මගේ කොස්කොළ ඔටුන්න
මුතු මැණික් රජ ඔටුන්නක් වූදා
දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට
කෝ මගේ ළඟ තාත්තා...
ඒ මගේ තාත්තා ගැන මා ලියූ කවියක්... මට මගේ තාත්තා කියන්නෙම ලියා අවසන් කරන්න බැරි මහා කවියක්... මට ජීවිතය උගන්වපු අටේ පන්තියට ඉස්කෝලේ ගිය මහාචාර්යවරයෙක්....
ඒ මට මගේ තාත්තා දැෙනන හැටි....
රසාංජන නන්දසිරි... අප අතර සිටි විජය නන්දසිරි කියන ආදරණීය කලාකරුවාගේ පුතු ඔහු.... රසාංජන තමන්ගේ තාත්තා ගැන ගීතයක් ඔස්සේ විග්‍රහ කරද්දී මගේ මතකය නතර වුණේ මගේ තාත්තා ළඟ... තාත්තා තාත්තාම මිස අන් කවුරුන්ද? ඒ තරමට මා හැඟුම්බර කළ රසාංජන සමඟ අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරමු.
• මගේම ගීතයක් කියලා හිතෙන ගීතයක් ඔබට තිබෙනවාද?
ජීවිතයට සමීපතම ගීතය බවට පත්වුණේ මගේ තාත්තා ගැන මට තියෙන අසීමිත බැඳීම නිසාම මම මගේම කරගත්ත ගීතයක්.
• මොකක්ද ඒ ගීතය?
මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ සෝමතිලක ජයමහ ගයන පොඩිදුවගේ සිනාවැලයි ෙපාඩි පුතුෙග් කතා ෙපළයි කියන ගීතය.
• රසාංජන ඇයි ඔබ ඒ ගීතයට ඒ තරම් කැමති.... විශේෂ හේතුවක් නැතිවෙන්න බෑ...?
සුනිල් ආරියරත්නගේ ගීතවලට මම කොහොමත් ප්‍රියකරන කෙනෙක්. ඒත් මේ ගීතය මට ඒ ගීත සියල්ලටම වඩා සුවිශේෂියි. මේ ගීතයෙන් කියවෙන අර්ථය මම මගේ ජීවිතය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැක්ක දෙයක්. වින්ද දෙයක්. මගේ තාත්තා විජය නන්දසිරි කියන්නේ මේ රටේ හිටපු කීර්තිමත්ම කලාවේදියෙක් විතරක් නෙවෙයි. හරිම සුන්දර වටිනාකම් පිරුණු හදවතක් තිබුණු නිරහංකාර මනුස්සයෙක්. තාත්තාට අපි එක්ක ගෙදර ඉන්න ලැබුණු කාලය හරිම අඩුයි. සති අන්තයේ හැමදාම තාත්තාට වේදිකා නාට්‍යයක් නැතිවුණු දවසක් නෑ. ඒ අතර තාත්තා ප්‍රසංග සඳහා විදේශ සංචාර වලටත් නිතර ගියා. හැබැයි මේ ලෝකේ කොහේ ඇවිද්දත් තාත්තාට ගෙදර තරම් සතුටුදායක නිදහස් තැනක් වෙන කොහේවත් තිබුණේ නැහැ. තාත්තා ඉන්න ආසාම තැන තමා ගෙදර. තාත්තාගේ ප්‍රීතිය හා සතුට වුණේ ගෙදර ඉන්න එක. අපි එක්ක කතාබහ කර කර නැත්නම් ටී.වී. එක බල බලා ඉන්න තාත්තා හරි කැමතියි.
පොඩි දුවගේ සිනාවැලයි ගීතයේ තියෙනවා එක පද පේළියක් මගේ නිවන මගේ පැල්පතයි කියලා. මට හිතෙනවා මේ ගීතය මම මගේ අක්කා, අම්මා, තාත්තා (අද තාත්තා නැතිවුණත්) අපි හතර දෙනාගේ ආදරණීය පවුල ගැන ලියවිච්ච සින්දුවක් කියලා. මගේ නිවන මගේ පැල්පතයි කියන හැඟීම මම මගේ තාත්තාගේ ඇස් දෙක තුළින් දැක්ක හැඟීමක්.
• ඒ හැඟීම තාත්තාගෙන් වින්ද හැටි ගැන මතකය මේ ගීතයත් එක්කම ඔයා නැවත නැවතත් විඳිනවා ඇති...?
ඔව්. එකවරට දස දහස් වතාවක් විඳිනවා. තාත්තා වේදිකා නාට්‍ය පිටපත් ගැන මායි අක්කයි එක්ක තමා කතා කළේ. ගෙදර පුහුණුවීම් කරද්දී තනියෙන් ඒවා කළේ නෑ. අක්කයි මායි එක්ක තමා ඒ පුහුණුවීම් කළේ. තාත්තා ඒවායින් පුදුම සතුටක් වින්දා. හිටපු ගමන් හිතුණාම පල්ලෙහාට ගිහින් කනවා. අපි එක්ක කතා කරනවා. පුදුම බැඳීමක් ආදරයක් අපි අතරේ තිබුණේ.
• මේ ගීතය ගයන්න ඔබට පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඕනෑම තැනක මේ ගීතය ගයන්න මට පුළුවන්.
• මේ ගීතය ගැන ඔයාගේ ජීවිතයට හුඟාක් ළඟ කෙනෙක් එක්ක කතා කරලා තියෙනවද?
එහෙම නම් කතා කරලා නෑ. ඒත් මේ ගීතය හැමතැනකදීම මගේ පළමු තේරීම. මට හිතෙනවා පිරිමි හුඟාක් වෙලාවට ගැහැනුන්ට සාපේක්ෂව තමන්ගේ හිතේ තියෙන හැම හැඟීමක්ම වචනවලට පෙරළන්නෙ නෑ. තාත්තා ගැන මම හුඟාක් කතා කරන්නේ මගේ අක්කා එක්ක. ඇත්තටම මේ ගීතය ඇහෙද්දී මම හරිම හැඟීම්බර වෙනවා. මේ ගීතය ගැන කා එක්ක හරි කතා කරන්න ගියත් මට හිතෙනවා මම හරිම හැඟීම්බර වේවි කියලා.
• විජය නන්දසිරි කියන්නේ සිනහවෙන් මුළු ලෝකයක්ම සුවපත් කළ මිනිෙසක්. ඒත් සිනහවෙන් ලෝකය සුවපත් කරන ඇතැම් මිනිස්සු තමන්ගේ ආදරණීයයන් අඬවන වෙනස්ම චරිත. එවන් චරිත අතර ඔබේ තාත්තාගේ චරිතය ඔබ මේ ගීතය තුළින් විවරණය කරන්නේ පුදුමාකාර ආදරයකින්... එච්චර ආදරයක් දැනෙන්න ඔහු තාත්තා කෙනෙක් විදිහට ඔබට දුන්නු දේවල් මොනවාද?
මගේ තාත්තා එයාගේ දරුවෝ වෙනුවෙන් සියයට දෙසීයක් වගකීම් යුතුකම් ඉටුකරපු මේ ලෝකේ හිටිය හොඳම තාත්තා කෙනෙක්. එයා ඇත්තටම මිනිස්සුන්ට හරියට ආදරය කළා. එයා අපිට මහත් ආදර්ශයක් දුන්නා ජීවත් වෙන හැටි ගැන. මගේ තාත්තා ඇවිදින විශ්වවිද්‍යාලයක්. තාත්තා දිහා බලාගෙන හුඟාක් දේවල් ඉගෙන ගන්න බව තාත්තා එක්ක වැඩකරන කලාකරුවෝ කියූ දෙයක්. තාත්තා කුහකත්වයක් හිතේ නොතිබුණු කලාකරුවෙක්. ඒ වගේම පුදුම ආදරයකින් කැපවීමකින් කලාව දේවත්වයෙන් සලකපු කෙනෙක්. ඒ වෘත්තියට ගරු කළ කෙනෙක්. කලා ක්ෂේත්‍රයේ තියෙන පොදු ලක්ෂණයක් තමා සැබෑ දක්ෂයාට ක්ෂේත්‍රයේ ඉන්න අනිත් අය බහුතරයකගේ ඊර්ෂ්‍යාව එල්ල වෙනවා. තාත්තාත් ඒ විදිහට කලා ක්ෂේත්‍රයේ කැපිල්ලට අහුවෙච්ච තැන් එමටයි. මගේ තාත්තාගේ විශිෂ්ඨත්වයට බියවුණා සමහර අය. ඒත් තාත්තා කවදාවත් කවුරුත් කපාගෙන ඉදිරියට ගියේ නෑ. එයා අනිත් අයටත් උදව් කරගෙන ඉදිරියට ගියා. අනිත් අයව හරියට ඇගයිමට ලක්කළා. මානසිකව ධෛර්යමත් කළා. මගේ තාත්තා අපිට විතරක් නෙවෙයි ලෝකයටම හුඟාක් දේවල් දුන්නා. තාත්තා කෙනෙක්ව හදන්න මිසක් කපන්න ලෑස්ති වුණේ නෑ කවදාවත්.
ලෝකයට ආදරය කරන්න තාත්තා අපිට කියලා දුන්නා. ඒ වගේම තාත්තා අපිට දුන්න ඒ විශේෂ ආදරය හැමදාම පරිස්සම් කළා. ඒකයි තාත්තට හැමදාම මගේ නිවන මගේ පැල්පතයි වුණේ.
• මේ ගීතයේ එක තැනක තියෙනවා පිය බිරිඳගෙ සෙනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි කියලා. ඇත්තටම ඔයාලා දරුවෝ විදිහට තාත්තා අම්මට දැක්වූ ආදරය ඔය ගීතයේ විදිහටම වින්දද?
තාත්තා හැමතිස්සෙම කීව කතාවක් තමා ලෝකේ කොහේ ගිහින් මොන කෑම කෑවත්, තරු පහේ හෝටලයකින් කෑවත් අම්මා අත්දෙක හෝදන වතුරින් උයලා දෙන දෙයක් වුණත් ඊට වඩා රහයි කියන එක. අම්මාගේ කෑම පුදුම රහක් කියලා තාත්තා හැමදාම කීවේ. මගේ අම්මා දකුණු ආසියාවේ පළමු ටෙලිනාට්‍ය නිළිය. අම්මා දේවිකා මිහිරානි ලෙස ජනප්‍රිය කාලයේ තාත්තා අම්මා තරම් ජනප්‍රිය නෑ. ඒත් අම්මා කවදාවත් තාත්තා එක්ක රේස් එකක් දුවන්න ලෑස්ති වුණේ නෑ. අම්මා ඇගේ කලා ජීවිතය තාත්තා සහ අපි වෙනුවෙන් කැපකළා. පුදුම ආදරයක් බැඳීමක් ඒ දෙන්නා අතරේ තිබුණා. අම්මා තාත්තා සහ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම් වූ ගැහැනියක්.
• මේ ගීතයේ ගීත රචකයා හමුවූ විටෙක ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද?
මගේ ජීවිතයේ මම වින්ද අත්දැකීමත් ඔබ කොහොමද මෙච්චර ලස්සනට ගීතයට කැටි කළේ කියලා මම අහනවා.
• වර්තමානයේ හුඟාක් පවුල් ජීවිත අභ්‍යන්තරයේ ඔබ කතා කළ සතුට, සහජීවනය, කැපකිරීම බැඳීම් නෑ.... මේ ගීතය තුළින් ඒ වගේ සමාජයකට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
මොන කලාවකින් පණිවිඩය දුන්නත් අපිට ඒක අපේ ජීවිතයට ආදේශ කරගන්න බැරිනම් ඒත් වැඩක් නෑ. මේ ගීතය අහද්දී දැනෙන හැඟිම් කොච්චර සුන්දරද, අපි කොච්චර ලෝකයේ ඇවිද්දත් ඇත්තටම අපේ ගෙදර හරි ගෙදරක් නම් එතැන තරම් නිවීමක් සැනසිල්ලක් දැනෙන වෙන තැනක් නෑ.
අපි නිවන කියන වචනය පාවිච්චි කරන්නේ කොයිතරම් උත්තරීතර හැඟීමක් දනවන්නද? ඉතින් මගේ නිවන මගේ පැල්පතයි කියන තැනට එන්න පුළුවන් නම්... ලෞකික ජීවිතය තුළ ඔබ හොයන සතුට එතැන කියලයි මම විශ්වාස කරන්නේ.