මේ සති අන්තයේ My pet ගැන සුන්දර කතාවකට අපි සමඟ එකතු වෙන්නේ ප්‍රවීන රංගන ශිල්පියෙක්. ඒ තමයි ඔබ අපි කවුරැත් දන්නා සුරංග සතරසිංහ
• සුරංග කියමුකො ඔබේ සුරතලා කවුද කියලා?
මම සුරතලය ඇති කරන්නේ බව්වෝ දෙන්නෙක්.
• ඇයි ඔබ සුරතලයට ඇති කරන්න බල්ලෝ විතරක් තොරාගත්තේ?
එහෙම දෙයක් නෑ. මම හැම සතෙකුටම ආදරේ කරනවා. මගේ ගෙදර ඇති ඉඩ ප්‍රමාණයත් එක්ක මට ඇති කරන්න පුළුවන් බල්ලන් විතරයි. පූසෙක් වගේ සතෙක් ඇති කළොත් එයාලාට සීමා බන්ධන නෑනේ. හැබැයි බල්ලෝ එහෙම නෑ. අනික මෙයාලා දෙන්නගෙන් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා තමයි මම බල්ලන්ට කැමැති.
• ඔබ ළඟ ඉන්න සුරතලුන්ගේ නම් මොනවාද?
ලොකු කෙනා ජෙස්මින්. එයාගේ පුතා තමයි අනිත් කෙනා. එයාගේ නම බීනු.
• ජෙස්මින් සහ බීනු දෙදෙනාගෙන් ඔබ වඩාත් ආදරයක් දක්වන්නේ කාටද?
මම දෙන්නාටම එක වගේ ආදරෙයි. හැබැයි ඒ ආදරය දිනාගැනීමේදී බල්ලන්ගේ පැත්තෙන් ගත්තහම බීනු තමයි ඉස්සරහින් ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ ජෙස්මින් වයසයි. එයා වැඩිය දුවලා පැනලා අපිත් එක්ක ඉන්නේ නැති නිසයි. හැබැයි බීනු එහෙම නෑ. එයා අපි එක්කමයි ඉන්නේ. එයා නම් හොඳට දුවලා පැනලා ඉන්නවා. ඒ නිසා තමයි බීනුට ටිකක් වැඩිපුර ආදරයක් දක්වන්නේ.
• කියන්නකෝ අපිට ඔබගේ සුරතලුන් දෙන්නාගේ වතගොත?
මේ දෙන්නාම ලයන් ෂෙපර්ඩ් වර්ගයේ දෙන්නෙක්. මේ දෙන්නාගෙන් මුලින්ම අපේ පවුලට එකතු වුණේ ජෙස්මින්. එයාව අපිට ලැබුණේ අපේ පුතාගේ යාළුවෙකුගෙන්. ජෙස්මින් පැටව් කිහිප දෙනෙක්ම දැම්මා. එයාලාව මම මගේ යහළුවෝ කිහිප දෙනෙකුට දුන්නා. ඒ දාපු පැටව්ගෙන් එක්කෙනෙක් තමා බීනු. මේ දෙන්නා අපේ පවුලේම සාමාජිකයින් දෙන්නෙක් වගේ. මම එහෙම කිව්වේ මමයි මගේ පුතයි දෙන්නම නිවසේ නැති වෙලාවට මගේ බිරිඳගේ තනිකම පාලුව නැති කරන්නේ මේ දෙන්නා තමයි. තව දෙයක් තියෙනවා මෙයාලා මිනිස්සු වගේ නෙවෙයි. කෙළෙහි ගුණ හොඳට දන්නවා. කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යාවක් නෑ. අනික වෛරය කියන දේ හිතේ සඟවාගෙන තියන් ඉන්නේ නෑ. මේ දෙන්නට මිනිස්සුන්ට වඩා කෙළෙහි ගුණ ස්වභාවධර්මයෙන්ම පිහිටලා තියෙනවා. ඔය වගේ දේවල් තමයි මෙයාලාගේ විස්තර.
• ජෙස්මින් සහ බීනුගේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවන සිදුවීම් නම් එමටයි. මෙයාලාට පොඩි කාලේ සපත්තු සෙරෙප්පු පේන්න බෑ. සමහර සෙරෙප්පු අපි එක පාරවක්වත් දාපු නැති ඒවා. ඒවා හපලා හපලා දානවා. එක දවසක් මම මගේ බිරිඳගේ උපන්දිනයට ලෙදර් බෑග් එකක් ගෙනාවා. තෑග්ගක් විදිහට දෙන්න. ඒත් ඒක දෙන්න කලින් ඒක කාලා දාලා තිබ්බා. ඔය වගේ දේවල් තමයි ඉතින් මෙයාලාගේ අමතක නොවන සිදුවීම් විදිහට තියෙන්නේ. හැබැයි මෙයාලා මොන දේ කළත් අපි මෙයාලාට ගහන්නේ බනින්නේ නෑ. මොකද එයාලා ස්වභාවධර්මයෙන්ම එහෙම හැදිලා ඉන්නේ. ඒක අපට වෙනස් කරන්න බෑ.
• සුරංග ඔබ ජෙස්මින්ගේ සහ බීනුගේ උපන්දින සමරණවාද?
එහෙම දේවල් නම් කරලා නෑ. මට මතක විදිහට එකම එක දවසක් දෙන්නාගේම උපන්දින දවසට විශේෂ කෑමක් හදලා දුන්නා. හැබැයි එයාලට නම් ඒ ගැන හැඟීමක් නෑ. අපේ හිත් සතුටු වුණු එක විතරයි වුණේ. කොහොම වුණත් මේ දෙන්නාට හැමදාම උපන්දින වගේ තමයි අපි සලකන්නේ.
• ඔබ කාර්යබහුල කෙනෙක්. ඔබට ඇති කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඔබ සුරතලුන් ගැන හොයලා බලන්නේ?
මගේ බිරිඳ පැය 24ම ගෙදර ඉන්නේ. මම හිටියත් මගේ බිරිඳ තමයි මෙයාලාව නාවන කරන දේවල් කරන්නේ. ඒ නිසා මම කොච්චර කාර්යබහුල වුණත් මෙයාලට ඒක දැනෙන්නේ නෑ.
• සුරංග ඔබ ආදරය දක්වන්නේ හොඳ වර්ගයේ සතුන්ට විතරද?
මෙහෙමයි මම ආදරය කියන දේ ගෙදර බල්ලන්ට විතරක් කොටුකරලා නැහැ. මේ දවස්වල මම නාට්‍යයක රූගත කිරීම් කරන තැනත් බල්ලෙක් ඉන්නවා. මුල් කාලයේදී එයාව මම දන්නෙත් නෑ. එයා මාව දන්නෙත් නෑ. හැබැයි දැන් මම කන්න බොන්න දීලා ආදරයෙන් කතා කරපු නිසා දැන් මාත් එක්කමයි ඉන්නේ. ඉතින් මට කියන්න ඕන වුණේ මම හොඳ බල්ලෝ හොඳ නැති බල්ලෝ කියලා වෙන්කරලා ආදරය කරන්නේ නෑ කියන එකයි. පාරේ හරි කොහේ හරි තැනක අසරණ වෙලා ඉන්නවා නම් මම ගිහිල්ලා උන්ට පිහිට වෙනවා. තව දෙයක් තමයි මම බල්ලන්ට විතරක් නෙවෙයි සලකන්නේ. පූසෝ, කුරුල්ලෝ, ලේනෝ වගේ සතුන්ටත් මම සලකනවා. මම ගොඩාක් ප්‍රියකරන සතෙක් තමයි ගවයා.
• සුරංග ඔබ අහලා ඇති සමහර මිනිසුන් සතුන් බෝ වීම වළක්වන්න විවිධ සැත්කම් කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මෙහෙමයි ව්‍යාපාරයක් විදිහට සතුන් විකුණන අය නම් බොහෝම කැමැත්තෙන් තමයි සතුන් බෝ කරන්නේ. ඒත් ව්‍යාපාරයක් විදිහට නොකරන අය තමුන්ගේ නිවසේ ඇති ඉඩ ප්‍රමාණය හා තමුන්ගෙන් සිදුවන හිරිහැරය වළක්වා ගන්න ඔහොම දේවල් කරනවා. හැබැයි එක පැත්තකින් සතුන්ගේ අයිතියක් උදුරා ගැනීමක් ඒක. නමුත් ඉතින් අපිට යම් පාලනයක් කරන්නට සිදුවෙනවනේ. මොකද හේතුව බොහොම අඩු ඉඩ ප්‍රමාණයක් තියෙන තැනක තමයි හුඟ දෙනෙක් ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා සතෙකුට දෙන්නෙකුට වඩා හදන්න අමාරැයි. ඉතින් සමහර මිනිස්සු අකමැත්තෙන් වුණත් ඔය දේ කරනවා. හැබැයි මම නම් ඔය දෙක අතරමැද ඉන්නේ. මම ගාවත් ඉන්නේ ගැහැණු සතෙකුයි පිරිමි සතෙකුයිනේ. ඉතින් එයාලත් පැටව් දානවා. එයාලව හොඳ ගානට විකුණන්නත් පුළුවන්. ඒත් මම එහෙම කරන්නේ නෑ. යාළුවන්ට නිකං දෙනවා. හැබැයි දැන් ගැහැණු සතා වයස නිසා පැටව් දාන්නේ නෑ. කොහොම වුණත් ඔය හැමදේම වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව මතයි.
• ඔබ වගේ සුරතලුන් හදන අය සහ හදන්න ඉන්න අයට මොන වගේ පණිවිඩයක්ද ඔබට දෙන්න තියෙන්නේ?
මට කියන්න තියෙන්නේ බල්ලෙක් හරි පූසෙක් හරි හෝ කුමන ජාතියේ සතෙකු හදනවා නම් කූඩු නොකර දංවැලකට හිර කරන්නේ නැතිව සතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකර ඒ සතාව ආදරයෙන් හදන්න. මොකද සතෙකුට තව සතෙක් උපකාර කරන්නේ නෑ. ඌට හැම වෙලාවකම උපකාර කරන්නේ මනුස්සයෙක්. ඒ නිසා මිනිසා විසින් ඌව හිරකරන තත්ත්වයට ගේන්නේ නැතිව පූර්ණ නිදහස දීලා සුන්දර අහිංසක විදිහට ගෙදර ජීවත් වෙන්න ඉඩ දෙන එක තමයි සතුන් හදනවා නම් මම සියලුදෙනාගෙන් ආදරයෙන් ඉල්ලන්නේ.