2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

සත්තුන්ට ආදරේ නැත්තම් එයාව බඳින්නෙ නෑ....

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වෙන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ප්‍රාර්ථනා සෙව්වන්දි.

ප්‍රාර්ථනා.. ඔබේ සුරතලා කවුද?
දැනට මම ගාව එක බල්ලෙක් සහ පූසෝ හත් දෙනෙක් ඉන්නවා.

කියන්නකො අපිට මෙයාලගේ නම්?
බන්ටි, ටිකිරි, සුදූ, පින්කි, බ්ලැකී, සුද්දි, චූටි

දැනට ඔයා ළඟ ඉන්න සුරතලුන්ගෙන් වඩාත් කැමති කෙනෙක් ඉන්නවද?
මම ඔක්කොටම ගොඩක් ආදරෙයි. ඒත් එක්කෙනෙක් ඉන්නවා. එයාට මම ටිකක් වැඩිපුර කැමතියි.

ඒ කවුද කියලා දැනගන්න ආසයි?
එයා තමයි බන්ටි.

ඇයි ඔයාට බන්ටි විශේෂ කෙනෙක් වෙන්නෙ?
බන්ටි නිසා තමයි මට අනිත් පූසෝ ටිකත් ලැබුණේ. මම ළඟ ඉන්න අනිත් කට්ටිය බන්ටිගේ පැටව්. ඒක නිසා මම බන්ටිට පොඩ්ඩක් වැඩිපුර ආදරෙයි. 

ප්‍රාර්ථනා.. කියන්නකො අපිට බන්ටිගේ වතගොත?
එයා ෆර්සියන් වර්ගයේ පූසියෙක්. මට එයාව ලැබුණේ අපේ අසල්වැසි අංකල් කෙනෙක්ගේ ඥාතියෙකුගෙන්. එයා මට කිව්වා පූස් පැටව් දෙන්නෙක් ඉන්නවා කියලා. අපි කිව්වා දෙන්නම අපිට දෙන්න කියලා. ඒත් හම්බවුණේ එක්කෙනයි. 2016 තමා මම එයාව ගෙනාවේ. එයාට දැන් අවුරුදු 4ක් වගේ වෙනවා. හැබැයි මෙයාව ටිකක් අමාරුයි හදන්න. මොකද මෙයා හොඳ වර්ගයේ කෙනෙක් නිසා. මෙයාට කෑම දෙනකොට මස් හෝ මාළු අනිවාර් යෙන් දෙන්න ඕනෙ. නැත්නම් මෙයා කෑම කන්නෙ නෑ. තව දෙයක් තමයි මෙයා ගෙනාපු කාලේ ඉඳන් වෙනම තමා ඉන්න කැමති. වෙනත් පූසොත් එක්ක සෙල්ලමට එහෙම යන්නෙ නැහැ. මෙයා මට වඩා අපේ තාත්තට ගොඩක් ආදරෙයි. මමයි අම්මයි කතා කළාට ඇහෙන්නෙ නෑ වගේ ඉඳලා තාත්තා කතා කළාම දුවගෙන එයා ළඟට යනවා. බන්ටි දැනට දෙපාරක් පැටව් දැම්මා. හැබැයි එයාලා නම් හොඳ වර්ගයේ කට්ටිය නෙවෙයි. මම ළඟ ඉන්න අනිත් කට්ටිය බන්ටිගේ පැටව්. ඔය වගේ දේවල් තමා එයා ගැන කියන්න තියෙන්නෙ.

බන්ටි තනියෙන් ඉන්න කැමති.

වෙන පූසෝ එක්ක සෙල්ලමට යන්නෙ නෑ.

තාත්තට තමා ආදරේ... අපි කතා කරද්දි වැඩිය ගණන් ගන්නෙ නෑ. අහෙන්නෙ නෑ වගේ ඉන්නවා

බන්ටි කියලා නම දාන්න විශේෂ හේතුවක් තිබුණද?
මම ගාව කලිනුත් හිටියා බන්ටි කියලා පූසෙක්. එයා නම් හොඳ වර්ගයේ කෙනෙක් නෙවෙයි. හැබැයි එයාට මම ගොඩක් ආදරෙයි. එයා නැති වුණා. එයාව මතක් වෙන්න තමයි මමයි අම්මයි එකතුවෙලා මෙයාට බන්ටි කියලා නම දැම්මේ.

බන්ටි කරපු අමතක නොවන දේවල් එහෙම ඇති නේද?
ඔව්.. ගොඩක් තියෙනවා. ළඟදි දවසක් මමයි අම්මයි ගමනක් ගියා. අපි ගෙදර ආවේ දවස් දෙක තුනකට පස්සේ. අපි නැති නිසා බන්ටිට සාංකාව වගේ හැදිලා මෙයා කන්නෙත් නැතිව ඉඳලා කොහේ හරි ගිහිල්ලා. දවස් දෙකකින් තමා ගෙදර ආවේ. අපි කට්ටිය හැමතැනම හෙව්වා. බලද්දි මෙයා ඉඳලා තියෙන්නෙ අපේ අසල්වැසි ගෙදරකට වෙලා. එදායින් පස්සෙනම් අපි එයාව තනි කරන්නෙ නැහැ. ඔන්න ඔය වගේ සිදුවීම් ගොඩක් තියෙනවා.

ප්‍රාර්ථනා.. ඔයා බන්ටිගේ උපන් දිනය එහෙම සමරනවද? 
කේක් කපලා පාටි දාලානම් මම උපන් දිනය සමරලා නැහැ. අනික බන්ටිගේ උපන් දිනය මම හරියට දන්නේ නෑ. මට බන්ටිව හම්බවුණේ මාසයක් වගේ ගිහිල්ලනේ. හැබැයි එයාට හැමදාම උපන් දිනය වගේ තමයි. මම එයාට කොත්තු මී, සොසේජස් වගේ කෑම හැමදාම වගේ දෙනවා. එයා ඒවාට ගොඩක් කැමතියි. ඒ නිසා මම එක දවසකට විතරක් උපන් දිනය සමරන්නේ නැහැ.

ඔබගේ වැඩ රාජකාරිත් එක්ක මෙයාලා ගැන හොයලා බලන්න වෙලාවක් තියෙනවද?
සමහර වෙලාවට ඒක ගැටලුවක් තමයි. ඒත් මම වගේම අපේ ගෙදර අයත් සුරතලුන්ට ආදරය කරන නිසා ලොකුවට ඒක මට ගැටලුවක් වෙන්නෙ නැහැ. හැබැයි මේ දවස්වල කොරෝනා නිසා අපිට වැඩ අඩුයිනෙ. ඒක නිසා මම මේ දවස්වල මෙයාලත් එක්කමයි ඉන්නෙ.

ඔබ විවාහවෙන කෙනා සුරතලුන් හදනවාට අකමැති කෙනෙක් වුණොත් මොකද කරන්නෙ?
ඇත්තටම මම මුලින්ම හොයලා බලන්නෙ එයා සතුන්ට ආදරය කරන කෙනෙක්ද කියලා. එයා මොන තරම් හොඳ කෙනෙක් වුණත් සත්තුන්ට ආදරය නැත්නම් මම එයාව විවාහ කර ගන්නෙ නැහැ. අපි වගේ සතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්නම ඕනෙ.

සතුන්ට ළැදි, සතුන් ඇතිකරන්න කැමති අයට සහ සතුන් ඇතිකරන අයට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද?
ඇත්තටම නූතන සමාජයේ ගොඩක් අය සුරතලයට ඇතිකරන්න ගොඩක් සල්ලි දීලා හොඳ වර්ගයේ සතුන් ගන්නවා. මම හිතන්නෙ ඊට වඩා පාරවල් ගානේ අසරණවෙලා ඉන්න සතුන් හදනවානම් ඒක ලොකු පිනක්. මොකද එයාලට හරියට කෑමක්වත් දෙන්න කවුරුත් නෑ. වාහනවලට යටවෙලා නිකම් මැරෙනවා. අන්න ඒ වගේ අයව හදනවානම් ගොඩක් හොඳයි කියලා තමයි මට සියලු දෙනාටම කියන්න ඕනෙ. තව දෙයක් තමයි හොඳ වර්ගයේ කෙනෙක් හැදුවත් එයාට හොඳට සලකන්න. වෙලාවට කෑම, විටමින් දෙන්න. එතකොට තමයි සතෙක් වුණත් සතුටින් ජීවත් වෙන්නෙ.