මෙවර තනිකඩයා විශේෂාංගය තුළින් අප මුණගැසෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේය.
• ඔබ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ කාටද?
මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ මගේ අප්පච්චිට. ඒකට හේතුවක් තියෙනවා. මම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මගෙ අප්පච්චිගෙන්. ඔහු ඉතාම ගුණගරුක, නීති ගරුක, සමාජ අවබෝධයක් තිබුණු කෙළෙහිගුණ දන්නා කෙනෙක්. මගේ අම්මිට මම ආදරේ නැතුව නෙවෙයි. ඒත් මම ජීවිතේට ගොඩාක් දේවල් අරගත්තෙ අප්පච්චිගෙ මාවත දිගේ ගිහින්.
• සනෝජා බිබිලේට ඔබ ආදරේ කරන්නෙ නැද්ද?
ජීවිතේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ අපි ආදරේ කරන අය දිහා බලලා. අපි අපිටම ආදරේ කරලා අපි විදිහට ඉන්න ගියොත් වෙනස් වෙන්න හරි අමාරුයි. වැඩියෙන්ම ආදරේ අප්පච්චිට. දෙවන ස්ථානයට තමයි සනෝජා බිබිලේ එන්නෙ. සනෝජා කියන කෙනාත් කවද හරි දවසක දිරාපත්වෙලා යන කුණු කයක්නෙ. මම මට ආදරේ නොකරන්න ඒකත් එක හේතුවක්.
• ඔබ ආදරෙන් පැරදිලා තියෙනවද?
ඔව්.
• තනිකඩව, අවිවාහකව ඉන්න හේතුවත් ඒකද?
නැහැ. තනිකඩව ඉන්න ඒක නෙවෙයි හේතුව. මම ආදරේට පුදුමාකාර විදිහට ආදරේ කරන කෙනෙක්. ආදරය කියන අකුරු හතර සෙල්ලමට ගත්තෙ නැති කෙනෙක්. හැබැයි ඒ ආදරය ඇතුලෙ හැල හැප්පීම්, නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒත් ඒවා විඳ දරාගනිමින් ඉදිරියට යාම තුළ තමයි සැබෑ ආදරය තියෙන්නෙ. එහෙම ජීවිත හොයාගන්න හරි අමාරුයි. මට හම්බවෙච්ච ගොඩාක් අය බලාපොරොත්තු වුණේ ඒ ගොල්ලන්ගෙ ජීවිත මා තුළින් සම්පූර්ණ කරගන්න. ගැහැනියක් හැටියට මට ඕනෙ වුණේ තව කෙනෙකුගෙ හව්හරණක්, රුකවරණයක්. මාව ආදරෙන් බලාගන්න කෙනෙක්.
• විවාහ නොවී ඉන්න එකම හේතුව ඒකද?
නැහැ. මම තනියම කල්පනා කළා, අපි වටා කොච්චර අය හිටියත්, නෑදෑයො හිටියත් අපිට ඒ ගොල්ලො ශක්තියක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. මට ඉන්නෙ අම්මියි, අප්පච්චියි, නංගියි, අයියයි, අක්කයි. සැපතෙදි අපි වටේ සෑහෙන්න පිරිසක් හිටියට, දුකක් වෙනකොට කවුරුත් නැහැ, මගේ පවුලේ අය හැර. මට ඉන්නවා අසනීප නංගි කෙනෙක්. එයා මගේ නිවුන් සහෝදරිය. මගේ මව්පියො හැමදාම ජීවත් වෙන්නෙ නැහැ. ඒ ගොල්ලො නැති කාලෙක කවුද මේ නංගිව බලාගන්නෙ? අයියා ලංකාවෙ නැහැ. මම කවද හරි විවාහවෙලා ගියොත් ලංකාවෙ ජීවත් වෙන්න නැහැ කියන එක ස්ථීරයි. ලංකාවෙ හිටියොත් මගේ මනුස්සයා අසනීප නංගිව තියාගන්න අකමැති වෙයි. කසාද බැඳලා දරුවො හැදුවම අපි හිතනවා කවදහරි ඒ ගොල්ලො අපිව බලාගනී කියලා. ඒත් ඒ පින හැමෝටම ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මම මගේ මුළු ජීවිතේම නංගි වෙනුවෙන් කැපකරන්න ඕනෙ කියලා තිරණය කළා.
• බැඳීම් කියන්නෙ දුකක් කියලා ඔබට වැටහිලා තියෙනවද?
ඇත්තටම දුකක් තමයි. අපි ජීවිතේ බැඳීම් ඇති කරගත්තොත්, බැඳීම්වලට වහල් වුණොත්, ඒ මත්තෙම නැහෙන්න ගියොත් ඒක දුකක්. බැඳීම් තියෙන්න ඕනෙ යම්කිසි සීමාවකට. මේ ජීවිතය අනිත්‍යයි. අපිට කවද හරි මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අසූ ගණන්වල මම Miss Asia රෑ රුජන තේරීමේ තරගයෙන් හතරවෙනි තැන දිනලා ලන්ඩන් නුවරින් ලංකාවට ආවම මගේ මුලු ගෙදරම සුද්ධ කරලා. මට ඉතුරු වුණේ මං ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. මම ආසාවෙන් එකතු කරපු ගේ දොර විදුලි උපකරණ සේම හොරු අරන් ගියා. කොට්ට උර පවා. බඩු ටික දාගෙන ගිහින් තිබුණෙ කොට්ට උරවල. ඊට පස්සෙ මගේ අම්මා අක්කට දෙන්න දීපු ලක්ෂ 37ක රත්තරන් බඩු හොරකම් කළා. මේ දේවල් නිසා මගේ ජීවිතේ ආසාවල්, බැඳීම් සේරම අයින් කරගත්තා. මම මැරෙන්න ගිහින් බේරිලා තියෙනවා කීපවතාවක්ම. මගේ කාර් එක කෝච්චියකට හැප්පිලත් තියෙනවා. මට දැන් හැම වේදනාවක්ම දරාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා.
• ලෙඩක් දුකක් හැදුණොත් ඔබ ළඟින් ඉන්න කෙනෙක් නැති එක ගැන දුකක් දැනිලා නැද්ද?
මට ලෙඩ දුක් හැදිලා තියෙනවා තනියම ඉද්දි. එහෙම වෙලාවට කොහොමද මම වාහනේ එළවගෙන ඉස්පිරිතාලෙට යන්නෙ කියලා හිතිලා තියෙනවා. ඒත් ඒ වෙලාවට මට ඒක කොහොම හරි විසඳෙනවා. විශ්වයේ බලය ගැන, සොබාදහම ගැන මම ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. අද වෙනකම් මට ලොකු යාළුකම් තියෙන අය ඉඳලා නැහැ. මට ආදරේ කරන්න කෙනෙක් නැහැ. මට ආදරේ කරන්නෙ මගේ අක්කයි, නංගියි විතරයි. ඒත් මම අනිත් අයට ගොඩාක් ආදරේ කරනවා. උදව් කරනවා.
• අපේ රටේ අවිවාහකව ඉන්න ගෑනු ළමයෙක් දිහා සමාජය බලන විදිහ ගැන ඔබ මොනවද හිතන්නෙ?
අපි නියැලිලා ඉන්න ක්ෂේත්‍රයට අනුව අපිට විවිධ මිතුරු මිතුරියන්, විවිධ අය ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු අපි දිහා බලන විදිහ හරි වෙනස්. හැබැයි මම ඒවා ගණන් ගන්නෙ නැහැ. මම හරි දේ කරනව නම් මොකටද බය වෙන්නෙ? මම ගරු කරන්නෙ, මම බයවෙන්නෙ මේ රටේ නීතියට විතරයි.
• හිතමුකො ඔබට ඉදිරියේදී හොඳ කෙනෙකුගෙන් විවාහ යෝජනාවක් එනවා කියලා. ඔබ මොනවද කරන්නෙ?
මගේ නංගිවත් බලාගන්න කැමති හොඳ කෙනෙක් කවද හරි හමුවුණොත් ඒ ගැන සලකලා බලනවා. එයාව දේවත්වයෙන් සලකනවා. ආදරේ කියන අකුරු හතරට ගරු කරලා. ඒත් ආදරය හඳුනන ඒ වගේ පුද්ගලයෙක් මට මේ වෙනකම් හම්බවෙලා නැහැ.
• විවාහ ගැන ඔබේ කේන්දරේ මොනවද කියලා තියෙන්නෙ?
මම විවාහ වෙන්නෙ වයස ගොඩාක් පහුවුණාට පස්සෙ කියලා තමයි කේන්දරේ තියෙන්නෙ. ඒ විවාහය විතරමලු. හැබැයි මගේ හිතට අල්ලන හොඳ කෙනෙක් හම්බවුණේ නැත්නම් මම විවාහ වෙන්නෙ නැහැලු. විවාහය කොහොමත් තරුණ වයසෙදි සිද්ධ වෙන්නෙ නැහැ කියලා තියෙනවා. හැබැයි මගේ ජීවිතේ අවසාන කාලෙ මම මෙහෙනි සස්නෙට යනවා කියලත් කේන්දරේ තියෙනවා.