2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

සිංදු රූප රාමුවල හිරකරන්න එපා

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

ඉන්න  තැනක, රැඳෙන තැනක සතුටක් සිනහවක් මිස අන් කවරක්ද? එහෙයින්ම හිත ඉල්ලන හිත මිතුරුකමක් ඔහු සන්තකය. ගිහාන් ප්‍රනාන්දු... ඔව් ඒ මම කීවේ නොදන්නා කෙනෙක් නැති තරමට කලාවේ නෙක ඉවුරු තුළ ඔබට හමුවූ ආදරණීය ඔහු ගැනය.

වෙසෙසින්ම රංගනය තුළද ඔහු ආත්මීය ආවේශයකින් ඒ හා බැඳෙන්නෙකි. නිසැකවම ශ්‍රී ලාංකික රංගධරයන් අතර ඔහු ස්ව අනන්‍ය රංග ප්‍රතිභාවක් උරුම කරගත් කලාකරුවෙකි. යථාර්ථවාදී ලෙස ඕනෑම චරිතයක් තුළ සැරිසරමින් ඒ චරිතය හා සහෘදත්වයෙන් හුස්මක් ගන්න කලාකරුවන් විරල පසුබිමක ගිහාන් නිරන්තර ප්‍රේක්ෂක ප්‍රසංශාවට ලක්වන්නේද එබැවිනි.
ගිහාන්ට මා එන්න යැයි කීවේ මගේ නොවන මගේම ගීතය ගැන කතාකරන්නය.

මුදු මුහුණේ සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මං විතරද

ඉඟ නෙරියේ රැලි බින්ඳේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද

මිනිසුන් හමුවේ හිස පහත් නොකර මුනිවත නොරකිමින් පුරුෂ අධිපතීත්වය නොබියව ප්‍රශ්න කරන ගැහැනියක් හුස්ම ගන්න බව දැනෙන නිසා මේ ගීතය මම මගේ ප්‍රියතම ගීතය විදිහට තෝරා ගත්තා.....
ගීතයේ පද සමුච්චය ගීතවත් ස්වරයෙන් මතක් කරමින් ගිහාන් කතාබහට  ආ වැඩුවේ ඔන්න ඔහොමයි.
මේ ගීතයේ ගී පද රචකයා - මහින්ද දිසානායක 
තනු නිර්මාණයේ අයිතිකාරයා - ගුණදාස කපුගේ
ගයන්නේ - කරුණාරත්න දිවුල්ගනේ / දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

හේතුව කියන්න.... ප්‍රියතම   ගීතය වුණේ ඇයි මේ ගීතය?
ඒ ගීතය තුළ ඉන්න නිදහස් සාධාරණ සහ රුඩිකල් ගැහැනියට මම කැමතියි. ආදරය විඳිද්දි සහ අත්පත් කරගනිද්දී බොහෝ ආසියාතික පිරිමින්, විශේෂයෙන් ඉන්දියාව ලංකාව වගේ රටවල බහුතරයක් පිරිමින් හරිම ආත්මාර්ථකාමී කුහක සුචරිතවාදින් විදිහට හැසිරෙන්නේ. ස්ත්‍රීය යනු පිරිමියාට යටත් විය යුතු, ඔවුන්ගේ ආකල්ප අනුව හැසිරිය යුතු මෙවලමක් මිස ජීවයක් ප්‍රාණයක් නොවේය යනුවෙන් හිතන පිරිමින් මේ ලෝකයේ නැත්තෙ නැහැ. පිරිමියෙක්ගේ හුළඟක්වත් ඇඟේ නොවැදුණු නිර්මල කන්‍යාවියක් අයිතියට හොයන පිරිමි කී දෙනෙක් කන්‍යාවියන් කී දෙනෙකුගේ පහසින් සැනසී ඇත්ද කියලා කවුද ප්‍රශ්න කරන්නෙ... ඒ ප්‍රශ්න කිරීම කලාකෘතියක් තුළ දකින්න මම කැමතියි.

ඇතැම්  සම්ප්‍රදායික සංස්කෘතික ආකල්ප කලාව තුළින් විවේචනයට ලක්කර නව ආකල්ප සමාජය තුළ ඇතිකළ යුතුය යන ස්ථාවරය ද ඔබ දරන්නේ?
ඔව් දියුණුව කියන්නෙ සංවර්ධනය කියන්නෙ භෞතික හෝ තාක්ෂණික දියුණුවට හෝ සංවර්ධනයට විතරක් නෙවෙයි. ගෝත්‍රික සංස්කෘතික වාදයෙන් ඔබ්බට නව නිදහස් චින්තනයමය මාවතක ගමන් කිරීමයි. ගැහැනියද පිරිමියාද වශයෙන් නෙවෙයි මනුෂ්‍යයෝ කියන මානවවාදී චින්තනයෙන් සමාජය දිහා බලන්න. සංවේදීව සංවේදනාවන් හඳුනාගන්න. කලාව තියෙන්නේ ලෝකය පිනවීම පිණිස පමණක් නොවෙයි. ලෝකය වෙනස් කිරීම උදෙසා. සුබ දිශානතියක් කරා සමාජය මෙහෙයවීම උදෙසා. වී.අයි. ලෙනින් වරක් ප්‍රකාශ කළා රුසියානු විප්ලවයට පදනම සකස් කළේ රුසියානු සාහිත්‍ය කියලා... කලාව සාහිත්‍ය තම නිසි සමාජ වගකීම ඉටු කරන්නේ නම් එය එතරම්ම ප්‍රබල දෙයක්.

අද ලෝකය ගෝලීයකරණය  කියන සංකල්පයෙන් ඔබ්බට ගෝලීය සුපිරි සමාජය කියන ආකල්පය තුළ ගොනු වී තියෙනවා. ඔබ හිතනවාද ස්ත්‍රී පුරුෂ සබඳතා ගැන තිබූ අතීත ආකල්ප අදටත් එසේමයි කියලා?
ගැහැනිය අද දුර ගමනක් ගිහින් තියෙනවා. ලෝකයේ ඕනෑතරම් ඊට උදාහරණ තියෙනවා. සමාජ වෙනස්වීම්වලට උරදුන්න විප්ලවකාරී ගැහැනුන් හැම ක්ෂේත්‍රයකම ඉන්නවා. හැබැයි ඒ සියලු සත්‍යන් අතරෙ බ්‍රාහ්මණවාදීන් තවම නොමැරී හිඳිනවා. පිරිමියෙක් මොන වැරැද්ද කළත් නාවලා ගෙට ගත්තම හරි කියන උන් තවම නැද්ද? සුදු රෙද්දෙන් පවිත්‍රත්වයේ සංකේත හොයන පිරිමින්, නැන්දම්මලා තවම නැද්ද? කවදාවත් කුමර බඹසර නොසොයන සමාජය කුමරි බඹසර හොයන්නෙ නැද්ද? දරුවන්ට කන්න දෙන්න කරන්න දෙයක් නැති කමට ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනිය ගණිකාව. ඒ ගැහැනිය ගණිකාවක් වෙන්නෙ පිරිමියෙක් ඒ ගැහැනිය ළඟට එන නිසානේ. පිරිමියෙක් නැතුව කොහොමද ගණිකාව නිර්මාණය වෙන්නේ. ඒත් ගණිකාව පස්සෙ යන මොන පිරිමියාද අවමන් ලැබුවේ... මේ සත්‍යතාවන් ඔබ ඔය කියන ගෝලීය සුපිරි සමාජය ඇතුළෙ අපි අදටත් දකින්නේ නැද්ද? 

ගිහාන් මේ ගීතය අහපු මුල්ම දවසෙ ඔබට දැනුණු හැඟීම මොකක්ද?
ප්‍රවීණයන් එකතුවක සාර ප්‍රකාශනයක් ඇහෙද්දී හරි සතුටක් දැනුණා... මට දැනෙන දෙයක් තමයි අන්තිමේ කරුණාරත්න දිවුල්ගනේ කියන ආදරණීය ගායකයා තරහෙන් වගේ උත්තරේ දෙන්නෙ කියලා. හුඟාක් පිරිමි ගැහැනියගේ අතීතය අවුස්සන්නෙ ප්‍රශ්න කරන්නෙ තරහින් කියලා හිතන හින්දාද දන්නෙ නෑ. ඒ ගැයුම මට එහෙම ඇහෙන්නේ.

ඔබේ බිරිඳ එක්ක ඔබ මේ ගීතය ගැන කතා කරද්දී ඔබේ ආකල්පවලට ඇය දැක්වූයේ කවර ප්‍රතිචාරයක්ද?
ඇය දරන්නෙත් මගේ ආකල්පයමයි. ඇය මා නිවැරුදිව තේරුම් ගත් ගැහැනියක්. එහෙම අවබෝධයක් නොතිබුණා නම් කොහොමද මේ ගමන අපි යන්නෙ... එහෙම නොවුණු තැන්වලින් අපිට ජීවිතයේ අයින් වෙන්න සිද්ධවෙනවා... යාළුවෙක් එක්ක කන්න බොන්න කතා කරන්න හරි නිදහසේ එළියට බහින්නෙ මම කවුද? මගේ සීමාව තුළ මගේ හැසිරීම පිළිබඳ ඈ තුළ වන විශ්වාසය නිසා නේ? එහෙම නොවෙන තැනදී ජීවිතය හරි කටුකයි.

මේ ගීතය ලියූ ගීත රචකයා මුණගැසුණොත් මොනවද ඔබ කියන්නෙ ඔහුට?
හරිම විප්ලවකාරී ගීතයක් ලෙස අගේ කරයි. ඒ වගේම මම ගීතයකට මියුසික් වීඩියෝ කරනවට හරි අකමැතියි. ගීතය රාමු කරන්න එපා රූප රාමු ඇතුළෙ. එය නිදහසේ අහන්න විඳින්න දෙන්න... ඒ තමා මගේ කැමැත්ත. ඒ ගැන මම කතා කරයි.

ගිහාන් ඔබ කලාවේ මහාප්‍රාණ ගැන දන්න කලාකරුවෙක්... මේ වෘත්තිය ගැන කොහොම හැඟීමක්ද ඔබට තියෙන්නේ?
කලාව කියන්නෙ වෘත්තියක්. සමාජ මෙහෙවරක් කළ හැකි සමාජ වගකීමක් ඇති වෘත්තියක්. ඒ වෘත්තිය හදාරන්න. කියවන්න. සල්ලි හම්බ කිරීම එකම පරමාර්ථය කර ගන්න එපා වෘත්තියේ ගරුත්වය රැකගන්න. මම වසරකට එකක් හරි වේදිකා නාට්‍යයක රඟපාන්නෙ මගේ බැටරිය චාර්ජ් කරගන්න. පරිපූර්ණයි කියලා හිතලා එක තැන නවතින්න එපා. මේ වෘත්තිය මම දකින්නේ සහ දරන්නේ එහෙම ආකල්පයකින්.