2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

දස අතේ හොයලා බලද්දී ඇල්ෆි නාන කාමරේ

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

මේ සති අන්තයේ my pet ගැන සුන්දර කතාබහකට අපි සමඟ එකතු ‌‌ව‌ෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඒ තමා අප කවුරුත් හොඳින් දන්නා ආනන්ද අතුකෝරාල.

ආනන්ද කියමුකෝ අපිට ඔබේ සුරතලා කවුද කියලා?
මම ළඟ දැනට ඉන්නවා බල්ලෝ දෙන්නෙක්

ඇයි ඔබ බල්ලන් විතරක් හුරතලයට ඇති කරන්නේ?
පූසෙකුත් හදන්න ආසාව තිබුණට ඒක ටිකක් අමාරු කාර්යයක්. පූසෝ ගොඩක් වෙලාවට අහිංසක සතුන්ව මරණවා. ඒ කියන්නේ ලේන්නු, මීයෝ වගේ සතුන්. අනික ගොඩක් පූසෝ ගෙවල් දොරවල් අපිරිසිදු කරන ප්‍රමාණය වැඩියි. ඒත් බල්ලෝ එහෙම නෑ. එයාලා කියන දේ අහනවා.ඒ වගේම අපි‌ට බල්ලන්ගෙන් ලොකු ආරාවක් ලැබෙනවා. ඒක නිසා තමයි මම බල්ලන්ට ආසා කරන්නේ.

අපිට කියන්නකෝ ඔබ ළඟ සිටින සුරතලුන් දෙදෙනාගේ වතගොත?
මම ගාව ඉන්න පොඩිම කෙනා ෂිට්සු වර්ගයේ කෙනෙක්. එයාගේ සුරතල් නාමය බීනු. එතකොට අනිත් කෙනා ලැබ්‍රඩෝ වර්ගයේ කෙනෙක්. එයාගේ සුරතල් නාමය ඇල්ෆි. මෙයාට නම් දැන් අවු 4ක් වගේ වෙනවා. මේ දෙන්නා අපේ පවුලේම සමාජිකයන් දෙන්නෙක් වගේ තමයි අපිට. මේ දෙන්නා ගොඩාක් වෙලාවට සෙල්ලමට තමා වැඩි වේලාවක් යොමුකරන්නේ. තව දෙයක් තමයි අපි කොහේ හරි ගියොත් ‌ෙමයාලාට මොනවා හරි ගේන්න ඕනේ.  ඉතින් අපි ගොඩක් වෙලාවට සෙල්ලම් බඩුවක් වගේ දෙයක් ගෙනත් දෙනවා.ඊට පස්සේ ඒකත් එක්ක පැය 4-5ක් එක දිගට සෙල්ලම් කරනවා. ඇල්ෆිට ගෙනත් දුන්නා රබර් වලින් හදපු සෙල්ලම් බඩුවක්. ඒක ඔබන කොට එකෙන් සද්දයක් එනවා. දවසක් ඇල්ෆි ඔය සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කර කර ඉද්දි ඒකෙන් සද්දයක් අවා. ඒදා ඉඳන් ඒකට මාරම ආසාවක් තියෙන්නේ. සමහර දවස් වලට මගේ ගෙදර කට්ටිය එකතු වෙලා සින්දු කියනවා. ඇල්ෆි,බීනුත් හරිම ආසයි සින්දුවලට ඒත් ඒ දෙන්නාට සින්දු කියන්න‌ බෑනේ. ඉතින් ඇල්ෆි කරන්නේ අපි ගායනා කරන සින්දුවේ තාලෙට එයාගේ අර සද්ද එන සෙල්ලම් බඩු‌ෙවන් වාදනය කරන එක. මේ දෙන්නා තව ආස කරන දෙයක් තියෙනවා ඒ තමා පළතුරු කන එක. මෙයාලා   වරකා, මා දං වගේ පළතුරු වලට තමා වැඩිපුරම ආස කරන්නේ. මට තව දෙයක් කියන්න ඕනේ මම මේ දෙන්නාට විතරක් නෙවෙයි ආදරේ කරන්නේ පාරවල්වල ඉන්න අසරණ බල්ලන්ටත් මම කෑම බීම බෙහෙත් දීලා ආදරෙන් හදනවා.

බීනුව සහ ඇල්ෆිව ඔබට ලැබුණේ කොහොමද? 
අැල්ෆිව හම්බවුණේ මගේ දුවට. එයාගේ යාළු‌ෙවකුගෙන්. බීනුව මට ලැබුණේ මගේ දුවගෙන් මගේ උපන්දිනයට. ඔන්න ඔහොම තමා මේ දෙන්නා අපේ පවුලට එකතු වුණේ.

ආනන්ද ඔබ ඔබගේ සුරතලුන්ට බීනූ සහ ඇල්ෆි කියන සුරතල් නාමයන් දමන්න විශේෂ හේතුවක් ඔබට තිබුණාද?
නම් දාන්න නම් විශේෂ හේතුවක් තිබුණේ නෑ. මගේ කනට ඇහුණ නම් තමා මම මෙයාලාට දැම්මේ.මගේ මිතුරෙකුගේ නිවසක ඉන්නවා බීනු කියලා බල්ලෙක්. ඉතින් මට ඒ නම ටිකක් පුරුදුයි ඒ නිසා මම අපේ අලුත් බලු පැටියාට බීනු කියලා නම දැම්මා. අල්ෆිගේ නමනම් එයා ගෙදරට එන කොටම දාලයි තිබුණේ.

බීනු සහ ඇල්ෆි කරපු අමතක නොවන සිදුවීම් එහෙම අැති නේද?
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා... මේ ළඟදි දවසක් ඇල්ෆි හොඳ වැඩක් කරා අපි කවදාවත් සත්තු කූඩු කරලා හදන්නේ නෑ. එයාලාට නිදහසේ ඇවිදින්න අපි ඉඩ දීලා තියෙන්නේ. මෙයාලා දෙන්නා නිදා ගන්නෙත් අපිත් එක්කමයි. අපිට ඇල්ෆිව එළියට හුරුකරගන්න ටිකක් අමාරු වුණා. පස්සේ එයා එළියට යන්න හුරුවුණා. ඉතින් මේ ළඟදි දවසක අපේ ගෙදර ගෙට්ටුව වහන්න අපිට අමතකවෙලා අපිට ඒක එච්චර ගාණක් ගියේ නෑ. ටික වේලාවකින් ඇල්ෆිව පේන්න හිටියේ නෑ. අපි හැම තැනම හෙව්වා මොකද ගෙට්ටුවත් ඇරලානේ තිබුණේ. අපි කට්ටියම බය වෙලා ඇල්ෆිව හෙව්වා. පාරට ගිහිල්ලත් හෙව්වා. අපේ නිවස අවට සිටින කට්ටියත් ඇවිල්ලා පාර දිගටම ගිහිල්ලා හෙව්වා. කොහෙවත් ඇල්ෆි හිටයේ නෑ. බැරිම තැන අපි ගෙදරට ඇවිල්ලා ගොඩාක් දුකෙන් හිටියේ. ඔහොම ඉන්න කොට මගේ බිරිඳ අත පය සෝදා ගන්න නාන කාමරයට ගියා. එයා නාන කාමරේ දොර අරින කොට තමා දැක්කේ ඇල්ෆි නානකාමරයේ ඉන්නවා. ඒ වෙලාවෙ නම් මාරම සතුටක් ආවේ. ඇල්ෆිට හොඳට කන් ඇහෙනවා. ඒත් එයා ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. ඔන්න ඔයා වගේ වැඩ තමා මෙයාල‌ා කරලා තියෙන්නේ.   

ෂිට්සු සහ ලැබ්‍රඩෝ කියන්නේ වර්ග දෙකක් මෙයාලා රණ්ඩු එහෙම කරන්නේ නැද්ද?
මුල් දවස්වලනම් ඇල්ෆි බීනුට ගෙරෙව්වා. හැබැයි ටික දවසයි. දැන් බීනු ඉන්නේ ඇල්ෆිගේ ඇඟ උඩමයි ඉන්නේ. දැන් ඒ දෙන්නා එකටමයි ඉන්නේ.

ඔබ ඔබගේ සුරතලුන්ගේ උපන්දින එහෙම සමරනවාද?
එයාලාගේ උපන්දින නම් සමරලා නෑ. හැබැයි අපේ පවුලේ කාගේ හරි උපන්දිනයක් සමරනවා නම් මේ දෙන්නා එතන තමයි ඉන්නේ. Happy Birthday කියලා ඇහුණත් ඇති දෙන්නා දුවගෙන එන්නේ.

ආනන්ද ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඔබ සුරතලුන් ගැන හොයලා බලන්නේ?
මගේ බිරිඳ පැය 24ම ඉන්නේ ගෙදර. ඉතින් මම ගෙදර හිටියේ නැතත් එයා මට වඩා හොඳට මෙයාලා ගැන හොයලා බලනවා. දවසක් අපි කට්ටියම ගමනක් ගියා අපි එදා ගෙදර සාලේ කැමරාවක් සවි කරලා ගියා මෙයාලා මොකද කරන්නේ කියලා බලන්න. මේ දෙන්නා දොර ගාවට වෙලා දොර යටින් එළිය බලා‌ෙගනමයි ඉන්නේ අපි එනවාද කියලා. 

ඔබගේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
සතුන් හදන්න ආසාව අපිට ලැබුණේ මගේ තාත්තාගෙන්. ම‌ෙග් තාත්තා බල්ලෝ තුන්දෙනෙක් විතර හැදුවා. ඒ කරපු කියපුවා දැකලා තමයි මමත් සත්තුන්ට ආදරේ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම සත්තුන්ට ආදරේ කරන විදිහ  දැකලා තමයි මගේ බිරිඳත් දුවත් සත්තුන්ට ආදරේ කරන්න පටන් ගත්තේ. ඒක නිසා මට ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ පවුලෙන්.

ඔබ වගේ සුරතලුන් හදන හෝ හදන්න ඉන්න අයට මොනවගේ පණිවුඩයක්ද දෙන්න තියෙන්නේ?
සත්තුන්ට කතා කරන්න බෑ. ඒ නිසා එයාලාගේ හැඟීම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සතෙක් අපි ගාවට එන්නේ එයාගේ අම්මා, තාත්තා, සහෝදරයෝ සහ එයාලාට පුරුදු පරිසරය අත හැරලා දාලා. අපි ගාවට ඇවිත් සීමිත ඉඩක තනි වෙලානේ අපි එක්ක ඉන්නේ. ඒ නිසා මම කියන්නේ කවදාවත් එයාලාව ගැට ගහලා කූඩුවල දාලා හදන්න එපා කියලයි. මොකද ඒකෙන් වෙන්නේ එයාලාව හිර කූඩුවක දැම්මා වගේ දෙයක්නේ. ඒක නිසා එහෙම නොකර එයාලාව හොඳට කන්න බොන්න දීලා ආදරයෙන් නිදහසේ හදන්න කියන එක තමා මට දෙන්න තියෙන ලොකුම පණිවිඩය වන්නේ. එතකොට එයාලත් සතුටින් අපිත් සතුටින්.