2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

හමුනොවී හමුවෙන්න ආදරය එතන ඇත.....

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

හදේ කොතැනක හෝ හිඳී ඔබ...

එහෙම හිටපු සමහර අය ජීවිතයේ කොහේ හරි තැනක හිටියා නේද කියලා දැනෙන්නේ ජීවිතයෙන් ඒ අය දුරස් වී ගිය දවසක මොහොතක.... ජීවිතයේ හෝ මතකයේ හෝ කැමැත්තේ තැනක ඉන්නවා ඇති කියලා හිතෙනකම් නොදැනුණු අගයක් දැනෙන්නේ නික්ම ගිය දවසක... නොඑන්නම නික්ම ගිය දවසක....

ඉර්ෆාන් ඛාන් කියන රංගවේදියාගේ රංගනයට මම කොතරම් ප්‍රිය කළාද කියන එක මට දැනෙන්න ගත්තෙත් පිළිකාව විසින් ඔහුගේ ජීවිතයම උදුරාගත්තා කියලා අහපු දවසේ... ඒ තරම් සියුම් ලෙස සූක්ෂම ලෙස භාව ප්‍රකාශනයට දක්ෂ රංගධරයෙක් ඇත්තටම මම දැකලා නැති තරම්... ඔහු මහා කඩවසම් රූපයක් තිබුණ රංගධරයෙක් නෙවෙයි. ඒත් ඔහුගේ රංගනය හරිම කඩවසම්... රංගනය තුළ ඔහු වීරයෙක් හා විශිෂ්ඨයෙක්... රංගනය තුළ ඔහු රංගන සරසවියක්... ඒ නිසාම ඉර්ෆාන් මේ ලෝකයෙන් යන්න ගියාට පස්සෙ මම ඉර්ෆාන් රඟපෑ චිත්‍රපට පිස්සුවෙන් වගේ හොය හොයා බලන්න පුරුදු වුණා... මොකද ඉතිරි කර ගිය දේ හැර ආයෙත් දෙයක් කවදාවත් දකින්න නැති නිසා...

Ritesh Batra ගේ The Lunch Box හින්දි චිත්‍රපටය හරිම වෙනස් ප්‍රස්තුතයක් ඔස්සේ නිර්මිත සිනමා රෑපකාරකයක්. අමුතු විදිහකට හැඟෙන... අමුතුම ආදරයක්.... දවල් කෑම බඳුන ඔස්සේ එහෙට මෙහෙට මුදාහැරිය.... කවදාවත් හමුනොවී වෙන්වෙච්ච.... වෙන්වුණා කීවට වෙන් නොවෙච්ච ආදරණීයම තරමටම දුරස්ථ වෙච්ච මහ අමුතු ආදර කතාවක් තමා මේ සිනමා කාව්‍යයට ප්‍රස්තුත වෙන්නේ...

ඇය බිරියක්... පුංචි දියණියක්ගේ මවක්... එහෙත් බිරියක් ලෙස ඇය ඉල්ලන ආදරය අවධානය ඇගේ සැමියාගෙන් හරි දුරස්ථයි ඇයට.... ඇය ඔහුට දවල් ආහාර බඳුන පිළියෙළ කරන්නේ හරිම භක්තියකින්.... පුංචි මහල් නිවාසයක ජීවත්වන ඇගේ ජීවිතයේ සාරසුබාවන් අඩුවුණත් ඇය පරාටා රොටී එක්ක හැමදාම රස කරියක් බත් ටිකක් පිළියෙළ කරන්නේ හරියට දෙවියන්ට හදන දානයක් වගේ. මේ ආහාර බඳුන රැගෙන යන්නේ කාර්යාලවලට ආහාර බඳුන් රැගෙන ගොස් බාර දෙන්නෙක්. ඔහු කලක් තිස්සේ ඇය දහවලට උණු උණුවේ ඔහුට යවන අහාර බඳුන රැගෙන යන්නෙ වෙනත් අයෙක් වෙතට... ඒත් ඒ වැරදීම හරිම සුන්දරයි....

ඇය දවසක් ඒ ආහාර බඳුනේ පුංචි කොළ කෑල්ලක ලියා යවනවා ඇයගේ සිතුවිලි... එතැනින් තමා ඒ අමුතු බැඳීම ලියලන්නේ... ඔහුත් ජීවිතය තුළ හුදෙකලා වූවෙක්.... හැම දවසකම පුංචි වදන් කිහිපයකින් පෙර දින දවසේ හැම වෙච්ච දෙයක්ම ඒ දෙන්නා බෙදාගන්නවා... ඒ දෙදෙනාටම ජීවිතයේ නොලැබිච්ච දෙයක් තියෙනවා. ඒ තමා ඒ දෙන්නම හොයපු ආදරය....

ඔහු ඒ කෑම බඳුන ඔහුගේ මේසය උඩට එනකම් බලාගෙන ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින්.... ආව ගමන් ඉඹලා සුවඳ බලනවා... ඔහු හොයන්නේ කෑම නෙවෙයි අර පුංචි ලියුම් කෑල්ල.... ඒ ලියුම් කෑල්ල තමා ඔහුට ජීවිතයට හුස්මක් දෙන්නෙ.... ඇය බලාගෙන ඉන්නවා අර කෑම බඳුන කෑම බඳුන් රුගෙන යන්නා නැවත ඇය වෙත ගෙනැවිත් දෙනකම්... ඒ ඔහු එවන පුංචි කඩදාසිය කියවන්න... හවස එන හිස් කෑම බඳුන ඇයට කවදාවත් හිස් කෑම බඳුනක් වෙන්නෙ නෑ.... එක දවසක් ඔවුන් කතාකර ගන්නවා මුණගැහෙන්න. ඒ වෙද්දී ඇගේ සැමියා ඇගේ ජීවිතයෙන් හුඟාක් දුර ඈතකට ගිහින්... ඇය බලා සිටිනවා අවන්හලක ඔහු එනකම්... ඔහු යනවා... ඒත් ඇය තරුණ ගැහැනියක්... ඔහුට හිතෙනවා ඒ තරුණ ගැහැනියගේ ජීවිතයට ළංවෙන්න සුදුස්සෙක් නෙවෙයි කියලා ඔහු. ඊට පසු දිනක් ඇය ඔහු වෙත එවන්නේ හිස් කෑම පෙට්ටියක්... ඒ තමා ඇගේ වේදනාව.... නැවතත් ඇය ඔහුගේ බඩගින්න නිවනු පිණිස අර රස කෑම එවනවා... ඒත් තව පුංචි කාලයක් තුළ ඔහු ඈතකටම යනවා. ඒ යද්දී ඇය ඔහු සොයා එනවා... ඒත් ඉරණම තුළ මුණගැසීමක් සටහන් වෙලා නැතුව ඇති... කාලය ඔවුන් මඟහරවනවා....
ඒ ආදරය මැරෙන්නෙ නෑ... ඒත් ඔවුන් හමුවෙන්නෙත් නෑ....

මිනිස්සු හැමවිටම ජීවත් කරවන්නේ අනපේක්ෂිත බලාපොරොත්තුවක් විසින් කියලා මට හිතෙනවා... මිනිස්සු හැමදාමත් හෙට දවස වෙනුවෙන් හුස්ම අල්ලගෙන ඉන්නේ ඒ අනපේක්ෂිත බලාපොරොත්තුව වෙනුවෙන් කියලා මට හිතෙනවා. අයිතියට හිමිවෙන තැනදි දැනෙවාටත් වඩා මට හිතෙන්නෙම ආදරය දැනෙන්නේ හිමි නොවන මඟහැරෙන තැනකදී කියලා. ජීවිතයේ අපි නොහිතන පුංචි දෙයක් තුළ සතුට සැඟවිලා තියෙන්න පුළුවන්....

The Lunch Box සිනමා කාව්‍යය මනුෂ්‍ය චිත්ත සන්තානයේ පෙනෙන නොපෙනෙන හරිම සියුම් හැඟීමක් ගැන ගැඹුරින් කතාකරන විදිහ ඇත්තටම අපූරුයි... ඉර්ෆාන් ඛාන්... කලාකරුවෙක් මැරෙන්නේ භෞතිකව විතරයි කියලා මම විශ්වාස කරන්නේ ඔහු නිසා කියලා මට දැනෙන තරමට ඔහුගේ රංගනය තුළ මම ඔහු වෙත ආශක්තයි....

ඔහුගේ ලොකු ගැඹුරු ඇස් ඇතුළේ හැඟීම් දිගහරින හැටි... සමහරවිට අපිට ජීවිතය දැනෙන්නේ අපිට අයිතියක් නැති කෙනෙක්ගේ කටහඬක්, හුස්මක්, බැල්මක් තුළ වෙන්න ඇති... ඒ තමා ආදරයේ හැටි.... ආදරයේ විතරක් නෙවෙයි. අපි ආදරය හොයන අපේ හිත්වල හැටිත් එහෙම වෙන්න ඇති....