2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ගීතය අහද්දී පුදුම ඊර්ෂ්‍යාවක් දැනුණා....

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 427

මසා.. නොදන්නා උන් අතර දන්නා උන්ගේ ළෙන්ගතු ආමන්ත්‍රණය එසේමය. ආ මඟ පුරා දැනෙන්නේම කවියක සුවඳය. සෙංකොට්ටං, අපොයියාව අතරේ වැඩියෙන්ම හිත ඉල්ලන්නේ අකුරින් බැඳි කවියක හැඩරුවමය. කවිය ආත්මය කොටගත් හෙයින් ඔහු අන් කවුරු වුණත් අවසානයේ කවිකාරයෙක්මය. 
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.. මගේ නොවන මගේම ගීතය ගැන අද කතා කරන්නේ ඒ කවිකාරයාය.

ගීතය ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
කවිය ගත්තත් ගීතය හෝ වෙනත් කලා කෘති ගත්තත් නිර්මාණකරුවාගේ ඉසියුම් සහෘදත්වය, ජීවිත පත්ල විනිවිද දකින්නට, සූක්ෂමව විමසන්නට ඇති හැකියාව මම දකින්නේ දිව්‍යමය හැකියාවක් විදිහට. ඒ දිව්‍යමය හැකියාවෙන් අඩක් මම දකින්නේ වාසනා ගුණය හැටියට. ඒ වාසනා ගුණය තමා ප්‍රතිභාව කියන්නේ. එය උප්පත්තියෙන් ගෙනෙනා වාසනා ගුණයක්. එය නිරායාස ගුණය ලෙසත් හඳුන්වනවා. සාහිත්‍යයේ නියැලෙන්නන් ලෙස අපි ගීතයක් ගත්තත් වැඩිදුර විමසන්නේ ඒ ගීතයේ සැඟවුණු සාහිත්‍යමය ගුණාංග. ගීතය කියන්නේ පද රචකයා, සංගීතවේදියා සහ ගායකයා කියන ත්‍රි මූර්තියේ සුසංයෝජනයක්. එතැනදී පද රචකයා කෙරෙහි තමා මගේ වැඩි නැඹුරුතාව පවතින්නේ. තව කෙනෙක් සංගීතය හෝ ගායනය කෙරේ වැඩි නැඹුරුතාව දක්වන්න පුළුවන්. සමහර ගීත අහද්දි හිතෙනවා ඇයි මේ ගීතය මට ලියන්න බැරිවුණේ කියලා. ඇත්තටම එහෙම හිතෙද්දි සමහරවිට සියුම් ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා.

මේ දැනුණා කියන ඊර්ෂ්‍යාව කොහොම නිර්වචනය කළොත්ද ඒ ඊර්ෂ්‍යාවට හරිම සාධාරණය ලැබෙන්නේ?
මේ ඊර්ෂ්‍යාව කියන හැඟීම උපදින්නේ ඒ ගීතයේ තියෙන දුර්ලභ ගුණයත් එක්ක. හරි අපූරු පෙර නොවූ විරූ නිර්මාණ කියලා කියන්නේ අන්න එහෙම ඊර්ෂ්‍යාවක් දැනෙන නිර්මාණවලට. ඒ ඊර්ෂ්‍යාව ඇතුළෙ තියෙන්නෙ කුහකත්වයක් නොවෙයි හරි ලෝභ සුන්දර ස්වභාවයක්.

ඔබට මගේ නොවන මගේම ගීතය වෙන්නෙත් අන්න ඒ විදිහේ ඊර්ෂ්‍යාවක් දැනුණු ගීතයක්ද?
ඔව්.. ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කර ගායනා කළ අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්... ඉඩ ලබාගනිමු තරමින් වියතක්... හඳපානේ මඳ අඳුරේ.. අත් පටලාගෙන යමු ආයේ කියන ගීතය.

ඇයි මේ ගීතය ඔබට මේ තරම් ප්‍රිය?
මෙය හුදෙක් ප්‍රේම ගීයක්ම නොවෙයි. නිර්මාණකරුවෙකුට කෙතරම් විප්ලවයක් නිර්මාණය තුළ කළ හැකිද යන්න මේ ගීතය කදිම සාක්ෂියක්. අපි ලෝකය තුළ ජීවත් වෙද්දී, අපි සංස්කෘතියකට අනුගත වෙද්දී අපි හිතනවා මානවයා දියුණු සංස්කෘතියක් තුළ ජීවත් වෙනවා කියලා. දියුණුයි කියන සමාජය තුළ පවතින එක ක්‍රමවේදයක්, නිර්ණායකයක් තමා සම්මතය කියන්නේ. ආදරයත් සම්මත හා අසම්මත ලෙස වර්ගීකරණය වෙන්නේ මේ සීමාසහිත නිදහස් අවකාශයක් හිමි සංස්කෘතිය තුළ. සම්මත ආදරය තමා පවුල යන සමාජයට කේන්ද්‍රගත වීම අරමුණ විය යුතු නීතිය සම්ප්‍රදාය සමඟ බැඳෙන ආදරය. ඒ සීමාවන් බිඳී ගිය තැනක ඇතිවෙන බන්ධනය සෙනෙහස අසම්මත ලෙස වර්ගීකරණය කරනවා. කලාකරුවාගේ ප්‍රකෘති ලෝකය තුළ සම්මතය අසම්මතය ඔය නිර්ණායක ඔස්සේ විනිශ්චය කරන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් නැහැ. ප්‍රේමය කියන එක ලෝකයේ ඕනෑම තැනක හටගන්න පුළුවන්. ඒත් ඒ ප්‍රේමය දියුණු යැයි කියනා සීමාවන්ගෙන් වටවෙච්ච සංස්කෘතියක් සහිත සමාජයක් ඇතුළෙ අපට ප්‍රකාශ කරන්න නිදහසක් නැහැ. මේ ගීතය තුළින් ධ්වනිත වන්නේ එහෙම අරුතක්. ඒ නිදහස් චින්තනයට මම හරි ප්‍රියයි. 

ඒ ගීතයේ වචන සංයෝජනය තුළ ඔබේ හදවතට වඩාත් ගැඹුරින් දැනුණු තැන කොතැනද?
ආකර්ෂණයේ ප්‍රථම තැන තමා ගීතයේ සංකල්පය. ඒ සංකල්පය හරි වෙනස්. ලෝකය මතුපිටින් අසම්මත යැයි හැඟෙන මනුෂ්‍ය හැඟීම්වලට කවියාගේ, ගීත රචකයාගේ, නිර්මාණකරුවාගේ ලෝකය තුළ ලබා දෙන මනුෂ්‍යත්වයේ හැඩතල මේ ගීතය තුළ ප්‍රකටයි. මෙය ඉතා සූක්ෂම ලෙස හැඟූම් දනවන පිරිමියාගේ ගීතයක් ලෙස මම දකින්නේ.

අපි හැඟූම්වලට ඉඩ දී මොහොතක්... සංස්කෘතික ලෝකයේදී කියන්නේ හැඟීම්වලට ඉඩ දෙන්න එපා කියලා. ගීතයේ පළමු පේළියෙන්ම ඒ සංස්කෘතික හිතුවිල්ල කඩා ඉහිරුවා දානවා. එතන ඉතාම ගැඹුරු මානව චින්තනයක් තියෙනවා. මිනිසාගේ සිතීමේ අයිතිය වෙනුවෙන් මේ පෙම්වතා පෙනී ඉන්නවා. වියතක් තරම් පුංචි ඉඩක් ලබාගමු කියන එකෙන් මේ ප්‍රේමය විඳින්න අපි වටේට කොච්චර බාධක තියෙනවද කියන එක ව්‍යංගාර්ථයෙන් කියනවා. එහෙම පුංචි ඉඩක් හොයන්නෙ ඇයි? ඉස්සර ඔවුන් සන්තකව තිබුණු ලෝකයක ආය සැරිසරන්න මේ මහා කාල අවකාශයෙන් පුංචි ඉඩක් අපි හොයාගමු කියලා රැයකදි හමුවෙන්න ප්‍රාර්ථනා කරන්නේ ලෝකය වැඩියෙන් ඇස් ඇරගෙන ඉන්න දහවලේදි හමුවෙන්න බැරි නිසා. 
ගීතයේ දෙවැනි කොටසින් කියනවා අපි අපේ සෙවණැලිවලින් මිදී එමු කියලා. මෙම සෙවණැල්ල සංකල්ප රූපයෙන් ගන්නත් පුළුවන්. මතුපිටින් සැබෑ පුද්ගලයාගේ සෙවණැල්ල ගන්නත් පුළුවන්. අපට සෙවණැල්ල වාගේ සැබෑ සහකරුවෙක් සහකාරියක් ඉන්න පුළුවන්. ඒ සෙවණැලිවලින් මිදෙමු අපේම වෙච්ච පුංචි ඉඩක් හදාගන්න. 

ගීතය පුරාම වැඩවසම්වාදී මානව නිදහසට කටු අකුල් හෙලපු සංස්කෘතික බැමි සීමාවන් කඩාගෙන යන විප්ලවවාදී ප්‍රේමවාදී චින්තකයකුගේ සෙවණැල්ල වැටී තිබෙනවා.
ඒ සෙවණැල්ල හරි නිර්මාණාත්මකයි. අපූුයි. 

මේ ගීතයේ අවසානයේ කියනවා අපි හැඬුම් සඟවාගෙන හිනාවෙමු කියලා. එහෙම හිනැහෙන්න පුළුවන් හරිම ගැඹුරු ප්‍රේමයක් හිතේ හිරකර ගන්න දෙදෙ‌ෙනකුට. 
යමු වෙන්වී හිමිදිරියේ කියන යෙදුම තුළ තියෙන ප්‍රබල ධ්වනිතාර්ථය බලන්න. වියතක් වගේ පුංචි ඉඩක් ඉල්ලූ ඔවුන් දන්නෙම නැතුව හිමිදිරිය වෙනකම්ම එකට රැඳිලා. මම කීවේ මේ ගීතය පුරුෂාර්ථ දනවන පිරිමි ගීතයක් කියලා. පිරිමියෙක් හැමවිටම ලිංගික ආක්‍රමණිකයෙක්. ඔහුගේ අවස්ථාව ලැබෙන තුරු ඔහු සූදානම් වෙන හැටි, ලැබෙන අවස්ථාවෙන් ඔහු ප්‍රායෝජන ගන්නා හැටි පොදු මහත් පිරිමියා ඉතිහාසයේ සිටම කටයුතු කළ ආකාරයයි. ඒ ගීතය තුළ සිටින උපක්‍රමශීලී පිරිමියා ස්ත්‍රියක් ආකර්ෂණය කරගන්න දරන සහජ දක්ෂතාවය හරි යථාර්ථවාදියි.

ඇලන් පීස් සහ බාබරා පීස් ලෝකයේ සිටින ගැහැනු හා පිරිමි ගැන ප්‍රකට කෘතියක් රචනා කරනවා. පිරිමි සහ ගැහැනු මේ තරම් වෙනස් ඇයි කියලා. ඒ කෘතියේ එක් ප්‍රබල තැනක් තියෙනවා, ලිංගික කාරණයේදී පිරිමියාට අවශ්‍ය වන්නේ ස්ථානයක් පමණි. නමුත් ස්ත්‍රියට හැමවිටම හේතුවක් අවශ්‍ය වේ කියලා. මේ ගීතය අහද්දි ඒ පිරිමි චින්තනය මට මතක් වුණා.

මේ ගීතය තුළ ඔබට දැනෙන සහෘද බව ඔබේ ජීවිතයටත් යාවෙන තැනක් තියෙනවද?
සාර්ථක නිර්මාණයක් හැමවිටම ප්‍රකට කරන්නේ පොදු ලක්ෂණයක්. ජීව විද්‍යාත්මක සත්‍යයක් ප්‍රකට කරන මේ ගීතය මම පෞද්ගලික කාරණයක් ලෙස හුවා දැක්වීම වෙනුවට මම කියන්නේ ඕනෑම ගැහැනියක්, පිරිමියෙක් කුමන හෝ අන්දමින් ප්‍රායෝගිකව හෝ සංකල්පීය ලෝකය තුළ හෝ කුමක් හෝ නෑදෑකමක් මේ ගීතයට දක්වනවා. හැම කෙනෙක්ගෙම වාගේ හිතට ආමන්ත්‍රණය කරන හැඩතලයක් මේ ගීතයේ තියෙනවා. ඒ මහා පිරිස අතර මමත් එක පෘතග්ජන මිනිහෙක්.

ඔබට සුන්දර ඔබව තේරුම්ගත් ඉවසිලිවන්ත බිරිඳක් ඉන්නවා. ඇය හා මේ ගීතය ගැන ඔබ කතා කරලා තියෙනවද? 
ඔව් ඇයත් සමඟ මම මේ ගීතය ගැන කතා කරලා තියෙනවා. ඇය හුඟක් සාහිත්‍යයට ළැදි කෙනෙක්.

ඇය හැර හිතට සමීප තවත් අය එක්ක මේ ගීතය ගැන ඔබ ගැඹුරින් කතා කරලා තියෙනවද?
ඔව්. හුඟාක් තැන්වලදි, රසවින්දන වැඩසටහන්වලදි මම මේ දුලභ ගීතය ගැන කතා කරලා තියෙනවා.

ප්‍රේක්ෂක ඉල්ලීමක් ආවොත් මේ ගීතය ගයා පෙන්වන්න කියලා ඔබට පුළුවන්ද?
ඒක නම් කරගන්න බැරිවෙයි. අපි සහෘදයන්, මිතුරන් සමඟ ගෙවන පුදුම අමුතු සුන්දර සන්ධ්‍යාවන් තියෙනවා. අන්න ඒ සන්ධ්‍යාවන්වලදිනම් මට මේ ගීතය ගයන්න පුළුවන්. හැබැයි හුඟාක් කළුවරකදි වෙන්න ඕනෑ.