2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

අත්හැරුණත් අත්නොහැරෙන ආදරයක්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

මරණය ඔයා නිර්වචනය කරන්නෙ කොයි විදිහටද? මම මරණය දකින්නෙ කෙළවර අනන්තයක රැඳුණු අවසානයක් විදිහට. සංසාරේ අපි කය අත්හරිමින් සිත පමණක් භවයෙන් භවය රැගෙන යන දුර ගමනක් විදිහට මම ජීවිතය දකිනවා. 
කය කියන්නෙ භෞතිකයක්... ඒ ‍භෞතිකය කවදා හරි මරණයට පත්වෙනවා... ඒක නියත ධර්මයක්.. ඒත් සිත කියන්නෙ භෞතිකයක් නෙවෙයි... ඒ නිසා භෞතික රෑපකාය මරණයට පත්වන විට සිත ඒ රූපකායෙන් නිදහස්ව ඊළඟ භවය වෙත ගමන් කරනවා...

භවය කියන්නේ මොහොතට අවස්ථාවට. පුනර්භවය කියන්නෙ ඊළඟ මොහොතට. ඊළඟ අවස්ථාවට.. කයෙන් නිදහස් වෙන හිත ඊළඟ මොහොත ඊළඟ අවස්ථාව හොයාගෙන යනවා. ඒ යන ගමනෙදි තමන් නැවතිය යුතු තැන තීරණය කරන්නෙත් ඒ සිත.. කුසල අකුසල ධර්ම ඒ නවාතැන තීරණය කරන අයිතිය තමන් සතුකර ගන්නවා.. මරණය සහ මරණයෙන් ඉනික්බිති පැවැත්ම මම දකින්නෙ සහ කියවන්නෙ ඒ විදිහට...

රෑපකායෙන් නිදහස් වුණත් හිතේ ගැඹුරේම රැඳුණු මතක ඒ හිත ලේසියෙන් අත්හරින්නෙ නෑ. ඒ සමහර මතක ඊළඟ භවය වෙතත් රුගෙන යනවා.. සමහරවිට ඊළඟ භවය තෙක් ජීවිතයේ පැවති මහා ගැඹුරැ බැඳීම් අත්නොහැර ඒ හිත කොතනක හරි රැඳී ඉන්න පුළුවන්. ඒත් භෞතිකයෙන් වියුක්ත දෑ පියවි ඇහැට රෑප විදිහට හමුවන්නෙ නැහැ.

Saaya හින්දී සිනමා සිත්තම කතා කරන්නෙත් මරණයෙන් ඉනික්බිතිත් අත්නොහැර යන එහෙම බැඳීමක් ගැන... ඔහු වෛද්‍යවරයෙක්... ඔහුගේ බිරිඳ මායා ඔහුට අහිමිවෙද්දී ඇය දරැවෙක් කුස දරාගෙන හිටිය අම්මා කෙනෙක්... ඇය අහිමි වෙද්දී ඇය හිටියේ ඔහුට හුඟාක් දුරකින්... මිය යද්දී ඇය ඉන්නේ ගෝත්‍රික ජන කොටසකගේ රැකවරණය ලබමින්... කොච්චර දුරින් හිටියත් ආකාශ් සහ මායා ආධ්‍යාත්මිකව ඒ බැඳීමෙන් එක මොහොතකටවත් මිඳෙන්නේ නැහැ... අවසානයේ මායාට ජීවිතය හැර දමා යන්න සිදුවූ පුවත පමණයි ඔහු අසන්නේ...

එදා සිට ඔහු ජීවිතය සහ මරණය ගැන සිහිපත් කරනවා.. මායා තමන් සමඟ ගැවසෙන බවක් ඇයට දැනෙනවා. ඇගේ අවසාන මොහොතේ විඳි කටුක අත්දැකීම් ඔහු විඳින බවට ඔහුට දැනෙන්න ගන්නවා...
වරක් ඔහු මායාට අඬගසනවා ඔහු සමඟ කතා කරන්න එන්න කියලා... ආකාශ් නොඑන බව දැන දැනම මායාව හැමතැනකම හොයනවා.. අන්තිමේදි ඔහු ඇය මරණයට පත්වූ ඒ පුංචි ගෝත්‍රික ගම්මානය හොයාගෙන යනවා.. ලස්සනම එහෙත් වේදනාකාරීම රහසක් ඔහු දැනගන්නෙ අන්න ඒ ගමනේදී... මායා මියගිහින් තියෙන්නේ ඔවුන්ගේ ආදරයේ වටිනාම මතකය ලෝකයට ඉතුරැ කරමින්.. මරණයට පෙර ඇය කුස දරා උන් සිඟිත්තියව ලෝකයට දීලා ගිහින්.. ගෝත්‍රික මව්වරුන් තුරුල්ලේ ඇය පුංචි තොටිල්ලක සැතපී හිඳිනවා.

ජීවිතය කියන්නෙ ව්‍යාකරණයක් නැති භාෂාවක් වගේ. සමහර වෙලාවට ආදරණීයම හිමිකම් ජීවිතය ප්‍රදානය කරන්නේ අහිමිවීම් තව හුඟාක් එක්ක... ආකාශ් ඒ මොහොතේ විඳින්නෙත් ඒ යථාර්ථය..
කවදාවත් කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය කරන තාක් මට හිතෙන්නේ කෙනෙක්ගේ හදවත වේදනාවෙන් වියුක්තයි. සදාකාලික සැනසීමකින් යුක්තයි. වේදනාව උපදින්නේම බලාපොරොත්තුව තුළ. බලාපොරොත්තුව බැඳෙන්නෙම බන්ධනයක් තුළ.. ඇයි අපිට කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් ඉල්ලා නොහිටින්න බැරි.. ඉල්ලා සිටීමේ වේදනාව තේරැම් ගන්න ලැබෙන්නේ ඉල්ලා සිටීම් මඟහැරීම් හෝ නොලැබීම් බවට පත් වූ මොහොතක කියලයි මට හිතෙන්නේ.
ආදරය සහ බැඳීම් කියන මනෝ භාවයන් ළඟ නොරිදුණු හිතක් සහ නොරිදවා ගත් හිතක් මේ සංසාරයේ කොතැනකදිවත් අපිට මුණගැසෙන්නෙ නැහැ... ඒ තමයි ආදරයේ සහ බන්ධනයේ ස්වභාවය.. ඒත් කොච්චර හිත් රිදුණත් යළි යළිත් ආදරය නොසොයන්නේ අපි කවුද? බැඳීම් තුළම ආශක්ත නොවන්නේ අපි කවුද? වේදනාවක් බව දැන දැනම අපි වේදනාවන් ජීවිතය වෙනුවෙන් ජීවිතයට හුස්මක් දීම වෙනුවෙන් ජීවිතයට ඈඳා ගන්නවා... ඒ තමා සංසාරයෙන් සංසාරයට ගමන් කරන සිතේ ස්වභාවය...

ජීවිතය කියන්නෙ කටු අත්තක්. අපි සැමදාම ඒ කටු අත්තේ මලක් ලෙස පෙති දිග නොහරින පොහොට්ටුවක් හරි පිපෙනතුරු බලාගෙන ඉන්නවා.. ජීවිතය කියන්නෙ ඒ කටු අත්තෙ මල් පූදන එකට. ඒ කටු අත්ත කොළ දලුවලින් සරසන එකට.. කොතනකදිවත් දුෂ්කරයි කියා හැර දමන්න විදිහක් නැහැ අපට ජීවිතය.. ඒ තමා ජීවිතය හමුවෙන තැන.. ජීවිතය දෝතට අරගෙන විඳින්න ඉඩහසර ලැබෙන තැන.. 

ආකාශ් ජීවිතය හොයාගෙන යන්නෙත් ඒ වගේ රළු පරලු පාරක් මැද්දෙන්.. ඔහුගේ ජීවිතයේ සිදු වූ ලොකුම ඛේදවාචකය තමා ආදරය ගිලිහී යාම.. එහෙත් සංසාර ගමන මහ පුදුමාකාර දෙයක්.. සිරුරෙන් නික්මෙන හිත ජීවිත ගමනේ ඇතැම් බැඳීම් ගැන මතක හිත යට හංඟාගෙන සංසාරෙත් යළි යළිත් ඒ මතක එක්ක ඒ බැඳීම් හොයාගෙන යනවා.. ජීවිතේ අපිට හමුවෙන කවුරුත් අමුත්තන් නෙවෙයි.. හැබැයි වෙනසක් තියෙනවා.. ආදරය කළ උන් සේම අනාදරයෙන් හමු වූ අයත් මේ සංසාර ගමනෙදි හමුවෙනවා.