සුජීව.. මේ දවස්වල මොනවද කරන්නෙ?
මේ දවස්වල Interනැසනල් කියන ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඒක ස්වාධීන රූපවාහිනී සේවයේ සතියේ දවස් පහ සවස හයට විකාශනය වෙනවා. මම ඒ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා විදිහටත්, ඒකේ ප්‍රධාන චරිතයකුත් රඟපානවා. ඒකෙ නිෂ්පාදන කටයුතුවලට දායකවෙලා ඉන්නෙ දුලීකා. ඊට අමතරව මේ දවස්වල මම රඟපාන නාඩි ටෙලිනාට්‍යයත් සක්මන් ඡායා ටෙලිනාට්‍යයත් විකාශනය වෙනවා.
Interනැසනල් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරද්දී රංගන ශිල්පියකු වීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි?
ඔව්.. ඒක ඇත්ත. මම වේදිකාව තුළත් අධ්‍යක්ෂණය කරමින් රඟපාන අවස්ථා දෙකක් තියෙනවා. සෙනෙහබර ධනුද්ධර වගේම ලෝරන්ස්ගේ මනමාලිත් මම අධ්‍යක්ෂණය කරමින් රඟපෑවා. නමුත් වේදිකාවට වඩා පුංචි තිරයේ මේ කටයුත්ත ටිකක් වෙනස්. ඇත්තටම කියනවානම් අපිට අද ලංකාවේ ඇතුළේ ටෙලිනාට්‍යයක් කරද්දී නිදහසේ කිරීමේ හැකියාව නැහැ. අපිට බජට් එක සහ ෂෙඩියුල් එක ඇතුළේ තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒ වෙනුවෙන් පුදුමාකාර වෙහෙසක් දරන්න වෙනවා. මම කරන දේ ගැන මම හැමවෙලේම සතුටු වෙනවා. අධ්‍යක්ෂණය කරමින් රඟපෑම යම් විදිහකින් මට වෙහෙසකාරීයි. නමුත් දරාගැනීමේ ශක්තිය තියෙන නිසා දරාගෙන කරගෙන යනවා. ඒක පහසු නැහැ. ඒ වුණත් මේ ෂෙඩියුල් එකයි බජට් එකයි ඇතුළේ හොඳ දෙයක් කරන්න මම ට්‍රයි කරනවා.
ජීවිතේ පටන්ගත්තේ කොතැනින්ද?
කොළඹ නගරයේ නාරාහේන්පිට තමයි මගේ ගම වුණේ. කොළඹ ආශ්‍රිතව මම හැදුණේ, වැඩුණේ. මගේ පියා රජයේ රැකියාවක් කරපු කෙනෙක්. නමුත් 1976 ආණ්ඩු පෙරළියත් සමඟ ඔහුගේ රැකියාව නැතිවුණා. ඊටපස්සේ රේස් එක දිවීමත් එක්ක එය අතට ගත්තේ මගේ අම්මයි. අදටත් බොහෝ ධෛර්යසම්පන්න මව්වරු දකිද්දී මට මතක් වෙන්නෙම මගේ අම්මවයි. ඇය ඉතාම ධෛර්යසම්පන්න කාන්තාවක්. මම පවුලේ හතරවැනියා. ඔක්කොම දරුවන් හය දෙනයි. තාත්තගේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා යම්කිසි කාලයක් අපිට ආර්ථික දුෂ්කරතා එක්ක අපේ ජීවිත ගෙවන්න සිද්ධ වුණා. තට්ටු නිවාස ආශ්‍රිතව තමයි මගේ ළමා කාලය ගෙවුණේ. වත්තෙන් පොල් ටික ලැබෙන, කුඹුරෙන් හාල් ටික ලැබෙන කාලයක් ඒ කාලයේ අපිට තිබුණේ නැහැ. මම ඉගෙනගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. මට හොඳ ළමා කාලයක් තිබුණා. නාගරිකව හැදුණත් අපිට ජීවත් වෙන්න පුළුවන් සුන්දර කාලයක් ඒ කාලේ තිබුණා. නිවාඩු දවස්වලට උදේට එළියට බැහැලා සෙල්ලම් කරන්න පිට්ටනියට ගියාම ක්‍රිකට්, රගර්, ෆුට්බෝල් ගහලා, සරුංගල් ඇරලා ගෙදර එන්නේ දවල් දෙකට විතර. සමහරදාට දවල්ට කෑම කන්න ආවේ නැහැ කියලා තාත්තා ගේ ඇතුළට ගත්තු නැති දවස් තිබුණා. ඒ වගේ හරි අපූරු සුන්දර ළමා කාලයක් මට තිබුණා.
පුංචි කාලෙදී හීන දැක්කේ කවුරු වෙන්නද?
මම එහෙම විශේෂ හීනයක් තිබුණේ නැහැ. පුංචි කාලෙදී සරුංගලයක් උඩ ඇරලා ඒකත් එක්ක ගත කරන කාලය හරි සුන්දරයි. එතනින් එහාට ඩොක්ටර් කෙනෙක් වෙන හීනයක්, නළුවෙක් වෙන හීනයක් කවදාවත් තිබුණේ නැහැ. හැබැයි රොබින්හුඩ් බලද්දී අපි රොබින්හුඩ් බවට පත් වුණා. ගාමිණී ෆොන්සේකාගේ, විජය කුමාරණතුංගගේ ෆිල්ම් එකක් බලද්දී ඒ පෙම්වතා හෝ වීරයා බවට පත්වුණා. නමුත් කවදාවත් හීන තිබුණේ නැහැ.
ළමා කාලෙදී කළ දඩබ්බර සිදුවීමක් මතකද?
දඩබ්බර වැඩනම් ගොඩක් කරලා තියෙනවා. මට හිතෙන විදිහට මගේ ජීවිතේ කරපු ලොකුම දඩබ්බර වැඩේ තමයි සියලු දේවල් අතහැරලා නළුවෙක් වෙන්න කලා ක්ෂේත්‍රයට ආව එක. මගේ තාත්තා මම කලාවට සම්බන්ධ වෙනවට, නළුවෙක් වෙනවට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ කාලේ හැටියට අම්මගෙන් රුපියල් පනහක් ඉල්ලගෙන උදේ ගෙදරින් ඇවිත් සමහරදාට දවස් තුන හතරකින් තමයි මම ආයෙත් ගෙදර යන්නේ. මට අවුරුදු විස්ස විසි එකේදී තාත්තා මට ගැහුවා, හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් හැටියට මේ ක්ෂේත්‍රයට යන්න එපා කියලා තාත්තා මට අනන්තවත් කිව්වා.
පවුලේ කෙනෙක් සම්බන්ධ නොවුණු, තාත්තගෙන් අනන්තවත් දඬුවම් ලබපු මේ ක්ෂේත්‍රයට එන්න ජීවිතයේ හැරවුම වුණේ කොතනද?
නළුවෙක් වෙන්න හිතාගෙන මම කලාවට ආවේ නැහැ. ප්‍රවීණ නාට්‍යකරුවකු වුණු බුද්ධික දමයන්ත අපේ ගෙවල් පැත්තේ කෙනෙක්. ඔහු මට සොලමන් ෆොන්සේකා මහතාව හඳුන්වා දුන්නා. සොලමන් සර් තමයි කලාව පිළිබඳව, නළුවෙක් වීම පිළිබඳව විශාල ඇල්මක් වගේම ආසාව ඇති කළේ. පොත් කියවන්න, ජීවිතය පිළිබඳව බලන්න, දකින්න, මිනිස්සු පිළිබඳව අධ්‍යයනය කරන්න ආදී හැමදේම කියවන්න, ඉගෙන ගන්න පුළුවන් වුණෙත් සොලමන් සර් හරහායි. මගේ රංගන ජීවිතයේ පළමු කෙනා මගේ අම්මයි. දෙවැනි කෙනා සොලමන් සර්. මගේ ජීවිතේ හැරවුම වුණේ ඔහුයි.
ජීවිතේ ලබන ලොකුම අභියෝගය මොකක්ද?
මම ජීවිතේ ලබපු හැම දෙයක්ම අභියෝගයක්. නමුත් මම ඒවා අමාරු අභියෝග විදිහට හිතන්නේ නැහැ. මේ ටෙලිනාට්‍ය කරන එකත් රටේ දැන් පවතින තත්ත්වයත් එක්ක අපිට අභියෝගයක්. නමුත් ඒක අභියෝගයක්, ප්‍රශ්නයක් විදිහට බාරගන්නවට වඩා කරන්න ඕනෙ කළ යුතුයි කියලා හිතුවොත් අපිට ඒක අභියෝගයක් වෙන්නෙ නැහැ.
ජීවිතයට ලැබුණු ලොකුම දේ මොකක්ද?
මගේ ජීවිතයට ලැබුණු ලොකුම දේ ජීවිතය පිළිබඳ ඉගෙනගන්න ඕනෙ කියලා මට දැනුණු එකයි. මට මාව අවබෝධ කර ගන්න ඕනෙ කියලා දැනුණු මොහොත මට හරි වටිනවා. අපි මොන වෘත්තියේ හිටියත් ජීවිතය ගැන ඉගෙනගන්න මට දැනිච්ච මොහොත හරියට වටිනවා.
ජීවිතේ තවමත් නොලැබුණු, ආසාවෙන් තිබිලා අතහැරුණු දෙයක් තියෙනවද?
ඇත්තටම එහෙම දෙයක් නැහැ. ජීවිතය පිළිබඳව හරියට දැනගත්තු දවස මම මේ හැමදෙයක්ම අත්දැකීමක් විදිහට ගන්නවා මිසක් නොලැබුණු දෙයක් ගැන හිතන්නෙ නැහැ. ජීවිතේ ආපස්සට ගියාම මට හිතෙන්නේ ඒ හැමදේම එක්තරා සිදුවීම් පෙළක් කියලා විතරයි. අතීතයෙන් අද මම මෙහෙම ඉන්නවා. එතනින් එහාට ජීවිතය පවත්වාගෙන යන්න පවතින දේවල් ටිකක් කරනවා විතරයි. මේකෙ ඇතුළේ මට යම්කිසි භෞතික දේවල් ටිකක් ලැබෙනවා. හැබැයි මේ නොලැබෙන දේවල් සහ ලැබෙන දේවල් සම්බන්ධව මට උදම්ඇනීමක් ඇතිවෙන්නෙ නැහැ.
තමන්ගේ මහන්සියෙන් ජීවිතයට ලැබුණු මුල්ම මුදල මතකද?
ඔව්.. මට මතක හැටියට මට 1 වසරේ හෝ 2 වසරේ ඉද්දී මගේ අම්මා මාව ගුවන්විදුලියේ ගීතයක් ගායනා කරන්න එක්කගෙන ගියා. එදා මම ගායනා කළේ හින්චි පින්චි හාවා යද්දි තනිවෙලා කියන ගීතයයි. ඒ ගීතය ගායනා කරලා ඉවර වුණාට පස්සේ මට රුපියල් පහළොවක් ලැබුණා. මට තාම මතකයි ගුවන්විදුලියෙන් අම්මා මාව එක්කගෙන එද්දී මට ඒ සල්ලිවලින් කොළ පාට වතුර බෝතලයක් අරගෙන දුන්නා. ඒක මට තාම මතකයි.
ජීවිතේ මුල්ම වතාවට මධුවිතක් පානය කරපු කාලය මතකද?
ඔව් මතකයි.. ඉස්කෝලෙ O/L කරලා ඉවර වුණාට පස්සේ යාළුවෝ කට්ටියක් පොඩි පාටියක් දැම්මා. ඇත්තම කිව්වොත් එදා මට මුළු ලෝකයම කරකැවෙනවා වගේ දැනුණා. එදා මම හොඳටම කබරයා දැම්මා. එදා නම් මට හොඳටම වැදුණා.
ප්‍රථම ප්‍රේමය?
ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදිමයි. පළවෙනි වතාවට මම ගෑනු ළමයෙක්ට ආදරය කරන්න ඕනෙ කියලා හිතුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක මට එහෙම යාළුවෙන්න ඕන කියලා හිතෙන ගෑනු ළමයා එක්ක යාළුවෙන්න ලැබුණේ නැහැ. හැබැයි මම නොදැනුවත්ම එක්තරා මොහොතක එක්තරා ගෑනු ළමයෙක් මම එයා එක්ක යාළුයි කියලා එයාගේ යාළුවන්ට කියලා තිබුණා. අපි එකම ටියුෂන් පන්තියේ ඉගෙන ගත්තේ. ඒක මගේ යාළුවන්ටත් ආරංචි වුණා. හැමෝම මගෙනුත් ඇහුවා. එයා මම අවධානය යොමු කිරීම හරහා මම අපි අතරේ යම්කිසි ආදරයක් ඇතිවුණා. හැබැයි ඒක දීර්ඝකාලීනව තිබුණේ නැහැ. ඒ වෙද්දී එයා ලොකු ළමයෙක් වෙලා හිටියෙත් නැහැ. අපි යාළුවෙලා ඉන්න කාලෙදී එයා ලොකු ළමයෙක් වුණා. ඒ කාලේ අනිත් යාළුවන්ට සාපේක්ෂව මම පෙනුමෙන් පුංචියි. අර ගෑනු ළමයා ලොකු ළමයෙක් වෙලා ටික කාලයක් යද්දීම මටත් වඩා පෙනුමෙන් විශාල වුණා. ඒ නිසාම මාව අතහැරලා ඒ ළමයා අපේ පන්තියේම වෙන පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා.
දුලීකා මාරපනව මුණගැහුණේ කොහොමද?
මේ දවස්වල සක්මන් ඡායා කියලා ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. ඒක මීට අවුරුදු හතකට පමණ කලින් තමයි රූගත කිරීම් කළේ. ඊට කලින් දුලීකයි මමයි එකට මුණගැහිලා කතා කරලා තිබුණේ නැහැ. කොහොමහරි මේ නාට්‍යයේදී අපි දෙන්නා එකට වැඩ කරද්දී යාළුවෝ බවට පත්වුණා. අපි දෙන්නා නිතරම මුණගැහිලා කතා කරන්න පටන් ගත්තා. ඒ හරහා යම්කිසි කාල පරිච්ඡේදයකදී අප්‍රකාශිත ප්‍රේමයක් අපි අතරේ ගොඩනැගුණා. අපි මුණගැහිලා කතාබහ කළා. දීර්ඝකාලීනව ඒ කතාබහ ආදරයක් වුණා. මම හිතන විදිහට මම තාම I love you කියලා දුලීකාට කියලා නැහැ. නමුත් අපි දෙන්නා ආදරේ කරනවා.
දුලීකා එක්ක ගත කරන ජීවිතේ කොහොමද?
ඉතාම සුන්දරයි. මම හිතන විදිහට අපි දෙන්නම යම්කිසි විදිහේ කාල පරිච්ඡේදයක් දැන් ගත කරලා ඇවිත් ඉන්නේ. අපි මුණගැහෙද්දිත් ජීවිතේ පිළිබඳ සහ ලෝකය පිළිබඳ අපිට අවබෝධයක් තිබුණා. ඒ සියලු අත්දැකීම් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ අත්දැකීම් එක්ක ජීවිතය ගැන තේරුම් ගන්න දෙන්නම පෙළඹෙනවා. දෙන්නට දෙන්නා තියෙන අවබෝධයත් එක්ක අපිට ජීවත් වෙන්න පහසුයි. අපි දෙන්නා වැඩ කරගෙන යද්දී දුලීකා මට උදව් කරනවා. මම දුලීකාට උදව් කරනවා. විවෘත වෙලා වැඩ කරනවානම් එකට ජීවත් වෙනවානම් ජීවත් වෙන්න පහසුයි. ඒ පහසුව තමයි මේ ගත කරන්නේ. රෑගත කිරීමකදී වැඩ කරද්දීත් හැමෝම කියන්නෙත් දුලීකා අක්කා ඉන්නවානම් මරු* කියලනෙ. ඒ දේ ගේ ඇතුළෙදීත් මම උපරිමයෙන් විඳිනවා. ඇය ඉතාම හොඳ ගෘහණියක්. ඉතාම හොඳ බිරිඳක්.
සුජීවව බොහෝ දෙනා හඳුනන්නේ අධ්‍යක්ෂකවරයෙක් රංගන ශිල්පියෙක් කලාකරුවෙක් විදිහට. ඇත්තටම සුජීව ප්‍රියලාල් කියන්නෙ කවුද?
මම ඔය කියපු එක්කෙනෙක්වත් නෙමේ. ඒවා මම මේ ජීවිතේ පවතින්න කරන දේවල් විතරයි. මුලින් මට නළුවෙක් වෙන්න ඕන වුණා. මුලින් මට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕන වුණා. නමුත් ඒ තැනට ආවට පස්සේ මට ඒ ඇති. එතනින් එහාට මට ඔස්කා සම්මාන ගන්න, ජාත්‍යන්තරයට යන්න හීන නැහැ. දැන් මම බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. මම මේ මොහොතේ බොහොම සුන්දරව ජීවත් වෙන්න තමයි කැමති. ඒ පුංචි සතුට, ඒ සරලකම මම මේ මොහොතේ විඳිනවා.