2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

තව කේන්දර මොකටද වෙච්ච දේවල් හොදටම ඇති!

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

අද තනිකඩයා විශේෂාංගය හැඩ කරන්නේ කලා ලොවේ කා අතරත් ජනප්‍රිය ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී 
නිල්හාන් සෙනෙවිරත්න.

ඔබ අවුරුදු 30ක විතර කාලයක් තනිකඩව ජීවත්වෙන කෙනෙක්. ඔබ හිතනවද තනිකඩව ජීවත් වෙන්න ඔබ නිර්මාණය වුණු කෙනෙක් කියලා?
ඇත්තටම මට මේ ජීවිතය හරි හුරු පුරුදුයි. ඉස්කෝලෙන් අයින්වුණු ගමන්ම වගේ මම හැදුනෙ වැඩුනෙ අපේ ආච්චි ළඟ, නැත්තං නෑදෑයින් ළඟ. ගෙදර අම්මා, තාත්තා එක්ක මගේ තිබුණෙ තරමක දුරස්ථභාවයක්. ළමයි 6 දෙනෙකුගෙන් යුත් පවුලක මම බාලයා. මගේ ලොකුම අයියා මට වඩා අවුරුදු 24ක් වැඩිමල්. මගේ ජීවිතේ මට ගොඩාක් ‍ළ‌ෙන්ගතුව සිටියේ ඔහු. හරියට තාත්තා කෙනෙක් වගේ. ඔහු තමයි මාව පොඩි කාලෙ නාට්‍ය, චිත්‍රපට, සංගීත ප්‍රසංග බලන්න එක්කරගෙන ගියේ. මම ඔහුගේ ඔඩොක්කුවෙ ඉඳලා තමයි ඒවා බැලුවෙ. අද ලොකු අයියා ජීවතුන් අතර නැහැ. කලාව ගැන මට ඇල්මක් ඇතිවෙන්න ඒ අත්දැකීම් විශාල බලපෑමක් ඇති කළා. අවුරුදු 30ක් විතර දැන් මම ජීවත් වෙන්නෙ තනියම. ඒත් මට තනිකමක් නොදැනෙන්න කලා කටයුතු හා කලා ක්ෂේත්‍රයේ අයත් එක්ක වැඩ කරගෙන ඉන්න නිසා කියලයි මට හිතෙන්නේ.

පිරිමියෙකුට තනිකඩව, අවිවාහකව ජීවත් වෙන එක පහසු කාර්යයක්ද?
ඔව්. ඕකට විවාහකද අවිවාහකද කියලා වෙනසක් නැහැ. විවාහවෙලත් තනිකඩව ජීවත්වෙන පිරිමින් ඉන්නවනෙ. ඉතින් විවාහ නොවී තනිකඩව ඉන්න අපට ආර්ථික ස්ථාවරයක් වගේම දැඩි ආත්ම ශක්තියකුත් තියෙන්න ඕනෙ. සමහරු විවාහ වෙන්නෙ, ළමයි හම්බවෙන්නෙ ජීවිතේ කවද හරි දවසක තනිවෙන්නෙ නැහැ, අපේ දරුවො අපිව බලාගනියි කියලා හිතලා. ඒත් මම ඕනතරම් දැකලා තියෙනවා එහෙම නොවෙන අය. සල්ලි තිබුණොත් යම්තාක් දුරට බලා ගනී. නැත්නම් ඉතින් දුකම තමයි. හැමෝම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මේකයි අද ලෝකේ යථාර්ථය.

ඔබ විවාහයට බයද?
නෑ. එහෙම කිසිම බයක් නැහැ.

විවාහ වෙන්න ඕනෙ කියලා ජීවිතේ ඔබට කවදාවත් හිතිලා නැද්ද?
හිතිලා තියෙනවා. පොඩි කාලෙ අපිට ලොකුවට තේරුමක් නැහැනෙ. ඒ කාලෙ මම කියනවලු මම කවද හරි බඳින්නෙ මාලිනී ෆොන්සේකාව කියලා. එතකොට අපේ ගෙදර අය කියනවලු මම බඳින වයස එනකොට මාලිනී ෆොන්සේකා දෙනවක හාමිනේ වගේ ඇති කියලා. මම කියනවලු ඒත් කමක් නැහැ කියලා. එදා වගේම අදත් මාලිනී අක්කා මම ගොඩාක් ආදරේ කරන, ගරු කරන කලා ශිල්පිනියක්. මම ඇගේ ලොකුම රසිකයා කියලා තමයි මම තාමත් ලොකුවට හිතාගෙන ඉන්නෙ.

ඊට පස්සෙත් ඔබ තව කෙනෙකුට ආකර්ෂණය වෙනවා?
ඔව්. ඇය ජනප්‍රිය ගායිකාවක්. හැබැයි මම දැන් දන්නවා එය ඒක පාර්ශ්වික ආදරයක් බව. එයා හොඳටම දන්නවා මම එයාට කොච්චර කැමතිද කියලා. ඒත් මට කවදාවත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ, අපි හොඳම යාළුවෝ වුණාට. අදටත් අපි හොඳ යාළුවො. අදටත් කොහේ හරි එයාව දැක්ක ගමන් මගෙ හදගැස්ම වැඩිවෙනවා. ඒ කාලෙ මට මතකයි එයා එක්ක සහ තව යාළුවො එක්ක මම චිත්‍රපටයක් බලන්න ගියා. එයා මට කිව්වා ඒ ෆිල්ම් එකේ කොල්ලගෙ ගෙදරට හරි ආසයි කියලා. දැන් මගේ ගෙදරත් ඒ වගේම තමයි. සමහර දවස්වල එයා මටම කියනවා මම කවද හරි බඳින්නෙ මේ වගේ කෙනෙක් කියලා. වෙන කොල්ලන්ගෙ නම් කිය කියා. පොළොව පලාගෙන යන්න හිතුණා ඒ වගේ වෙලාවල්වල. විවාහයක් ගැන ඊට පස්සෙ මම හිතුවෙම නැහැ. විවාහ වෙන්නෙ නැතුවත් කෙනෙකුට ආදරය කරන්න පුළුවන් කියලා මම තේරුම් ගත්තා.

ඔබ ඇත්තටම ඔබේ නිවස ලස්සනට තියාගන්නවාද?
ඒක මගේ පුරුද්දක්. මම ඒකට ඇබ්බැහි වෙලා. ජනප්‍රිය නිළියො ගොඩදෙනෙක් ගේ දැකලා ප්‍රශංසා කරලා තියෙනවා. ඒ ගොල්ලන්ගෙ ගෙවල්වලට වඩා ලස්සනට තියාගෙන ඉන්නවා කියලා.
මේ වෙලාවෙ කියන්න ඕනෙ, මම දැන් ඉන්න ගෙදර ඇන්ටි මට සලකන්නෙ දරුවෙකුට වගේ. ඇගේ දරුවො මට සලකන්නෙ සහෝදරයෙකුට වගේ. මව්පියන්ගෙන් නොලැබුණු ඒ පවුලේ ආදරය මම මේ දවස්වල අත්විඳිනවා.

ඔබට දැන් උයන්නත් පුළුවන් නේද?
ඔව්. මම උයන්න ඉගෙන ගත්තෙ කොරෝනා පටන් ගත්ත කාලෙ මේ අවුරුද්දෙ මුල. ඒ වෙනකං උයන්න කෙනෙක් ගෙදරට ආවා. ඇඳිරි නීතිය නිසා එයාට යන්න එන්න බැරිවුණා. මමත් උයන්න පුරුදු වුණා. සමහර දේවල් වෙන්නෙත් හොඳකට.

ඔබේ අනාගතය ගැන මොන වගේ අනාවැකිද පළවෙලා තියෙන්න ඔබේ හඳහනේ?
මට ඉතිං හඳහනක්, කේන්දර කොපියක්වත් නැහැනෙ. ලග්නෙ තුලා කියලා විතරයි දන්නෙ.

එහෙනම් ඉක්මනින්ම හඳහන හදාගන්න. ඒක නැතුව කොහොමද පොරොන්දම් ගැලපෙනවද කියලවත් බලාගන්නෙ?
ඔයත් හරි ආසයි වගේ යාළුවො අමාරුවෙ වැටෙනවා දකින්න. වෙන දේවල් වෙයි. මට අමුතුවෙන් කේන්දර අවශ්‍ය වෙන්නෙ නැහැ. වෙලා තියෙන දේවල් හොඳටම ඇති.