2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

එයාට කවුරුත් බල්ලා කියනවාට මම කැමති නෑ....

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

මේ සති අන්තයේ My pet ගැන සුන්දර කතාවකට අපිත් සමඟ එකතු වෙන්නෙ ඔබ අපි සියලු දෙනා හොඳින් අඳුරන රංගන ශිල්පියෙක් වගේම හොඳ නිරූපණ ශිල්පියෙක් ඒ්  පැතුම් රුක්ෂාන්.

පැතුම්.. ඔබේ සුරතලා කවුද?
එයා පුංචි බලු පැටියෙක්.

ඔබ සුරතලයට බල්ලන් විතරක්ද ඇතිකරන්න කැමති?
මම මීට කලින් කිසිම සතෙක් හදලා නෑ. මගේ යාළුවෙකුගේ බලු පැටියෙක් හිටියා. ඒ යාළුවා ටික දවසක් මගේ ගෙදර නැවතිලයි හිටියේ. එයාට හිටියා පොඩි බලු පැටියෙක්. එයා හරි සුරතල්. ඒ බලු පැටියා දැකලා තමයි මම බල්ලන්ට ආදරය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මමත් බලු පැටියෙක් ගෙදරට ගේන්නෙ. මම කුරුල්ලන්ටත් ආසයි. හැබැයි එයාලව හදනවානම් හදන්න වෙන්නෙ කූඩු කරලනෙ. මම ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. මගේ ළඟ ඉන්න බලු පැටියව මම කවදාවත් කූඩු කරලා නෑ. එයාට නිදහස උපරිමයෙන් මම දීලා තියෙනවා. අනික බල්ලෝ කියන දේ හොඳට අහනවා. ඒ නිසයි මම බල්ලෙක්ව මගේ සුරතලා විදිහට හදන්නේ.

අපි ආසයි දැනගන්න ඔබේ සුරතලාගේ නම?
එයාගේ නම විෂ් (Wish). එයා සිට්සු වර්ගයේ කෙනෙක්. 

විෂ් කොහොමද ඔබේ පවුලට එකතු වෙන්නෙ?
මම ගොඩක් වර්ගයේ අයව බැලුවා. හැබැයි මම ජීවත්වෙන තැනට ගැලපෙන්නේ පොඩි බල්ලෙක් නිසා මම කොහොමත් හෙව්වේ පොඩි බලු පැටියෙක් තමයි. ඔහොම හොයද්දී තමයි මම මෙයාව දැක්කේ. ඊට පස්සේ මම මෙයාව මුදලට ගත්තා. ඔන්න ඔහොමයි විෂ් අපේ ගෙදරට ආවේ.

පැතුම්.. කියමුකො අපිට විෂ්ගේ වතගොත ගැන?
මම මුලින්ම කියන්න ඕනෙ මෙයාගේ නම ගැන. මම මෙයාට විෂ් (Wish) කියලා නම දැම්මේ. විෂ් කියන්නේ ප්‍රාර්ථනාවක් කියන එක. හැම වෙලාවේම විෂ් විෂ් කියන එක මටත් හොඳයි. ඊට අමතරව මගේ නමත් පැතුම්. පැතුම් කියන්නෙත් ප්‍රාර්ථනාවටමනෙ. ඒ නිසා තමයි මම මෙයාට විෂ් කියලා නම දැම්මේ. ඒ වගේම විෂ් තාම මාස 9ක සුරතල් පුංචි බලු පැටියෙක්. මට කියන්නම ඕනෙ දෙයක් තියෙනවා. මම කැමතිම නැති දෙයක් තමයි මෙයාට බල්ලා කියලා කතා කරන එකට. ඒ තරමටම මම මෙයාට ආදරෙයි. මම මෙයාට ආදරේ කරනවා වගේම තමයි මෙයත් මට මාරම විදිහට ආදරේ කරනවා. මම කවදාවත් මෙයාට ගහලත් නෑ බැනලත් නෑ. අඩුම ගානේ බෙල්ලට පටියක්වත් දාලා නෑ. ඒ තරමට මම මෙයාට ආදරෙයි. ගොඩක් වෙලාවට මම ගෙදරින් පිට යනකොට මම මෙයාවත් එක්කන් යනවා. විෂ් මට මගේ පවුලේ කෙනෙක් වගේ. ඔය වගේ දේවල් තමයි මට විෂ් ගැන කියන්න තියෙන්නෙ. 

පැතුම්.. කොහොමද එයත් එක්ක ගෙවන කාලය?
ඒක වෙනම අත්දැකීමක්. මම පළමු වතාවට සතෙක් ඇති කරන්නේ. මිනිසුන් ළඟ නැති අමුතුම ආදරයක් සෙනෙහසක් ඔවුන්ගෙන් ලැබෙනවා.

කාර්යබහුලත්වයත් සමඟ ඔවුන් වෙනුවෙන් කාලය වෙන්කර ගන්නේ කොහොමද?
මම වෘත්තිමය රාජකාරිවලට යනකොට මගේ යාළුවෙක් ගාව දාලා තමයි යන්නේ.

පැතුම්.. ගොඩක් අය වගේ ඔබත් මෙයාගේ birthday සමරනවද?
ඒක ගැන එහෙම ලොකු Idea එකක් නෑ. නමුත් එයාලටම හදන cake වර්ගයක් ගෙනල්ලා දීලා සමරන්න පුළුවන්. සියලුම සැප සම්පත් දීලා තමයි මම එයාව හදන්නේ.

Street dog ගැන ඔබේ මතය මොකක්ද?
මම ගොඩක් සතුන්ට ආදරේ සෙනෙහස දක්වන චරිතයක්. පාරේ ඉන්න සතුන්ට හිංසා පීඩා කරනවාට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් මට පුළුවන් හැකි උපරිමයෙන් ඒ අසරණයන්ට පිහිට වෙනවා.

ඔබ විවාහ වෙන කෙනා සතුන්ට අකමැති චරිතයක් වුණොත්?
ඒක වෙන්න බැහැ. මොකද අදහස් ගලපලා තමයි විවාහ වෙන්නේ. ඉතින් එයත් සතුන්ට කරැණාවන්ත තැනැත්තියක් වෙයි.

අවසාන වශයෙන් සතුන් ඇතිකරන, ඇතිකරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසට කියන්න තියෙන පණිවිඩය?
ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්න පුළුවන්නම් විතරක් හදන්න. සතුන් කියන්නේ වාචිකව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පිරිසක් නෙමේ. ඉතින් සුරතල් සතුන්ට විතරක් නෙමේ හැම සතෙක්ටම ආදරය සෙනෙහස දක්වන්න ඕනෙ කියලා මම හැමදෙනාගෙන්ම ඉල්ලනවා.