2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

මට වඩා කේන්ති යන්නේ මගේ මහත්තයාට

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 333

නතාෂා.... මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි ලංකාවට ඇවිත් දැන් ටිකක් කල් වෙනවා. ලංකාවේ හිටියේ නැති නිසා නිර්මාණයක් කරන්න බැරිවුණා. ඒ නිසා අලුත් නිර්මාණයක් ළඟදීම එළිදක්වාවි. ඒක ආදර ගීතයක් වේවි. මම තාම ආදරේ කියලා ගීතයක් එළිදැක්වූවා. ඒකට වීඩියෝවක් කළේ නැහැ. ඒක සංගීතවත් කළේ සරිත එදිරිසිංහයි. රචනා කළේ සාගර බණ්ඩාරයි. ඉතින් ඉදිරියේදී තවත් ගීතයක් ඒවි.

පහුගිය කාලේ නතාෂා ලංකාවේ හිටියේ නැහැ?
ඔව්.... අපි අවුරුදු දෙකහමාරක් තුනක් වගේ කාලයක් ජීවත්වුණේ ඕස්ට්‍රේලියාවේ. අපිට ඒ රටේ ස්ථීර පදිංචිය ලැබුණා. ඒ රටට ගිය නිසාම මට නිර්මාණවලට දායකවෙන්න ලැබුණෙත් නැත්තේ.

නතාෂාගේ ජීවිතේ පටන් ගත්තෙත් ශ්‍රී ලංකාවෙන් නෙමේ...? එහෙම නේද?
ඔව්.... මම ඉපදුනේ ඉතාලියේ රෝමයේයි. මට මාස දෙකක් වුණාට මගේ අම්මි ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නිසා මම හැදුනේ වැඩුනේ ලංකාවෙයි. මගේ මව්රටත් ලංකාවයි. ඉපදුනේ ඉතාලිය වුණාට මගේ ජීවිතේ හැමදේම වුණේ ශ්‍රී ලංකාවෙයි. මට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තේ ලංකාවෙයි. ඒ නිසා මගේ ජීවිතේ ලංකාවෙයි තියෙන්නේ.

නතාෂා ඉගෙන ගත්තේ?
මම මුලින් ඉගෙන ගත්තේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේයි. පසුව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසැලෙන් ඉගෙන ගත්තා. මම ඒ කාලේදී ගොඩක්ම තැන්පත්, පාඩම්වලට ලැදි චරිතයක්. ගොඩක් දෙනෙක් %දඟමල්ල^ ටෙලිනාට්‍යයෙත් දඟමල්ල නමින් මාව හඳුනාගත්තා. නමුත් පාසැලේදී මම ඒ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මම හැමවෙලේම පාඩමට මුල්තැන දුන්නා. මම කලාව පටන් ගත්තෙත් ඉතාම කුඩා වයසේදියි. ඒ කලා කටයුතු කළත් පාසැල් වැඩකටයුතු මම කවදාවත් අතපසු කළේ නැහැ.

පාසැලේදී දඟ චරිතයක් නොවුණ නතාෂා කලාවේ දඟමල්ල වුණ ජීවිතේ හැරවුම වුණේ කොතැනින්ද?
මම පුංචි කාලේ ඉඳන් මම ගීත ගායනා කරන්න හැකියාව තිබුණා කියලා මගේ අම්මි දැනගෙන හිටියා. ඒ නිසා අම්මිට මට ගීතයක් කරන්න ඕන වුණා. ඒ නිසා තමයි සුළඟක් වී ගීතයට මඟ පෑදුණේ. මේ මොහොතේදී රෝහණ ධර්මකීර්ති මහතාට මම ආදරෙන් මතක් කරනවා. ඔහු තමයි සුළඟක් වී ගීතය සංගීතවත් කළේ. ඒ ගීතය පද රචනා කළේ අද අපි අතරේ නැති ආනන්ද හේවා රංහිඳගේ මහතායි. මේ ගීතය නිර්මාණය වුණාම හැමෝගේම තීරණය වුණේ මේකේ අප්පච්චිගේ ගී කොටස ගායනා කරන්න සුදුසු වන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා කියලයි. ඉතින් එඩ්වඩ් මාමාත් ඒකට කැමැති වුණා. මම හිතන විදිහට මගේ ජීවිතේ හැරවුම වුණේ සුළඟක් වී ගීතයයි.

නතාෂා හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්නයි. මගේ නැන්දි නිසා පුංචි කාලේම මම වෛද්‍යවරියක් වෙන්න ආසා කළා. එයා වෛද්‍යවරියක්. හැබැයි දෛවපෝගත විදිහට අවසානයේදී මාව නීතිඥවරියක් කළා. මොන වෘත්තිය කළත් ඒක සමාජයට හිතැති නිසා නීති වෘත්තිය මම තෝරාගත්තා. මම University of London නීතිවේදී උපාධිය ලබාගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවුරුදු තුනක විභාගය අවුරුද්දකින් අවසන් කරලා 2015 දෙසැම්බර් මාසේ දහවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා.

කුඩා කාලයේදීම කලාවට සම්බන්ධ වුණ ජනප්‍රිය වුණ නතාෂා ඒ ජනප්‍රියත්වය දැනුණේ කොහොමද?
එහෙම ලොකු දෙයක් මට කියන්න තේරෙන්නේ නැහැ. මම පුංචි කාලේම කලාවට සම්බන්ධ වුණාම මාව හඳුනාගත්තු බොහෝ දෙනා මාත් එක්ක ඇවිත් කතා කළා. මම ළඟට ඇවිත් ආදරෙන් මගේ ඔලුව අතගෑවා. මට හිතෙන විදිහට ඒ කාලේදී අම්මලා තාත්තලා තමයි මට වැඩිපුරම ආදරේ කළේ. ඒ ආදරේ තිබුණා. හැබැයි ඒ ප්‍රසිද්ධිය, ඒ ජනප්‍රියත්වය ගැන මම වැඩිය හිතුවේ නැහැ. අදටත් එහෙමමයි. ඒ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය හැමදාම පවතින දෙයක් නෙමෙයි කියල මගේ අම්මි මට පුංචි කාලේදීම කියල දීලා තිබුණා. ලබන අවුරැද්දට සුළඟක් වී ගීතය ගායනා කරලා අවුරැදු විස්සක් වෙනවා.

මේ අවුරුදු විස්සටම නතාෂා නිර්මාණ කළේ ටිකක් අඩුවෙන්. සංගීත නිර්මාණකරැවෙක් ගෙදර ඉන්දැද්දීත් එහෙම ගීත නිර්මාණය කරන්න හිත ගියේ නැත්තේ ඇයි?
මම කලාවට සම්බන්ධ වුණේ පුංචි කාලේදීමයි. මම ඒකට සම්බන්ධ වුණේ ආර්ධකාලීනවයි. පූර්ණකාලීනව ඒ කාලේ මම ශිෂ්‍යාවක්. ඒ නිසා මම ඒ කාලේ මුල්තැන දුන්නේ මගේ ඉගෙනීමටයි. ඒ කාලේදී හැමදාමත් මම පන්තියේ පළවෙනියා හෝ දෙවැනියා තමයි වුණේ. ඒ නිසා ඒ කාලේදීවත් කලාව පූර්ණකාලීන නැහැ. ඊට පස්සේ මම නීතිඥවරියක් වෙන්න ඉගෙන ගනිද්දීත් ඒක පූර්ණකාලීනව කරන්න බැහැ. නමුත් මම කරපු නිර්මාණ අතලොස්සට මිනිස්සු ආදරෙයි. ඒ නිර්මාණ අතගොස්ස ගැන මම අදටත් සෑහීමට පත්වෙනවා.

අවංකවම කතාකළොත් ලංකාවේ ඉන්න බොහෝදෙනා ඕස්ට්‍රේලියාවට යන්න උත්සාහ ගන්නවා. ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලැබුණ නතාෂා ලංකාවේ ඉන්නේ ඇයි?
ලංකාවට ආවේ නම් අපි කෙටිකාලීනව ගත්තු තීරණයක්. මගේ අධ්‍යාපන සුදුසුකම් මත තමයි ඕස්ට්‍රේලියාවේ අපිට ස්ථීර පදිංචිය හිමිවුණේ. ඒ රටේත් මම නීති සම්බන්ධව කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ උසාවිවල මම සේවය කළා. ලංකාවේ වගේම එහෙත් මට ලැබුණු ඒ අත්දැකීම් හරිම වටිනවා. ඉතින් දීර්ඝකාලීනව ඉන්න ඕස්ට්‍රේලියාවේ යනවා කියලා කියන්න බැහැ. බලමු අපි කාලයක් ලංකාවෙත් ඉඳීවි. ඕස්ට්‍රේලියාවේත් ඉඳිවි.

ලංකාවේ ලාබාල නීතිඥවරියක් ඕස්ට්‍රේලියාවේ උසාවිවල සේවය කරද්දී ලබපු ඒ අත්දැකීම් කොහොමද?
ඕස්ට්‍රේලියාව කියන්නේ පළමු ලෝකේ රටක්. ලෝකේ දියුණු රටක්. ඒ රටවල්වල සුදුස්සාට සුදුසුකම ලැබෙනවා. අධ්‍යාපන සුදුසුකම් වගේම තමන්ගේ හැකියාවේ සුදුසුකම් මත ඒවා ලැබෙනවා. ඒ අයත් එක්ක බලද්දී මම පෙනුමෙනුත් වුණත් ගොඩක් පොඩියි. ඇත්තම කිව්වොත් මුල් දවස්වල මමත් පොඩ්ඩක් බයවුණා. හැබැයි අත්දැකීම් එක්ක, මට උදව් කරපු කට්ටයත් එක්ක ඒක හුරුවුණා. ඒ රටේදී විනිශ්චයකාරවරැන් ඉදිරියේදීත් මම කතා කරලා තියෙනවා.

ප්‍රිහාන්ව මුණගැහුනේ කොහොමද?
ප්‍රිහාන් ගායනා කරන යායට පායන ගීතයේ කොටසක් ගායනා කරන්නේ මම. ඊට කලින් ප්‍රිහාන් මාත් එක්ක ගීතයක් ගායනා කරන්න කැමැතියි කියලා අපෙ අම්මිට කිව්වා. ඒ වෙනුවෙන් කතා කරන්න ප්‍රිහාන් අපේ ගෙදර ආවා. හැබැයි එයා ඒ හිතපු ගීතය නම් සිද්ධ වුණේ නැහැ. පසුකාලීනව ප්‍රිහාන් ගායනා කරන යායට පායනා ගීතයට මට ආරාධනා කළා. මුලින් අපි දෙන්නා හොඳ යාළුවෝ. ඊටපස්සේ තමයි පෙම්වතුන් වුණේ.

ප්‍රිහාන් එක්ක ගතකරන ජීවිතේ?
දැන් අපි දෙන්නා විවාහවෙලා අවුරුදු පහමාරක් වෙනවා. ප්‍රිහාන් එයාගේ ව්‍යාපාර කටයුතුවලට සහභාගි වුණ නිසා ඔහු වැඩිය නිර්මාණ කළේ නැහැ. ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා මගේ රැකියාවේ කාර්යබහුල වුණා. ඒ හැමදේම සමබරව කරගෙන යනවා. ප්‍රිහාන් එක්ක ආදරෙන් හොඳ ජීවිතයක් ගතකරනවා.

ඇත්ත කියන්න, දෙන්නාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද?
ඇත්තටම මුලින් නම් මම හිතාගෙන හිටියේ අපි දෙන්නාගෙන් කේන්ති යන්නේ මට කියලයි. හැබැයි ප්‍රිහාන්ටත් මට හා සමානව, සමහර වෙලාවට ඊටත් වඩා කේන්ති යනවා. ඉතින් එයාට කේන්ති යද්දී මම ඉවසනවා. මට කේන්ති යද්දී එයා ඉවසනවා. ඒ නිසා අපි අතරේ කේන්තිය දුරදිග යන්නේ නැහැ.

ගෙදරම සංගීතය දන්න දෙන්නෙක්. ආයෙත් ගීතයක් දෙන්න එකතුවෙලා කරන්න හිතන්නේ නැද්ද?
Fb එකේදි මෑතකදී live එකක් ඇවිත් අපි දෙන්න ගීත ගායනා කළා. එයා ගිටාර් ගැහුවා. අපි සිංදු කිව්වා. ඒක දැකපු බොහෝ දෙනා Call කරලත් ඇයි දෙන්නා එකතුවෙලා ආයෙත් ගීත ගයන්නේ නැත්තේ කියලා ඇහුවා. ඉදිරියේදී බලමු ප්‍රිහාන් හැමවෙලේම කියන දෙයක් තමයි විවාහ වුණ පලියට දෙන්නා එකතුවෙලා නිර්මාණම කරන්න ඕනේ නැහැ කියලයි. ඒ නිසා අපි තනි තනිව නිර්මාණ කරනවා. දෙන්නා හැමවෙලේම එකටම නිර්මාණ කළයුතුයි කියන මතේ නම් අපි දෙන්නා නැහැ.

තමන්ගේ මහන්සියෙන් මුලින්ම හම්බකරපු මුදල නතාෂාට මතකද...?
මම වෙළෙඳ දැන්වීම්වලට හඬකවලා තිබෙනවා. මුලින්ම මට ඒ වගේ එකකින් තමයි මුලින්ම මුදලක් ලැබුණේ. ඒ ලැබුණ මුදල ගැන ඒ කාලේ දැනුවත් නැහැනේ. ඒ හැමදේම අම්මිට දුන්නා. ඇය තමයි මගේ හැමදේම කළමනාකරණය කළේ. මම වෙනුවෙන් හැමදේම කළේ මගේ අම්මි. මම අද යම්තැනක ඉන්නවා නම් ඒ ගෞරවය හිමිවිය යුත්තේ මගේ අම්මිටයි.

ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?
හැමෝම කියනවා ඉක්මනට ගීතයක් එළිදක්වන්න කියලා. ඉතින් 2021දී මුලින්ම ඒ ගීතය එළිදක්වාවි. ඒ බලාපොරොත්තුව තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ.

                      සේයාරූ සුමුදු හේවාපතිරණ