2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

ලාබෙට බොමු... හරි රසවත් මෙගා සරුවත්

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ලංකාවේ තියෙන දැවැන්ත Trend එකක් මොකක්ද කියලා ඇහුවොත් අපේ සුදාලා මොකක්ද දෙන උත්තරේ. ආ එකපාරට හිතා ගන්න බෑ. හැබැයි අද රූට රූට ඔය සුදාලත් මේ රුල්ලේ කොටසක්. හරි ලොකු සීන් නැතුව ගලපන්නම් කෝ. අද කතාව මෙගා ටෙලිනාට්‍ය රැල්ල ගැන.

කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරන්නද තේරෙන්නේ නැති ලංකාවම ආක්‍රමණය කරපු මේ මෙගා රුල්ල ගැන කතාව වෙනස්ම විදිහකට ගලපන්නා අපි හිතුවා. සීන් එක මේකයි. සහෝලට මතකද යශෝරාවය, පළිඟු මැණිකේ, වෙද හාමිනේ, කඩුල්ල, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා මැණික් නදිය ගලා බසී වගේ ටෙලි නාට්‍යය. මේ කියන්නේ නව තාක්ෂණ මහා දියුණුවක් නොතිබුණු 90 දශකයේ හා ඊටත් කලින් කාලේ ගැන. ලංකාවේ බිහිවුණු ටෙලිනාට්‍යවල ගුණාත්මක භාවය නිර්මාණය භාවය තිබුණේ ගොඩාක් ඉහළ තැනක.

ඉතින් සහෝ කාලේ වෙනස්වෙලා තාක්ෂණය දියුණු වෙලා. එහෙනම් ටෙලිනාට්‍ය කලාවත් දියුණු වෙන්න එපැයි. මචෝ ලෝකේ අනෙක් රටවල නම් එහෙම තමා අපේ රටේ එහෙම නෑ. එකම දියුණුව ඒ කාලේ කොටස 30ක් 40ක් වෙච්ච Episode ගාණ දැන් 500ක් වගේ වෙලා. කතාවක් නෑ පිටපතක් නෑ දවස ගානේ ලියන කතාව නළු නිළියන්ට WhatsApp හරහා හම්බ වෙනවා. සමහරුන්ට දෛනික වැටුප්. එකම කැමරා කෝණ එකම ලොකේෂන්. එකේ සීන් දෙක තුන දවසට යනවා. කඩේක සරුවත් හදනවාට වඩා ලංකාවේ ජනප්‍රිය මෙගා හදන්න අමාරු නැහැ කියලා තමා පේන්නෙ.

හැබැයි මචෝ අපි හොඳ ටෝක් දුන්නට ලංකාවේ මිනිස්සු මෙගා බලනවානේ. ලංකාවට මෙගා ආවේ ඉන්දියානු ආභාසය ගුරු කරගෙන. මුලින්ම හඬකවලා ඉන්දියන් මෙගා ලංකාවේ අයට පෙන්නුවා. ඉන්දියන් මෙගා ගැන කිව්වොත් ඒක වෙනම කතාවක්. දැවැන්ත කර්මාන්තයක්. ගොඩාක් මෙගා හදන්න සැලකිය යුතු වියදමක් දරනවා වගේ විශාල ලාභයකුත් ඒ හරහා ඔවුන් ලබනවා. මචෝ ඒ අතින් නම් ලංකාවේ වගේ ලාබය කරන වැඩ නෙවෙයි ඉන්දියන් මෙගා. ඒත් ඉතින් කන්ටෙන් එක නම් ලාභයි. කොහොම වුණත් ඉන්දියාවේ කර්මාන්තයේ ප්‍රමාණය වගේ දැවැන්ත ප්‍රේක්ෂකාගාර මේකට හේතුව.

හැබැයි ඉන්දියාවේ මෙගාවල වෙනම පැත්තක් තිබෙනවා. ඒක අඳුරු කතාවක්. ඉන්දියාවේ දුගී ජනතාව වගේම පහළ මධ්‍යම පන්තිය තමා මේ මෙගාවල ඉලක්කය වුණේ. ඉතින් ධනවත් පවුල්වල කතා තමා මෙයාලා මෙගාවලට තෝරගත්තේ. මෙගා නිසා මිනිස්සුන්ට කුසගින්න පවා අමතක වෙන තත්ත්වයක් මේ හරහා නිර්මාණය වුණා. මෙගා චරිත වෙනුවෙන් අඬන වැළපෙන තත්ත්වක් නිර්මාණය වුණා. මිනිස්සු යථාර්ථයෙන් ඈත්වෙන වෙන එක ගැන ඉන්දියාවේ දේශපාලනඥයෝ ඇතුළු ධනේශ්වර කොටස් සතුටු වුණා.

ඒ වුණත් සහෝ අද ඉන්දියාවේ අපරාධ හොරකම් වැඩිවෙන්න මෙගා ටෙලිනාට්‍ය නිසා ඇතිවුණා. සමාජ බලපෑම් හේතුවෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන රැසක් පෙන්වා දීලා තිබෙනවා. ලංකාව තාම එතෙන්ට වැඩිලා නැති එක ගැන නම් අපිට දැනට සතුටු වෙන්න පුළුවන්. නමුත් යථාර්ථයෙන් මිදීම ලංකාවේ හැම නිවසක වගේ රෑට රෑට සිද්ධවෙනවා. ඒක යථාර්ථය ඒ ඇතුළේ පිරිසක්ට ලාභ වගේම වාසි රැසක් අත්වෙනවා.
මචෝ ලංකාවේ මෙගා ටෙලිනාට්‍යවල බලපෑම ගැන නිකමට හිතල බලමුකෝ. පාසලේ කාර්යාලයේ මිතුරු මිතුරියන් අතර මේ මෙගා සම්බන්ධව කතාබහ සිදුවෙන්නේ යථා තත්ත්වයක් පිළිබඳ කතාවෙන විදිහට. ඒ විතරක් නෙවෙයි වෙනත් කිසිම නිර්මාණයක් මේ නිර්මාණය නිසා මතු වෙන්නේ නෑ. ලොකුම ගැටලුව තමා එදා පරම්පරාවට හොඳ අක්මුල් තිබිලා මෙගාවලට යොමුවුණත් අද නිර්මාණය වෙන පරපුරට කිහිපයක් හොඳ නිර්මාණය පහස ලැබෙන්නේ නෑ. එක පැත්තකින් ඒක භයානක අනාගතයක් පිළිබඳ ලක්ෂණයක්. එදා ගුවන් විදුලිය, සිනමාව, ටෙලිය ඇසුරු කරලා අද සාමාන්‍ය ජනසමාජය නියෝජනය කරන වැඩිහිටි පරපුරට මොනවාම හරිම රසාස්වාදනයක් ලැබිලා තිබුණා. ඒත් හෙට බිහිවන පරපුරට මොකද වෙන්නේ?
ඇත්තට අද වෙනකොට තිබෙන තත්ත්වය ගැන ඕනෑ තරම් අය කතා කරනවා මචෝ. ඒත් ඒ අයත් රූට මෙගා බලනවා. ඒ නිසා මේක කොහොම මෙච්චර බලවත් වුණේ කියලා අපි කතා කරන්න ඕනෑ. ලෝකේ කිසිම රටක, ගමක, තැනක මහා ලොකු සාහිත්‍ය රසාස්වාදනයක් තිබෙන බහුතරය නෑ. ඒ අය සුළුතරය. මෙතැන තියෙන්නේ පරතර අතර ප්‍රශ්නයක් සහෝ. ආසියාවේ ලංකාවේ වගේ රටවල පහුගිය කාලේ සිද්ධවෙච්ච එක සමාජ පරිවර්තනයක් මේ සීන්කෝන් එකට හේතුවක්. ඒක නිකම් අපබ්‍රංසයක් වගේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ.

කලාවේ වානිජ සම්භාව්‍ය කියලා කියන දෙකක් ගැන කතා වෙනවානේ. අන්න ඒ දෙක පහුගිය කාලේ කඳවුරු දෙකක් විදිහට වර්ධනය වෙනවා. ඒ කියන්නේ පරතරයක් නිර්මාණය වෙනවා. ඔය ගුණාත්මක කියන නිර්මාණය කරන්න පුළුවන් අය පොර මානසිත්වය අරගෙන වෙනම තලයක් ගොඩනගා ගන්නවා. එතකොට වානිජයි කියල කලාව ඇතුළේ ඉන්න අය ලාභය මූලික කරගෙන මොනවා හරි කරන මට්ටමක් ඇති වෙනවා. අපි මුලින්ම කිව්වානේ බහුතරකට ඔය ලොකු සාහිත්‍ය ගැඹුරු දේවල් තේරෙන්නේ නෑ. අන්න එතකොට එයාල වැළඳ ගන්නේ ලාභ දේවල්. එයාලා බොන්නෙ ලාභ සරුවත් අර පරතර හරහා දිනන්නේ ලාභ දෙවල් කරන අයට. එතකොට ලාබේ වැඩි වෙනකොට එතෙන්නට එන්නේ ලාබ උපනයන එක පරමාර්ථය කරගත්තු පිරිස.

ඔන්න ඕක තමා පහුගිය කාලේ සිද්ධ වුණේ. බාල මෙගා කියන්නේ මේ පරතර නිසා දකුණු ආසියාවේ නිර්මාණය වුණ උප සංස්කෘතියක් මචෝ. හැබැයි ඇමරිකාවේ යුරෝපයේ ජපානේ කොරියාවේ වගේ තැන්වල ටෙලි කලාවට මේ ඉරණම අත් වුණේ නෑ. මේ කලාවේ පොරවල් ඒකනේ වැඩ්ඩෝ වානිජ කලාව එක්ක එකතු වුණා. අපේ වගේ වෙන ගුල්වලට වෙලා පොර වෙන්න ගියේ නෑ. ඒ නිසා සිනමාව වගේම ටෙලියත් ඒ රටවල දියුණු තියුණු වුණා මචෝ. දැන් ලංකාවේ තරුණ කොටස් ලංකාවේ නිර්මාණය ප්‍රතික්ෂේප කරලා ඔය රටවල නිර්මාණය වැළඳගන්න එක හේතුවක් තම ඔය.