මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... ආදරය ගැන ඒසා ඉසියුම් සුගැඹුරු විවරණමය ඉසව්වක් කරා අප කැටුව ගිය ඒ නිර්මාණශීලී හිතුවක්කාරයා ගීතය තුළින් ජීවිතය හා ආදරය කියවන්නෙක් ලෙස මම දකිමි. ආදරය සේම මගේ නොවන, මගේ නොව මගේම කරගත් ප්රස්තූතයන්, සංසිද්ධීන් කොතෙක් වේද? මගේ නොවන මගේම ගීතෙය්ද සංකල්පය එහි තවත් එක් දිගහැරුමකි.
අද කතාබහ - ගීතයේ නව මං සොයාගිය ඔහු එක්ක. ඔහු අමිල තේනුවර.
අමිල ඔබ මිනිසුන්ගේ ඉතා සියුම් සංවේදනාවන්ට ගීතය තුළින් අතිශය භාවාත්මකව ආමන්ත්‍රණය කළ අපූරු ගීත රචකයෙක්. ඒ මම ඔබ දකින හැටි. මගේ නොවන මගේම ගීතයක් ඔබටත් ඇති....
අත්දැකීම් සහ පොතපත පරිශීලනය හා ජීවත්වීමත් එක්ක ජීවිතයේ ලබන පරිණතභාවය තුළ අපේ දැක්ම, සංකල්ප, ආකල්ප හා සිතැඟියාවන් වෙනස් වෙනවා. කැමතිම ගීතයක් ඒ අනුව කාලයෙන් කාලයට වෙනස් වෙනවා. දැන් මගෙන් ඇහුවම මගේ නොවන මගේම ගීතය කුමක්ද කියලා මගේ උත්තරය විජය කුමාරණතුංග ගයන පත්තිනි අම්මේ කියන ගීතයත්.
ඇයි ඔබ ඒ ගීතයට ඒ තරම් කැමති?
හුඟාක් අය කැමති දේට නෙවෙයි ඉන් එහා වෙනස් දේකට ජීවිතයේ හුඟාක් තැන්වලදී මම කැමති වෙන්නේ, මම ආදරය කරන්නෙ කියලා මට හිතෙනවා. මහගමසේකරගේ ප්රබුද්ධට හුඟාක් අය ආදරේ කරද්දී මගේ හිත නැවතුනේ මම ආදරය කරන්නේ ප්රබුද්ධට නොවෙයි නොමියෙමි පොතට. ජීවිතයේ අපි ආදරය කරන අපි ප්‍රිය කරන හැමදෙයක් පිටුපසම තමන්ටම අනන්‍ය හේතුවක් තියෙන්න පුළුවන් සහ ඒ හේතුව විනිවිද විවරණයක යෙදෙද්දී එහි මහා ගැඹුරක් තියෙන්න පුළුවන්. මම ආසම කරන කටහඬවල් හතරක් තියෙනවා. ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ. විජය කුමාරණතංගු හා අමරසිරි පීරිස්. ඒ සෑම හඬක් අතුරින් සංගීතය සමඟ වඩාත්ම ළංවෙන්නෙ අමරසිරි පීරිස්ගේ කටහඬ. නමුත් ගීතය කියන්නේ සංගීතය විතරක්ම නෙවෙයි. සංගීතයේ හා
සාහිත්‍යෙය් සුසංයෝජනයක් ලෙසයි මා එය අරුත් ගන්වන්නේ.
මම ගීතයකින් බලාපොරොත්තු වෙන මානවීය ගුණාංග මේ කටහඬවල් හතරෙම තියෙනවා. විජය ගයන ගීයක් තියෙනවා පත්තිනි අම්මේ කියලා. ආදරය ගැන ඉතාමත් ගැඹුරු සහ යථාර්ථවාදී කියවීමකට ඒ ගීතය මාව අරගෙන ගියා. ඒ නිසයි එය මගේ ප්‍රියතම ගීතය වෙන්නේ.
ඒ ගීතය ගී පද රචකයෙක් ලෙස ඔබ විවරණය කරන්නේ කොහොමද?
පත්තිනි අම්මේ පුතණුවන් ඔබේ
සෙනෙහසින් වැදූ
විස දළ වැදිලා සොඳුරු ප්‍රේමයේ
ඉකිබිඳ වැළපේ....
පත්තිනි අම්මා තමා ආදරයේ දෙව්දුව ලෙස අපි දකින්නේ. ආදරය වෙනුවෙන් කන්නගී දවස උපරිම සහ උත්තරීතරම කැපකිරීම් කළ ගැහැනිය ඇයයි. සංකල්පනාත්මකව බැලුවම ඇගේ දරුවන් ඉන්නවා හැමතැනම. ඇගේ පුතුට විස දළ වැදිලා ප්‍රේමයෙන්. මේ සංස්කෘතිය ඇතුළේ ඔහුට යන එන මං නැතිවෙලා.
අපා දෙපා සිවුපාවුන් වනයේ
වන සෙනසුන් සදනා
දිනා ප්‍රේමයේ විකසිත පැතුමන්
යළි මට සුව සදනා
සෙනසුනක් කියන්නේ දෙවියන්ට කැපවුණු පූජනීය තැනක්. වනයේ ආධ්‍යාත්මික ගුණය රකින්න සෙනසුනක් හදන්නේ ඒ වනයේ ජීවත් වෙන අපා දෙපා සිවුපා සතුන්. මට ජීවිතය මුණගැස්සුවෙත් කියා දුන්නෙත් එසේම මට මා අහිමි කළේත් ආදරය විසින්ම කියලා මේ කියන්නේ. සංකෘතියත් ජීවිතයත් අතර ප්‍රබලම උත්ප්රාසයක් මේ සංකල්පනාව තුළ දිගහරිනවා.
කුරා කූඹියෙකු හටවත්
මේ ලතැවුල් වෙන්න එපා
ජාති ජාතිවත් පූජාසන මත
කඳුළැලි දකින්නෙපා
ආදරය තුළ අපිට වරදින්න පුළුවන්. ඒත් ආදරය නිසාම අපි ඒ සමහර වැරදි අබිමුව ඇස් වසාගෙන ඉන්නවා. දිව්‍යමය ප්‍රේමය එයාකාරයි. අවෛරී සහගතයි. මාතෘත්වයේ හා දේවත්වයේ විශ්වීය සංකේතයක් වූ පත්තිනි දේවිය ඉදිරියේ කරන පාපොච්චාරණයක් ලෙස තමා ආදරය පිළිබඳව මේ විග්‍රහය ගීතයේ ප්රස්තූතය බවට පත්වෙන්නේ.
නිර්මාණය තුළ පවතින අනුභූතිය සහ ඒ අනුභූතිය ප්‍රායෝගික සත්‍ය සමඟ කෙතරම් සමගාමී වෙනවද සමහර තැන්වලදී
මාතෘත්වය කියන දේ දේවත්වයට නගලා එය සමාජයීය ස්ත්රීත්වයේ ප්‍රශ්නයක් එක්ක බොහොම උත්ප්‍රාසවත්ව නගන ප්‍රහාරයක් මේක. අද මට සමිත ගුණරත්න ලියූ මේ ගීතය මගේ ජීවිතයම වෙලා තියෙනවා.
මේ ගීතයත් එක්ක ඔයාට ජීවිතයේ දැනෙන, නෑදෑකම මොකද්ද?
මම ලියන ගීත ඇතුළත් මම හංගන්නේ කැටිකරන්නේ තවරන්නේ ජීවිතයමයි. ජීවිතයේ හැමපාටක්ම හැදෑරීමක්ම මගේ ගීත ඇතුළේ මුහුවෙලා ඇති. සේකර කීවා වගේ ආදරෙය් මිහිරිම උත්තරීතරම වටිනාකම් දකින්නේ කවදාවත් ජීවිතයේ ආදරයක් නොලබපු මිනිස්සු ඒක යථාර්ථයක්. මේ ගීතය පුරා කතා කරන්නේ ඒ ඛේදවාචකය ගැන. අවසානයේ අපි හුඟාක් අය ජීවිතයේ විග්රහ කරගන්න බැරි තැන් ළඟ නවතින තැන් තියෙනවා. ඒ ගැන ගීතයක් හෝ වෙනත් කලා කෘතියක් ළඟ දැනෙද්දී අපි ඒ ළඟ අතිශය සංවේදී වීම ස්වභාවිකයි.
මේ ගීතයේ ඔබේ හිතට වඩාත්ම සමීප, ඔබේ හිත හිරිවට්ටන තැනක් තියෙනවද?
ජාති ජාතිවත් පූජාසන මත
කඳුළැලි දකින්නෙපා
ඒ තමා හිත හිරිවට්ටපු තැන.
ජීවිතය හුඟාක් සමීප කෙනෙක් එක්ක ඔබ මේ ගීතය ගැන කතා කරලා තියෙනවද?
ඔව්... එහෙම කෙනෙක් ඉන්නවා. එයා මට කීවා ජාති ජාතිවත් පූජාසන මත කඳුළැලි දකින්නෙපා නෙවෙයි. ජාති ජාතිවත් පූජාසන මත පරමල් පුදන්නෙපා කියලා. ඔයාට වැරදුණේ අන්න එතැන කියලා එයා කීවා.
ඔබ නවමු සංකල්ප අතර සැරිසරන්නෙක්. ඊට කදිම සාක්ෂිය ඔබ හුස්මක් දෙනා ඔබේ ගීත. මේ වගේ ප්රස්තූතයක් ඔබේ ගීයකටත් මුහු කරන්න හිතුවේ නැද්ද තාම...?
මම ලියලත් තියෙනවා. බෞද්ධ ධර්මය කියන්නේ දෘෂ්ටිවාදයක් නෙවෙයි. මගේ නොවන මගේම ආදරයක් ගීතය තුළ තියෙන්නෙත් බුද්ධ ධර්මය. සියල්ල ශූන්‍යයි කියලා ඒ කියන්න හදන්නේ. හැම දෙයක්ම ලෝක ධර්මයට යටත්. ලෝක ධර්මයට යටත් හැමදේම බුද්ධ ධර්මයට අනුගතයි. මම හුඟාක් දේවල් පිරික්සන්න උත්සාහ කරන්නෙ ඒ යථාර්ථය තුළ.
අමිල ආදරය කියලා දෙයක් ලොව පවතින බව ඔබ විශ්වාස කරනවද?
ලෞකික ජීවිතය තුළදී ආදරය කියලා දෙයක් මුණ ගැහෙනවා. ලෝකෝත්තර ජීවිතය තුළ එහෙම දෙයක් මුණ ගැහෙන්නෙ නැහැ. ආදරයේ ස්වභාවය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් ආදරයත් කලාව වගේම හදාගත්ත එකක්. ඒත් ආදරයට දැන් අපි අවනතයි. එය හුදෙක් ගනුදෙනුවක් ලෙස විතරක් මම දකින්නෙ නෑ. ඒත් මේ අච්චාරු සංස්කෘතිය ඇතළේ ආදරය අද හුඟාක් අය පටලවා ගත්තු දෙයක්. බහුතර ස්ත්‍රී චින්තනය නිර්මාණය වෙලා තියෙන්නේ පුරුෂයාගේ කැමැත්ත අනුව. ඒත් පිරිමියා ඊට වෙනස්. ආසියානු සංස්කෘතිය ඇතුළේ ගැහැනිය බොහෝ දේ කරන්නේ පිරිමයාගේ කැමැත්ත අනුව. ඒත් යුරෝපා සංස්කෘතිය තුළ ආදරය දකින විදිහ ඊට වෙනස්. ලිංගිකත්වය මම දකින්නේ අවශ්‍යතාවයක් ලෙස මිසක් ආදරයේ කොටසක් ලෙස නෙවෙයි. ලිංගිකත්වය කියන්නේ ස්වභාවික අවශ්‍යතාවක්. ආදරය කියන්නෙ සංස්කෘතියක්. උත්තරීතර දෙයක්. සොඳුරු මනෝ භාවයක්.
ගීත නිර්මාණයට ප්‍රිය නවකයන්ට ගීත නිර්මාණ ගැන ඔබ කියාදෙන පාඩම කුමක්ද?
හැම කලාවක්ම යා යුතු ගමනක් හා ඒ ගමනේ පියවර තිබෙනවා. සහෘදත්වය ප්‍රගුණ වන්නේ කාලයක් තිස්සේ පොතපත පරිශීලනය සහ ලෝකය පිළිබඳ විමර්ශනයෙන්. ලෝක ප්රවෘත්ති අත්දැකීමෙන්. කෙනෙකුගේ හදවතට දර්පණ තලයක් සේ ලෝකය දකින්නනම් මනසකට අත්දැකීම් හා විශ්වීය කියවීම ඔස්සේ සමාරෝපණය ලැබිය යුතුයි. එය තමා සහෘදත්වය ලෙස අර්ථ ගන්වන්නේ. සහෘදත්වය ප්‍රගුණ කළ කෙනාට ගීත රචකයෙක් වෙන්න පුළුවන්. තමාගේ නොවන දෙයක් තමාගේ කරගෙන එය අනුභූතියක් ලෙස මුහු කරන්න පුළුවන් තැන මම කලාව දකිනවා.