2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ගෑස් කීව ගමන් පණ එපා කියලා දුවනවා

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

මේ සති අන්තයේ My Pet ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්. ඒ තමා නෙහාරා පීරිස්.

නෙහාරා ඔබේ සුරතලා කවුද?
මම හුරතලයට ඇති කරන්නේ බල්ලෙක්.

ඇයි ඔබ බල්ලන්ට විතරක් කැමැති?
මම පූසන්ට වැඩිය කැමති නෑ. මාළුන්ටත් වැඩිය ආසාවක් නෑ. බල්ලන්ට විතරයි කැමති.

ඔබ ළඟ දැනට බල්ලන් කී දෙනෙක් ඉන්නවාද?
මම ගාව දැනට බල්ලන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ටෙරියර් මික්ස් කෙනෙක්. අනිත් කෙනා ශිට්සු කෙනෙක්.

අපිට කියන්නකෝ ඒ දෙන්නාගේ නම්?
ටෙරියර් කෙනා ට්වින්කල්. ශිට්සු කෙනාගේ නම ස්නෝවි. හැබැයි ට්වින්කල් වැඩිය ගෙදර නෑ. එයා ඉන්නේම එළියේ. ශිට්සු තමා අපිත් එක්කම ඉන්නේ.

ස්නෝවිව ඔබට හම්බවුණේ කොහොමද?
මෙයාව අපිට හම්බවුණේ 2013 චන්දිමාල් ජයසිංහගෙන්.

ඔබගේ සුරතලාට ස්නෝවි කියලා හුරතල් නාමය දමන්න විශේෂ හේතුවක් තියෙනවාද?
එහෙම විශේෂත්වයක් නෑ. එයාට බූල් ගොඩක් තියෙනවා. ඉතින් එයා බෝලයක් වගේ. අනිත් එක මට එයාව හම්බවුන ගමන් මතක් වූනේ ටිං ටිං කාටුන් එකේ බල්ල ස්නෝවිව. හැබැයි ඒ බල්ලා වගේ නෙවෙයි මෙයා වෙනස්. හැබැයි පෙනුම ටිකක් ඒ වගේ නිසා තමා මම මෙයාට ස්නෝවි කියලා නම දැම්මේ.

මෙයා කරන නරක පුරුදු එහෙම ඇති නේද?
සමහරක් වෙලාවට මෙයා නරක පුරුදු කරනවා. අපි සෝෆා එකට මෙයාව නග්ග ගන්නේ නෑ. මේ ළඟකදි ඉඳන් එයා පුරුදු වෙලා අපිත් එක්කම සෝෆා එකට නැගලා වාඩිවෙලා අපි කතා කරන දේවල් අහගෙන බලාගෙන ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට එයා මුත්‍රා කරන්න එළියට තමා යන්නේ. ඒත් කම්මැලි වෙලාවට එයා ගෙදර එක තැනක කණුවක් තියෙනවා. මෙයා එතැනට ගිහිල්ලා මුත්‍රා කරනවා. ඒ වෙලාවට පොඩ්ඩක් සැර කරනවා. අනිත් එක තමා ඇයි දන්නෙ නෑ මෙයා ගෑස් එකට මාරම විදිහට බයයි. ගෑස් කියන නම ඇහුණත් මෙයා දුවගෙන ඇවිත් කාමරේ හැංගෙනවා. තව නරක දෙයක් මෙයා කරනවා. මේක නම් අපේ තාත්තා තමා මෙයාට පුරුදු කරලා තියෙන්නේ. අපි කනකොට මෙයා අතින් ගහලා ඉල්ලනවා. අපේ ගෙදර පාටි එකක් එහෙම තිබ්බොත් මෙයා ගිහිල්ලා ඇවිල්ලා ඉන්න අයගෙන් කෑම ඉල්ලනවා. ඒක අපිට හරි ලැජ්ජයි. අපෙන් ඉල්ලනවා වගේ නෙවෙයිනේ. පිට අයගෙන් එහෙම ඉල්ලනකොට. එතකොට අපි ගෑස් එනවා ගෑස් එනවා කියලා කියනවා. එතකොට ඇවිල්ලා එයා හැංගෙනවා. ඔය වගේ දේවල් තමා මෙයා කරන නරක පුරුදු.

චූටි බබෙකුයි, බලු පැටියෙකුයි දෙන්නෙක් හදන්න අමාරුයිනේ

අපි ආසයි දැනගන්න ස්නෝවිගේ වතගොත?
එයාගේ වයස අවු.7යි. ඒ වුණාට ශිට්සුලා සයිස් එකෙන් පොඩියි. මෙයාලා වැඩිය ලොකු වෙන අය නෙවෙයිනේ. එයාට හරියට ආදරය ඕනේ. හැබැයි මෙයා කැමති නෑ අපි පොඩි ළමයින්ව හුරතල් කරනවාට. වෙන බල්ලන්ව හුරතල් කරනවාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ වගේම නාට්‍ය දෙකකටත් රංගනයෙන් දායකවෙලා තියෙනවා. එක නාට්‍යයක් තමා රෑන කියලා ටෙලිනාට්‍යයක්. අනිත් එක තමා තවදුරයි ජීවිතේ කියන නාට්‍යයේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මෙයා හරි ආසයි මෙයාව ඡායාරූප ගන්නවාට. පත්තරයකින් හෝ රූපවාහිනියකින් මාවයි මේනකවයි ඉන්ටර්වීව් එකකට ගෙදර ආවොත් අනිවාර්යයෙන්ම එයාවත් ඡායාරූපයක් ගන්නම ඕනේ. එයා ඡායාරෑපය ගන්නකම් එතනට වෙලා බලාගෙන ඉන්නවා. විශේෂයෙන් කියන්නම ඕනේ මෙයා ගොඩක් සංවේදී බල්ලෙක් කියන එක.

එයාගේ උපන් දිනය එහෙම සමරනවාද?
ස්නෝවිගේ පළවෙනි උපන්දිනය නම් අපි කේක් කපලා පාටි හැට් එකක් දාලා සැමරුවා. ඊට පස්සෙ නම් එහෙම කළේ නෑ. මොකද අපි 2015 රට ගියාට පස්සේ උපන්දිනය සමරන්න වුණේ නෑ.

නෙහාරා ඔබ කාර්යබහුල කෙනෙක්. ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඔබ සුරතලා ගැන බලන්නේ?
මෙහෙමයි අපේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ මාත් එක්ක. තව අපේ ගෙදර වැඩවලට උදව්වට කෙනෙක් ඉන්නවා. මොකද මමයි මේනකයි දෙන්නම 2015 තමා රට යන්නේ. ඉතින් අපි රට ගියාට පස්සේ අපේ අම්මයි තාත්තයි තමා මෙයාව බලාගත්තේ. ඉතින් මෙයා ඒ දෙන්නටත් ගොඩක් එකතුයි. එයාලා ඉන්න නිසා මම කොච්චර කාර්යබහුල වුණත් ස්නෝවි ගැන බලන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

නෙහාරා ඔබගේ ස්වාමිපුරුෂයා ඒ කියන්නේ මේනක. ඔහු කොහොමද ස්නෝවිට ආදරය කරන්නේ?
මට වඩා එයා තමා බල්ලන්ට ගොඩක්ම ආදරේ. එයා කිය කියා ඉන්නවා තව පැටියෙක් ගේන්න ඕනේ කියලා. ලබන අවුරුද්දේ වගේ තමා ගේන්න හිතන් ඉන්නේ. මොකද අපේ ගෙදරට එනවානේ තවත් බබෙක්. ඉතින් චූටි බබෙකුයි, බලු පැටියෙකුයි දෙන්නෙක් හදන්න අමාරුයිනේ. ඒක නිසා ටිකක් ඉඳලාම තව කෙනෙක් ගේනවා කියලා තමා මේනක කියන්නේ.

නෙහාරා ඔබ කැමති හොඳ වර්ගයේ බල්ලන් හදන්න විතරද?
මම නම් පෞද්ගලිකව කැමැති හොඳ වර්ගයේ බල්ලන් හදන්න විතරයි.

ඔබ වගේ සුරතලුන් හදන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
බොහොම ආදරයෙන් එයාලව හදන්න. එයාලට කතා කරන්න බැහැ. නමුත් එයාලා මිනිසුන්ට වඩා කෙලෙහිගුණ තියෙන සත්තු ජාතියක්. සමහරක් මිනිස්සු කේන්ති ගියාහම එයාලට ගහනවා. ඒ වගේ දේවල් කරන්න එපා. සමහර වෙලාවට අපි වෙහෙසකාරීව ඉන්න වෙලාවට බල්ලට පුළුවන් ඒ වෙහෙසකාරී තත්ත්වය නැති කරන්න. ඒ වගේම අපි ස්නෝවිට ගොඩක් සෙල්ලම් බඩු තියෙනවා. අපි කොහේ හරි ගිහිල්ලා එනකොට ස්නෝවි දුවගෙන සෙල්ලම් බඩුවක් අරගෙන අපි ළඟට එනවා. එයාව වඩාගන්න කියලා. අන්න ඒ වගේ දේවල් නිසා අපි කොච්චර වෙහෙසකාරීව ගෙදරට ආවත් එහෙම දෙයක් දැක්ක ගමන් වෙහෙසකාරී බව නැතිවෙනවා. ඒක නිසා ආදරයෙන් බලන්න. කෑම ටික වෙලාවට දෙන්න. එතකොට බල්ලත් සතුටින් ඉන්නවා. අපිත් සතුටින් ඉන්නවා.