආරාධනා ගීතය හුඟක් තැන්වලදී ගායනා කරලා තියෙනවා. මට රංජන අයියා කතා කරලා කියලා තියෙනවා තාත්තාත් ඇහුවා ඔයා හොඳට ගායනා කළා මල්ලී කියලා. වරක් මට අවස්ථාවක් ලැබුණා නන්දා මාලනී මහත්මිය ඉදිරියේ අමරදේවයන්ගේ ගීයක් ගයන්න. එදා මට පණ්ඩිත් අමරදේවයන්ගෙන් ලැබුණා නම් ලැබෙන්න තිබුණු ප්‍රතිචාරය මට නන්දා මාලනියගෙන් ලැබුණා. මම අතින් වැරදුණ එක වචන උච්චාරණයක් ගැන කියලා ඇය එදා කිව්වා ඉතාම හොඳට ගායනා කළා හරිම ලස්සනයි කියලා. එයත් ජීවිතයේ හරි වටින මතකයක්. 

මේ ගීතය ගැන ඔබ ඔබගේ ආදරණීය බිරිඳ සුජානි එක්ක කතා කරලා තියෙනවාද?
මම ගීතය ගයද්දී සුජානි මේ ගීතය බෙහෙවින් ආදරණීයව ඇයට දැනෙන විදිහට රස විඳිනවා. 

සුජානි සමඟ හැරුණු විට ඔබට සමීප යාළු මිත්‍රයන් එක්ක ඔබ මේ ගීතය ගැන කතා කරලා තියෙනවාද?
මේ ගීතය මම ගායනා කළාට පසු මම ගායන හැකියාව ඇති නළුවෙක් විදිහට බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් වැළඳ ගත්තා. මගේ ළඟම මිත්‍රයන් හමුවන සාදවල මම දෙතුන් වතාවත් මේ ගීතය ගායනා කරනවා. මම යන බොහෝ උත්සවවලදී මට මේ ගීය ගයන්න ආරාධනා ලැබෙනවා. හැබැයි මම කොතැනදීත් පණ්ඩිත් අමරදේවයන්ගේ මුල් ගායනයට ගරුත්වය පිරිනමනවා. 

මේ ගීය ගැයුවම ඔබට දැනෙනවාද ඔබේ ගායනය තුළ ඔබ උපරිමයෙන් සාධාරණයක් කළ බව?
බොහෝ දැන්වලදී මම උපරිම හැඟීම් ප්‍රකාශයක් එක්ක මේ ගීය ගායනා කළා කියලා මට හිතෙනවා. ඒත් සමහර විට මට මේ ගීතයේ පද පේලිවල උඩ යට මාරුවෙලා තිබෙනවා. ඒ විදිහට මාරුවෙලා වැරදුණා කියලා හිතුණු තැන්වලදී ගායනය පොඩ්ඩක් අස්ථාවර වුණා කියලා මට හිතෙනවා. මට හිතෙනවා මම ගිටාරය වාදනය කරමින් මිතුරු සාදවලදී එහෙම මේ ගීය ගියද්දී මම මේ ගීයට උපරිම සාධාරණය කළා කියලා. මගේ මල්ලි රනිල් ජයකොඩි වෘත්තියෙන් සංගීතවේදියෙක්. ඔහු හොඳ වාදකයෙක් හා ගායකයෙක්. මල්ලීයි මමයි එකතු වුණාමත් මම ඉතා ලස්සනට මේ ගීතය ගායනා කරලා තිබෙනවා. දේශීය විදේශීය ප්‍රසංගවලදීත් මම ගයන ගීයක් මේක. මේ ගීය එක්ක මතක් කරන්නම ඕනෑ යාළු මිත්‍රයින් පිරිසක් ඉන්නවා. මහේන්ද්‍ර පෙරේරා වරක් ඔහුගේ උපන්දින සාදයකට මාව ගෙන්වා ගත්තා මේ ගීතය ගයන්නම.

ගීත රසවින්දනය ගැන අනාගත පරපුරට කතා කරන්න දෙයක් ඔබ වැනි ප්‍රවීණයකුට නැතිවෙන්න බෑ.
වර්තමාන පරපුරට වඩා එදා පරම්පරාව ගීතය ගැන විචාරය අසමින් කතා කරමින් ගීතය විඳින්න කැමැති වුණා. රසඥතාව ඇති ලොකු ප්‍රේක්ෂාගාරයක් එදා ඇතිවුණා. තරුණ පරම්පරාවට විශේෂයෙන් කියාදෙන්න ඕනෑ සාහිත්‍යයක් නැතිව රසවින්දනය මතු කරන්න බෑ කියලා.

වර්තමාන පරපුර ගත්තම සනුක වික්‍රමසිංහ කියන අතිදක්ෂ ජනප්‍රිය ගායකයා දනිත් ශ්‍රී කියන අති දක්ෂ ගායකයා වැනි අය ගීතයේ සාහිත්‍ය රසය සොයනවා. ගීතයේ පදමාලාව, සාහිත්‍ය ගුණ, ගැඹුර ගීතයකදී විමසිය යුතුයි. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි රචකයන්ගේ ගීත රචනාවල අපූර්වත්වය ඔවුන් වචන භාවිත කළ ආකාරය පිරික්සා බලන්න. මට හිතෙන්නේ දැන් එවන් ගීතයේ විවිධ ඉසව් සොයා යන යම් නිර්මාණශීලී ගවේෂක පිරිසක් බිහිවෙමින් පවතිනවා. ඔබ වැනි වෛද්‍යවරුන් අද ගීතය ගැන කතාකරන්නේත් එසේ සාහිත්‍ය රසය සහ රසාඥතාව සොයා යෑමේ ප්‍රතිඵලයක් විදියට. එය සැබැවින්ම යහපත් සමාජ සංශෝධනයක් උදෙසා අත්‍යවශ්‍ය යැයි කියලා මම විශ්වාස කරනවා. 

ආරාධනා
ආරාධනා.... ආරාධනා 
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රුගෙන යළි වඩින්න
ආරාධනා... ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ.... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්නේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා... ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිඳු උපන්නෙමි
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

ගී පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව

 

                         සේයාරුව - සුමුදු හේවාපතිරණ