අනුරාධා ජීවිතේ කොහොමද?
පහුගිය දවස්වල නම් ෂූටිං නිසා ජීවිතේ ටිකක් කාර්යබහුල වුණා. ආයෙම කොරෝනා වසංගතයත් එක්ක ඒ හැම දෙයක්ම තාවකාලිකව නතර කරලා දාන්න වුණා. ඒ නිසා දැන් ටික දවසක ඉඳන් ගෙදරට වෙලා ඉන්නවා. කාර්යබහුල වුණ නිසාම මඟහැරුණු දේවල් ටිකත් කරගෙන ගෙදර අයත් එක්ක කාලය ගත කරමින්, පොත් කියවමින්, ෆිල්ම් බලමින් හරිම පරිස්සමින් මේ දවස්වල කාලය ගෙවනවා.
ජීවිතය පටන් ගත්තේ කොතැනින්ද?
මගේ ජීවිතේ පටන් ගත්තේ පවුලේ බාල දරුවා විදිහටයි. මට එක අයියා කෙනෙක් ඉන්නවා. මගේ අම්මාගේ පවුලේ අයගේ සහ තාත්තාගේ පවුලේ අයගෙත් ආදරය එක්කමයි මම හැඳුනේ. අදටත් එහෙමම තමයි. ඒ දෙන්නාගේම පවුල්වල ගෑනු දරුවෝ ටිකක් අඩුයි. වැඩිපුරම මට වඩා වැඩිමහල් අක්කලා තමයි ඉන්නේ. ඒ නිසා ඒ හැමෝම මට ආදරෙයි. මගේ තාත්තා මට කතා කළේ &චූටි මැණිකේ* කියලා. ඒ නිසා මගේ අක්කලා මගේ අයියා මට කතා කළේ &චූටි මැණිකේ* කියලයි. අදටත් එහෙමම තමයි. පවුලේ ඥාති සහෝදරියන් විවාහ වුණත් ඒ එකතු වෙන අයියලා පවා මට කතා කරන්නේ ඒ නමින්මයි. මේ ජීවිතේදී ඒ හැමෝම මට හරි ආදරෙයි. ඒ ආදරෙත් එක්කම තමයි මගේ ජීවිතේ පටන් ගත්තේ.
ජීවිතේ ආසා කළේ කවුරු වෙන්නද?
පුංචි කාලේදී අපේ තාත්තා ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුතේ කියලා ඉඳහිට කියනවා මතකයි. තාත්තා පොලිස් නිලධාරියෙක් නිසා මම ඉගෙන ගත්තේ නීතිය පැත්තයි. උසස් පෙළට කළෙත් ඒ හා සම්බන්ධ විෂයන්. මම නීතිඥවරියක් වෙන්න ආසා කළා.
අනුරාධාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කොතැනද?
ජීවිතේ හැරවුම වුණේ මගේ තාත්තාගේ වියෝවයි. මගේ තාත්තා මට ආදරය කරපු විදිහ අදටත් මට දරාගන්න බැහැ. මම මොන දේ කළත් මට දඬුවමක් දෙනවා තියා අඩුම ගණනේ මං දිහා රවලවත් බලන්නේ නැතිව මට ලොකු ආදරයක් තාත්තාට දෙන්න පුළුවන් වුණා. මට වෙන අයගේ ආදරේ දැනෙන්නේ නැතිවන තරමට මහ විශාල ආදරයක් තාත්තා මට ලබලා දුන්නා. හැමදේකම විසඳුම මට මගේ තාත්තා වුණා. ඒ හයිය ගැන කියන්න තේරෙන්නේ නැහැ. තාත්තා එකපාරටම නැතිවෙද්දී මාව කවුරු හරි අල්ලගෙන ඉඳලා එකපාරටම අත්හැරුණා වගේ මට දැනුණේ.
වගකීමක් දැනුණේ නැති අනුරාධාට වගකීම දැනුණේ, ජීවිතේ වෙනස් වුණේ එතැනින් පස්සේ... එහෙම නේද?
ඔව්. තාත්තා නැතිවිමත් සමඟ මට වගකීම් ගොන්නක් ලැබුණා. තාත්තා තමයි මාව, අයියාව, මගේ අම්මව බලාගත්තේ. තාත්තා නැතිවුණාට පස්සේ ඒ දෙන්නත් හරියට අවුල් වුණා. අපි තුන්දෙනාවම බලාගත්තේ හරියට පොඩි ළමයි තුන්දෙනෙක් බලාගන්නවා වගෙයි. ඉතින් තාත්තා කරපු ටික මම බලාගන්න ඕන කියන වගකීම මම ගත්තා. තාත්තා කෙනෙක් පවුලක් වෙනුවෙන් මොනතරම් දේවල් කරනවාද? මොනතරම් දේවල් දරාගෙන ඉන්නවාද කියලා මම දන්නවා. සමහර වෙලාවට ඒක දරාගන්න අමාරුයි. ඇයි තාත්තේ ඔයා ගියේ... මට මේක දරාගන්න අමාරුයි කියලා මම තනියම මගෙන්ම අහපු දවස් තිබුණා. හැබැයි ටිකින් ටික අද වෙද්දී මම ඒකට හුරුවෙලා ඉන්නවා. ඒ හයිය තාත්තා කොහේ හරි ඉඳන් මට දෙන්න ඇති කියලත් මම විශ්වාස කරනවා.
නිළියක් කියලා අනුරාධාට හිතුණේ කවදාද?
අදටත් මට එහෙම හිතිලා නැහැ. ඒක තමයි ඇත්ත. අදටත් මම මගේ ගෙදරට, මගේ නෑදෑයින්ට චූටි මැණිකේම තමයි. ෂූටිං කරද්දී කැමරාව ඉදිරියේ මම ඒ ඒ චරිත රඟපෑවත් ඉන් එහාට මම අනුරාධාම තමයි. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් වෙනවා.
පාසැලේදී දඟ කරලා දඬුවම් ලබපු දවසක් මතක් කරමුද?
අම්මෝ.... ඒ වගේ දඬුවම් ඕනතරම් ලබලා තියෙනවා. මම මුලින්ම හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. ඒක මිශ්‍ර පාසලක්. අපේ ක්ලාස් එකේ පිරිමි ළමයි මොකක් හරි දඟ වැඩක් කළොත් මං කොණක හරි ඉන්නවා. අපි ක්ලාස් කට් කරලා පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා. ඉස්සර සංගීත කාමරය තමයි පාසැලේ මම ආසම කරපු තැන වුණේ. අපිත් එක්ක ඉගෙන ගෙන සංගීත ක්ෂේත්‍රයේ හොඳ තැන්වල ඉන්න අයත් අද ඉන්නවා. ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.
දවසක් මගේ උපන් දිනයට පන්තියේ හැමෝටම කේක් අරගෙන ගියා. ඉතින් යාළුවෝ ඒවාත් කාලා ඩෙස්ක් වලට ගගහ සිංදු කිව්වා. ඒ පීරියඩ් එකේදී එහා පන්තියෙ හිටිය විද්‍යා ටීචර්. ඒ ටීචර් හරිම වසයි. මාවයි තව සිංදු කියපු කොල්ලෙකුයි නැගිට්ටවලා පන්තිය මැද පුටුවක් තියල ඒකේ අපි දෙන්නටම පීරියඩ් එකක් වාඩිවෙලා ඉන්න කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට හිනාගියා. මම හිනාවුණ නිසා ටීචර්ට තවත් තරහ ගිහින් එකම පුටුවේ අපි දෙන්නම පීරියඩ් දෙක්ක වාඩි කරවලා තිබ්බා. අම්මෝ ඒක පුදුමම දඬුවමක් තමයි.
ජීවිතේ කවදාක හරි සියදිවි හානි කරගන්න හිතිලා නැද්ද?
නැහැ. ජීවිතේ වගකීම් එකතු වෙද්දී සියදිවි හානිකරගන්න බැහැ. මම වෙනුවෙන් පිරිසක් ඉන්නවා. මම හදපු අම්මයි, තාත්තයි වෙනුවෙන් මම ජීවිතේ නැතිකර ගන්නේ කොහොමද? ඒ නිසා කවදාවත් මට එහෙම නම් හිතිලා නැහැ.
තමන් නොකරපු දෙයක් ගැන කටකතාවක් ජීවිතේදී ඇහෙද්දී මොකද හිතෙන්නේ?
මටත් එහෙම ඇතිවෙලා තිබෙනවා. මම මගේ අවට ඉන්න මිනිසුන්ට මම හරි ආදරෙයි. ෂූටිං එකට ගියත් එතන ඉන්න ටී බෝයිගේ ඉඳන් අධ්‍යක්ෂක දක්වා මම හරි ආදරෙයි. ඉතින් ජීවිතේ මට ළංවුණ අයගෙන් ප්‍රශ්නයක් නිසා ජීවිතේ විඳවන කෙනෙක් හිටියොත් මම ඒ කෙනාට වැඩිපුර ළංවෙනවා. ඒ වගේ වෙලාවකදී මගේ ඒ ළංවීම වැරදියට හිතලා ඒ කෙනා කොහේ හරි තැනක මම ගැන වැරදියට මගේ හිත රිදෙන දෙයක් කියලා තිබ්බොත් මම ඒ කෙනාව හිතින් අයින් කරනවා. හැබැයි කොතැනකදීවත් මම ඒ කවුරු එක්කවත් රංඩු වෙන්නෙවත් තරහ වෙන්නෙවත් නැහැ. හැබැයි මගේ ජීවිතෙන් ඒ අයව අයින් කර දානවා.
තාමත් රඟපාන්න නොලැබුණ ආස චරිතයක් අනුරාධාට තිබෙනවාද?
ඉස්සර ඉඳන්ම මම රජකාලේ චරිතයක් රඟපාන්න ආස කළා. ඒක මට ලැබුණා. ඒ වගේම චීත්ත රෙදි ඇඳපු ගැමි චරිතයක් කරන්න ආස කළා. ඒකත් මට ලැබුණා. ඒ වගේ මගේ හීන එකින් එක චුට්ට චුට්ට හැබෑ වෙනවා. අදටත් මම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. තාමත් මට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා මට හැමදාම ලැබෙන චරිත අලුත් චරිතයි. චරිත ගොඩක් කරලා නැහැ. ලැබෙන හැම චරිතයක්ම මට අභියෝගයක්. ඒ නිසා තාමත් මම කරපු චරිතවලට වඩා නොකරපු චරිත බොහෝයි. කරපු හැම චරිතයකටම මම හරි ආදරෙයි.
තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු මුදල මතකද?
ඇත්තටම මට ඒ මුදල නම් මතක නැහැ. රූපවාහිනියේ වෙළඳ දැන්වීමකින් තමයි ඒ මුදල මට ලැබුණේ. ඒ වෙද්දී ගෙදර හැම දේකමට, මගේ හැම දේකටම මුදල් දෙන්නේ තාත්තයි, අයියයි. ඉතින් මට ලැබුණු ඒ මුදල මම තාත්තාට දුන්නා. හැබැයි ඒ සල්ලිවලින් ඒ දෙන්නා කළේම මගේ අවශ්‍යතාවයන්ට වියදම් කරපු එකම තමයි.
ජීවිතේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?
මට එහෙම ලොකු බලාපොරොත්තු කවදාවත් තිබුණේ නැහැ. තාත්තා නැති වුණාම මට වගකීම් එකතු වුණා ඒ වගකීම් එක්ක අද මට ඕනේ මට ලැබුණු, මගේ ගෙදර අයට නොලැබුණු දේවල් ඒ අයට ලබලා දෙන්නයි. මම කාපු දෙයක් මගේ අම්මා, මගේ අයියගේ පවුලේ අය කාලා නැත්නම් ඒක මම කොහොම හරි ඒ අයට දෙනවා. මම විදෙස් ගතවෙලා තිබුණට මගේ අම්මවත්, මගේ අයියවත්, එයාගේ බිරිඳවත්, එයාගේ දරුවවත් කවුරුවත් එහෙම පිටරට ගිහින් නැහැ. ඒ නිසා ඒ හීන ටික ඒ අයට දෙන්න මට ඕනේ. ඒ අයගේ සතුට වෙනුවෙන් මට දෙයක් කරන්න තියෙනවා නම් මම ඒ දේ කරනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මගේ වටේ ඉන්න ඒ අය සතුටින් ඉන්නවා නම් මම සතුටින්.