2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ප්‍රබුද්ධ කියන වචනෙත් මට අප්පිරියයි

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

හුඟක් සංවේදී, භාව පූර්ණ සුන්දර කලා නිර්මාණ අපිට හමුවෙනවා. සමහරවිට ඒ කලා කෘතිය තුළ ඇති ඒ සොඳුරු අර්ථ අපි ඒ කලා කෘතියේ අයිතිකාරයා නැත්නම් කලාකරුවා තුළ හොයන්න මහන්සි වෙනවා. එහෙත් කලා නිර්මාණ තරම් සුන්දර හදවත් ඇති කලාවේදීන් හමුවීම විරල අහම්බයක් කියලා මම විශ්වාස කරනවා. රෝහණ බෝගොඩ කියන පරිණත ගායනවේදියා, සංගීතවේදියා ඒ විරල අහම්බ ගුණයෙන් පිරිපුන් එක් කලාවේදියෙක් ලෙසයි මම දකින්නේ. මම කියවන්නේ. මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්න ඔහුට ඇරියුම් කළේ ඔහු හා මගේ මිත්‍රත්වයෙන් එහාට කලාවේදියෙක් ලෙස මා ඔහුට දක්වන කැමැත්ත හා ගරුත්වය නිසාමයි.

මගේ නොවන මගේම ගීතය විදිහට ඔබ තෝරන ගීතය කුමක්ද?
අපි ජීවත් කරවන්නේ ආදරය හා ප්‍රේමය විසින් කියලා මට විශ්වාස කරනවා. මේ ලෝකය පවතින පාදම ආදරය සහ ප්‍රේමය, මෛත්‍රිය, කරුණාව, දයාව බවත් මම විශ්වාස කරනවා. අසම්මතයේ ප්‍රේමයක මහා ගැඹුරක් දනවන චන්ද්‍රසේන රන්නේ ලියූ වික්ටර් රත්නායක සංගීතවත් කර ගැයූ    ජීවිතේ තුරුණු වසන්තේ කියන ගීතය.

මේ ගීතය නිර්මාණය වීමේ ප්‍රස්තුතය ගැන අපි කතා කරමු?
ඔව්.. රැකියාවට යන්න කෙනෙක් කොළඹ නිවසක නවතිනවා. ඔහු විවාහකයෙක්. මේ ගෙදර ස්වාමියා මහාචාර්යවරයෙක් වගේ පොත පත කෙරේ නැඹුරු වූ ශාස්ත්‍රීය පැත්තට බර පුද්ගලයෙක්. ඔහු බිරිඳට භෞතිකව යුතුකම් ඉටුකළාට ඇයට අවැසි ආදරය රැකවරණය ජීවිතයට හරි දුරස්ථයි. මේ ගෙදර නැවතුණු තරුණයා මේ ගැහැනියගේ කඩාවැටුණු මානසික ඉරණම දිහා බලන විදිහ තමා ගීතයෙන් කියන්නේ.

සිතක් කයක් නැති
ලියතඹරා මල
අවදි කරයි නම් තවුසා දැහැනින්
බිඳුමට මුනිවත ඔහු රකිනා
ඔබට නොහැකි කිමදෝ

හිමාලයේ වෙසෙන තවුස්දම් රකින තවුසකුගේ දැහැන බිඳින්නට ලියතඹරා මලකට හැකිනම් සිතක් කයක් ඇති නුඹට බැරි ඇයි ඔබේ ස්වාමියාගේ මුනිවත බිඳින්න.
මේ ගීතයේ එක් තැනෙක කියනවා ඔබේ ඔය සසල දෑසින් මගේ හිත අවදි කරන්න උත්සාහ කරන්න එපා. මගේ අතේ රැඳුණු මඟුල් මුදුව ඔබ දුටුවේ නැද්ද? එහෙම ප්‍රශ්න කිරීමක් මේ ගීතය ඇතුළේ තියෙනවා.

ඔබ මේ ගීතය ඇතුළේ ජීවත් වෙන්නේ ශ්‍රාවකයෙක් විදිහට රසවිඳින්නෙක් විදිහට. ඒ රසවින්දනය තුළ ඔබ මේ ගීතය තුළ විඳින්නේ කවර රසයක්ද? 
මම මේ ගීතය දකින්නේ අපේ රටේ ගී පද රචකයන්ට අසු නොවූ ප්‍රස්තුතයක් ඔස්සේ ලියැවුණු ගීතයක් විදිහට. 
හරිම සරල සාහිත්‍යමය පද මාලාවකින් ගැඹුරු ප්‍රස්තුතයක් ගැන කතා කරන ගීයක් මේ. මම මේ ගීතය රසවිඳින්න මුල්ම හේතුව ඒ ගීතයේ ප්‍රස්තුතය. ඊළඟ හේතුව වික්ටර් අයියා ගීතයට යොදා ඇති තනුව. මේ ගීතයේ එන මේ ඛේදවාචකය දකින කෙනා ඔහුගේ බිරිඳට දක්වන ආදරය සහ ඔහු තුළ වන සංයමය සංගීතය තුළින් පිළිබිඹු වෙනවා. ගී පදවලට උචිතම සංගීතයක් යොදාගෙන තියෙනවා. අවශ්‍යම සංගීත භාණ්ඩ ඇසුරින් නගන සංධ්වනිය ඔස්සේ දැඩි ප්‍රකම්පනයක් දැනෙන විදිහටයි සංගීතය නිර්මාණය කර තියෙන්නේ. ගැහැනියක් හොයන ආදරය, තමන්ගේ ස්වාමියාගෙන් නොලැබෙන ආදරය සොයන ගැහැනියකගේ සහකම්පනය සහ ආදරය සියල්ල සංගීතය තුළින් විස්මිත අයුරින් දිගහරිනවා... 

මේ ගීතය අහද්දී ඔබේ පපුවේ වම් පැත්තට වැඩියෙන්ම ඇහුණු තැනක් තියෙනවද?
ඔබ අහන්නේ මගේ හදවතට වැඩියෙන්ම දැනුණු තැන ගැන...
සසල ඔබේ දඟ දිගු නෙතු සඟලින්
උමතු නොකළ මැන සිතුවිලි සළෙලුන්
උඹගේ ඔය කතා කරන ඇස්වලින් මගේ හිතුවිලි අවුස්සන්න එපා.. නුඹ දුටුවේ නැද්ද මගේ අතේ ඇති මේ මඟුල් මුදුව.. අන්න ඒ ටික මගේ පපුවටම වැදුණා සහ දැනුණා. 

පිරිමියෙකුට සුන්දර ආදරණීය බිරිඳක් හමුවෙන්නේ හුඟාක් කලාතුරකින්. හැම කෙනෙකුටම සුන්දර බිරිඳක් හමුවෙන්නෙ නෑ. ඒත් මම ඔබේ මිත්‍රයෙක් විදිහට මට දැනුණු දෙයක් තමයි ඔබට සුන්දර ආදරණීය බිරිඳක් හමුවී තියෙනවා කියන එක. මේ ගීතය ගැන ඔබ ඇය එක්ක කතා කර තියෙනවද?
ඔව්.. ඔබ කීව දේ අනිවාර් යෙන්ම සත්‍යයක්. මම ප්‍රාර්ථනා කරන්නේ මම තව භව කොච්චර ගණනක ඉපදුණත් ඒ හැම භවයකම ඇය මගේ බිරිඳ වෙන්න කියලා. මම ඕනෑ තරම් ඇය සමඟ ගීත ගැන වගේම මේ ගීතය ගැනත් කතා කර තියෙනවා. මගේ අතින් ගීතයක් ගැන කතා කරද්දි වචනයක් වැරදුණත් එය නිවැරදි කරන්නෙ ඇය. ජීවිතයේ මම රසවිඳින සියල්ල ඇය සමඟ බෙදා හදා ගන්නවා.

ඔබ ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක්. මේ ගීතයේ එන බෝඩිම්කාරයාට තිබුණු බෝඩිම්කාර ජීවිතයක අත්දැකීම ඔබ ඇත්තටම විඳලා නැද්ද?
මම හරිම ආසයි ඔය බෝඩිම්කාර ජීවිතයට. ඒත් මට කවදාවත් බෝඩිමක ඉන්න ලැබුණෙ නෑ. ගමේ ඉඳන් මම ආවේ මගේ අක්කලාගේ ගෙදරට. පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යාස විද්‍යාලයේ ඉන්න කාලේ ඒ බෝඩිමේ හිටියේ මම වගේම නසරානියෝ ටිකක්. එතන තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිය හා දරදඬුකම විතරයි. ඇත්තටම සුන්දර බෝඩිමක ඉන්න මට වාසනාව ලැබුණෙ නෑ.

සමාජයේ ජීවත් වෙද්දි මේ ගීතයේ කියන අදහසට සමාන අදහසක් ඇතිවුණු තැනක් නැද්ද ඔයාට?
අපෝ දැනුණු තැන් ඕනෑ තරම් තියෙනවා. අතීතයේ විතරක් නෙමෙයි වර්තමානයේත් දැනිච්ච තැන් තියෙනවා. මට අවුරුදු හැට පහක් වුණත් හුඟක් බාල වියේ තරුණියන්ගෙන් පවා ආදරණීය ආකර්ෂණයක් ලැබෙනවා. 

එය අසම්මතයි කියලා හැඟෙනවාද ඔබට?
අනිවාර් යෙන්ම හැඟෙනවා.

මේ හැඟීම් ඇයි ඔබ අසම්මතයි කියලා හිතන්නේ. ස්වභාවික මානවීය අවශ්‍යතාවන් ලෙස නොදකින්නේ ඇයි මේ හැඟීම්?
මම දෙන්නම් මෙහෙම උත්තරයක්. අසම්මතය තමයි රස. බුද්ධ ධර්මය තුළ වුණත් කතා කරනවා අත්හැරීම ගැන. ඒත් ජීවිතයේ අත්හරින්න බැරි තැන් තියෙනවා සහ හමුවෙනවා අපට. පෘථග්ජන මනුෂ්‍යයන් විදිහට, මහණදම් නොපිරෑ මිනිසුන් විදිහට අත්හරින්න බැරි තැන් ජීවිතයේ තියෙනවා. සංගීතයත් සමඟ ඇති ආත්මීය බැඳීම තුළ කලාකරුවන් ලෙස ඇති සංවේදීත්වය තුළ ජීවිතයේ මිදෙන්න බැරි එහෙම තැන් නැතුව නෙමෙයි. අපට දරුණුවෙලා තීරණ ගන්න බෑ ඒ සංවේදීත්වය තුළ.

රෝහණ බෝගොඩට කියලා ගීතයක් කියවගන්න කැමති ගී පද රචකයන් හුඟ දෙනෙක් ඇති. මේ වගේ විරල ප්‍රස්තුතයක් සහිත ගීතයක් ලැබුණොත් ඔබ ගයන්න කැමතිද?
මගේ වෘත්තිය තුළ මම ගායන ශිල්පියෙක් නම් වෙසඟනක් වගේ තමා මගේ චරිතය. මට දෙන ඕනෑම ගීතයක් මම අභියෝගයක් ලෙස බාරගෙන ගායනා කරනවා.

ඕනෑම ගීයක් ගයනවා කියන එක ඔබ වගේ පරිණත ගායකයකු ප්‍රකාශ කිරීම සාධාරණද?
මම අදහස් කරන්නේ නව පරපුරේ ගීත රචකයෙක් අතින් ලියැවුණත් මට හොඳයි කියලා හිතුණොත් මම ගයනවා. මම තමා බය නැතුව අසම්මත ප්‍රේමය ගැන පළමු ගීතය ගැයූ ලංකාවේ ගායකයා.

ඇයි ඔබ සම්භාව්‍ය ශාස්ත්‍රීය මට්ටමේ ගීත වෙනුවට ආදර ගීතම තෝරාගන්නේ කියලා කෙනෙක් චෝදනා කළොත් මොකද්ද ඔබේ උත්තරය?
මම ඒක පිළිගන්නවා. මට ඒක ඕන තරම් දැනිලත් තියෙනවා. ඇත්තටම ඔය ප්‍රබුද්ධ කියන චරිතවලට මම එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ප්‍රබුද්ධ කියන වචනයත් මම හරියට අප්‍රිය කරනවා. ප්‍රබුද්ධ කියන අය හිතනවා සුභාවිත ගීතය එයාලට විතරක් අයිති දෙයක් කියලා. ගීත රචකයොත් අපේ රටේ ඉන්නවා, ඒ අය ආශ්‍රය කරන්නෙත් සුභාවිත ගී ගයන ගායක ගායිකාවන් විතරයි. ඒ අය ගීත ලියන්නෙත් ඒ අයට විතරයි. මම ඊට විරුද්ධයි. 

කටුනේරියේ පියතුමෙක් මට පසුගිය කාලයේ කතා කරලා කීවා මම සමාධි පිළිමය ගැන බෞද්ධ ගීයක් ලීවා. එය ඔබතුමාගේ කටහඬින් අහන්න මම ආසයි. ඔබ ගයන නෙතින් නෙත බලා ගීතයේ කටහඬට මම හරිම ප්‍රිය කරනවා. එතුමාට ඕනෑ නෙතින් නෙත බලා ගැයූ කටහඬින් මේ ගීතය අහන්න. මගෙන් ඒ ගීය ගයන්න අය කිරීම කොච්චරද ඇහුවා. මම කීවා ෆාදර් ඔබතුමා බුදුන් වහන්සේ ගැන ගීයක් ලියුවම මම ඒකට මුදලක් අය කරන්නෙ කොහොමද කියලා. මට සත පහක්වත් එපා. මම ඇවිත් ගීතය ගායනා කරන්නම්. ඔබතුමා මම යන එන වාහනයේ ගාස්තුව විතරක් ගෙවන්න කියලා. සංගීතය කළේ කවුද කියලවත් මම හෙව්වේ නෑ. හරිම ලස්සන ගීයක්. මම ආසාවෙන් එය ගැයුවා. ප්‍රබුද්ධ ද සුප්‍රබුද්ධ ද මට ඕවා අදාළ නෑ.