ආලය
දයාව
රතිය
යථාවබෝධය
මම දවසක් දැක්කා කවියෙක් ආදරය ඔය විදිහට නිර්වචනය කරලා තිබුණා... ඒත් මම ආදරය ගැන පවතින නිර්වචන විශ්වාස කරන්නෙ නෑ... ආදරය කොහොමද අපි නිර්වචනය කරන්නෙ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට හදවතින් හදවතට වෙනස් හැඟීමක්.
පුද්ගලයාගෙන් පුද්ගලයා ආදරයට දෙන වටිනාකම අර්ථය හරි වෙනස්. ඉතින් එහෙම හැඟීමකට කොහොමද අපි නිර්වචන උත්පාදනය කරන්නේ. ආදරය ගැන අමුතුම ආදරණීය කතාවක් ළඟ මගේ හිත දවසක නැවතුණා... ඒ තමා ප්‍රේමම් කියන සිනමා රූපකාරකය..
ආදරය දැන හා ආදරය නොදැන ආදරය හොයන ආදරය ඉල්ලන මිනිස්සුන්ගෙන් මේ ලෝකය හැමදාමත් පිරිලා තිබුණා. ආදරය කැටයමක් වගේ නෙළන්න බෑ.. මොහොතක් ගානේ වෙනස් වෙන්න පුළුවන් හින්දා.. ආදරය ගීතයක් වගේ ගයන්න බෑ.. කොයි මොහොතක හරි ස්වරය බිඳෙන්න පුළුවන් හින්දා.. ආදරය චිත්‍රයක් වගේ අඳින්න බෑ... කොයි මොහොතක හරි පාට වියැකී යන්න පුළුවන් හින්දා...
ලැබෙන මොහොතකදි විඳින්න විතරද පුළුවන් ආදරය එතකොට. එහෙම අසාවි ඔබ... ඒත් ආදරය කියන්නෙ අයිතියට නෙවෙයි. අයිතිය කියන්නෙ ආදරයට නෙවෙයි.. හදවත නවතින තැන කොතැනද අන්න එතනයි ආදරය...
ප්‍රේමම් මලයාලම් සිනමා රෑපකාරකය කියන්නෙ අන්න එහෙම සිද්ධාන්තයක්...
ආදරය හොයාගෙන හොයාගෙන සැරිසරන හදවතකට ආදරය මඟහැරෙන හැටි තමා ප්‍රේමම් මලයාලම් චිත්‍රපටය ඔස්සේ කතා කරන්නේ. Nivin Pauly, Sai Pallavi ප්‍රේමම් මලයාලම් චිත්‍රපටය තුළ හරි සුන්දර විදිහට ප්‍රේමය අතර සැරිසරනවා... කටහඬින් කතා කරනවට වඩා ඇස් දෙකින් දෙන්නෙක් කතා කරද්දි ඒ සල්ලාපය හරිම භාවාත්මකයි... කාටවත්ම නෑසෙන්න පැය ගණන් වරු ගණන් ඇස්වලින් කතා කරන්න පුළුවන්ද දෙන්නෙකුට... ප්‍රේමම් හි නිවින් හා සායි ඒ විදිහට කතා කරනවා... එහෙත් හිත නවතින ඇස් නවතින තැන්වල එයාලට මුණගැසුණේ ප්‍රේමයමද කියන ප්‍රශ්නය ප්‍රේමම් අවසානයේ අපිට හරි පුදුම ප්‍රශ්නයක් විදිහට ඉතුරු කරනවා.
ජීවත්වීම තුළ මිනිස්සු කොච්චර දේවල් හොයනවද? ජීවත්වීම කියන්නෙම ඒ හෙවිල්ලට කියලත් හිතෙනවා... ඒ හොයන සමහර දේවල් මිනිස්සුන්ට හොයපු විදිහටම හමුවෙනවා. සමහර දේවල් මරණය පැමිණ අඬගසන තෙක්ම හමුවෙන්නෙ නෑ... ඒත් මිනිස්සු නැවත නැවතත් හොයමින් සැරිසරනවා... සංසාරේ වීදි දිග ආ දුරක් යන දුරක් නොදැන මිනිස්සු ඇවිදින්නේ ඒ සෙවිල්ලත් එක්ක බැඳුණු රාග මෝහ බන්ධනත් එක්ක. ඒ ගමන හරි දුෂ්කරයි. හරි වේදනාත්මකයි. හරි දුක් සහගතයි.
ඒත් ඒ යන ගමන අත්හරින්න කවුද කැමති...
ප්‍රේමම්.. සිනමා රූපකාරකය තුළත් එහෙමයි. ආදරය අත්හැරි හැරී හොයන්නෙම ආදරය.. මේ ලෝකයට එන මිනිස්සු හුදෙකලාවම ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවනම් ඒ හරි කලාතුරකින්. මිනිස්සු කොයිතරම් උසස්, පහත් සමාජ මට්ටම්වල, ආර්ථික මට්ටම්වල ජීවත් වුණත් ඒ හැම කෙනෙක්ම හොයන්නෙම ආදරය...
ප්‍රේමම් සිනමාපටයේ අවසානයේ ඔහුට ඔහු හොයපු ආදරය මුණගැහෙනවා...
ඇය එදවස පුංචි දැරිවියක්. ඔහු නව යොවුන් වියේ. ඒ පුංචි දැරිවියගේ අක්කණ්ඩිය ළඟ තමා ඔහුගේ හිත නවතින්නේ. ඒත් ඒ ආදර හැඟුම් සමනල තටු වගේ. හයියක් ගැඹුරක් නෑ.. ඔය විදිහට ජීවිතේ කිහිප තැනකදී ඔහු ආදරය කියන හැඟුම් අතර අතරමං වෙනවා. ඒත් ගඟක වතුර වගේ ඔහේ ගලාගෙන යනවා. ඒ සමහර ආදර කතා නවතින්න ගිමන් නිවන්න සැනසෙන්න තැනක් නැතුවම ටිකෙන් ටික ජීවිතය කියවන්න ගනිද්දි ඔහු හොයනවා ඇත්තටම හිතට දැනෙන ආදරයක්. එහෙම හොයද්දී තමා ඇය මුණගැහෙන්නේ. ඇය එදා අර අක්කණ්ඩිගේ අතේ එල්ලිලා ආව පුංචි දැරිවිය...
ඒත් ඒ තමා ඔහු හොයපු ආදරය.. ජීවිතය හරිම චංචලයි වරෙක. මොන දෙයක් අපෙන් උදුරා ගනීද මොන දෙයක් අපිට දෙනවද අපි කවුරුත් දන්නෙ නෑ වෙලාවකට.
මට හිතෙන්නේ ජීවිතය කියන්නේ දෙන දේ බාරගැනීමට නෙවෙයි. අවශ්‍ය දේ සොයා යාමට. නැත්නම් හුස්මක් වැටෙන නිසා ජීවත් වෙනවා මිසක් ජීවිතය භුක්ති විඳිනවා කියන එක අපට දැනෙන එකක් නෑ.
මිනිස්සු කැමතියි තමන් අවසන් නින්දේ සැතපෙන හිස් බිම්කඩ උඩ හරි මලක් තියෙනවට... මිනී මල් ගහක හරි මලක් පිපෙනවට.. ඒ තමා මිනිස්සු. ජීවිතය තුළ පමණක් නෙවෙයි මරණය තුළත් මිනිස්සු හොයන්නෙම ජීවිතය...