මේ සති අන්තයේ My pet ගැන සුන්දර කතාබහකට අපිත් සමඟ එකතු වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ තමයි ඔබ අප කවුරුත් දන්න සේමිණී ඉද්දමල්ගොඩ.
ඔබේ සුරතලා කවුද?
මගේ ළඟ දැනට ඉන්නේ බව්වෝ බබාලා දෙන්නෙක්.
ඇයි ඔබ බල්ලන්ට විතරක් කැමති?
එහෙම විශේෂ හේතුවක් නෑ. හැබැයි මම බල්ලන්ට තමයි කැමති. මගේ මහත්තයානම් මාළු හුරතලයට ඇතිකරනවා. හැබැයි මම වැඩියෙන් ආස බව්වන්ට.
සේමිණී.. ඔබගේ සුරතලුන්ගේ සුරතල් නම් මොනවද?
මේ දෙන්නාගෙන් ලොකු කෙනා ෂැම්පේන්. එයාගේ පැටියා බොරිස්.
ඔබට විශේෂ හේතුවක් තියෙනවද ඔබේ සුරතලුන්ට ෂැම්පේන් සහ බොරිස් කියලා නම් දාන්න?
එහෙම විශේෂ හේතුවක් නෑ. අපේ දුව තමයි මේ සුරතල් නම් මේ දෙන්නට දැම්මේ.
බොරිස් සහ ෂැම්පේන් දෙන්නාගෙන් ඔබ වැඩි ආදරයක් දක්වන කෙනෙක් ඉන්නවද?
මම දෙන්නාටම එක වගේ ආදරෙයි. හැබැයි ෂැම්පේන් තමයි අපේ පවුලට මුලින්ම එකතු වුණේ. ඒ නිසා පොඩ්ඩක් එයාට වැඩිපුර ආදරයක් දක්වනවා.
ඔබගේ පවුලට කොහොමද මේ දෙන්නා එකතු වෙන්නෙ?
මගේ දුවට ඕනෙ කියලා තමයි මුලින්ම අපි ෂැම්පේන්ව ගත්තේ. ඊටපස්සේ ෂැම්පේන් පැටව් දැම්මා. ඒ දාපු පැටවුන්ගේ එක්කෙනෙක් තමයි බොරිස්. එහෙම තමයි මෙයාලා දෙන්නා අපේ පවුලට එකතු වුණේ.
සේමිණී.. අපි ආසයි දැනගන්න මේ දෙන්නාගේ වතගොත?
මේ දෙන්නාම පග් වර්ගයේ සතුන් දෙන්නෙක්. ලොකු එක්කෙනාට දැන් වයස අවුරුදු දෙකක් විතර ඇති. පොඩි කෙනාට දැන් මාස අටක් විතර ඇති. මේ දෙන්නාම අපේ පවුලේ අය වගේ තමයි ඉන්නේ. මම එහෙම කිව්වේ මේ දෙන්නා නිදාගන්නේ මගේ කාමරයේ අපිත් එක්කමයි. ඒ තරම් අපි මේ දෙන්නාට ආදරෙයි.
බොරිස් සහ ෂැම්පේන් කරපු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවන සිදුවීම්නම් ගොඩක් තියෙනවා. මෙයාලාට සෙරෙප්පු පේන්න බෑ. ඒවා ලස්සන ලස්සන ඩිසයින්වලට හපලා දානවා. තව නරක පුරුද්දක් තියෙනවා. මෙයාලා දෙන්නාගෙන් කවුරුහරි කෙනෙක් ගේ ඇතුළ අපිරිසිදු කරලා අනිත් කෙනාව අහුකරන්න එයාගේ සෙල්ලම් බඩුවක් එතන දමලා එනවා. ඔන්න ඔය වගේ සිදුවීම් ගොඩක් තියෙනවා.
සේමිණී.. ඔබ සුරතලයට ඇතිකරන්න කැමති හොඳ වර්ගයේ සතුන් විතරද?
එහෙම දෙයක් නෑ. මම හැමෝටම එක වගේ ආදරෙයි. මගේ යාළුවෝ ළඟ ඉන්නවා සාමාන්‍ය වර්ගයේ බල්ලෝ. මම එයාලටත් ආදරෙයි. තව දෙයක් තමයි මම කොහේ හරි යනකොට එනකොට අසරණ බල්ලෙක් දැක්කොත් මම එයාලට කෑම බීමත් දෙනවා. එයාලටත් මම ආදරේ කරනවා.
ඔබගේ සුරතලුන්ගේ උපන්දින එහෙම ඔබ සමරනවද?
තාම එහෙම දේවල් කරලා නෑ. හැබැයි අපි මේ පාරනම් හිතාගෙන ඉන්නේ. ෂැම්පේන් පැටව් හය දෙනෙක් දැම්මා. ඒ කට්ටියම එකතු කරලා උපන්දිනය සමරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මේ දෙන්නට කලින් මම ගාව තව බව්වෙක් හිටියා. එයා දැන් නැතිවෙලා. අපි එයා වෙනුවෙන් පාංශකූලය දීලා දානයක් එහෙම දුන්නා.
සේමිණී.. ඔබට තියෙන වැඩ රාජකාරිත් එක්ක කොහොමද ඔබ මේ දෙන්නා ගැන සොයා බලන්නෙ?
මම ලොකුවට කාර්යබහුල කෙනෙක් නෙවෙයි. මට මොන රාජකාරිය තිබුණත් මම ගෙදර වැඩවලට වෙලාව වෙන්කර ගන්නවා. මෙයාලා දෙන්නව නාවන්නෙත් කන්න බොන්න දෙන්නෙත් මම. මට උදව්වට කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
ඔබේ ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ මහත්තයත් මෙයාලට ගොඩක් ආදරෙයි. ඒ වගේම දුවත් ගොඩක් ආදරෙයි. මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපේ ගෙදර කවුරුත් මේ දෙන්නට බල්ලා කියලා කතා කරන්නේ නෑ. ඒ තරම් මෙයාලට අපි ආදරෙයි.
ඔබ වගේ සුරතලුන් හදන අයට සහ හදන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නෙ?
කවුරුහරි තිරිසන් සතෙක් හදනවානම් ආදරයෙන් හදන්න ඕනෙ. බොරුවට ෆැෂන් එකට ෂෝ එකට කරන්නේ නැතිව ඇත්තටම ආදරය කරුණාව දෙන්න පුළුවන් නම් විතරක් හදන්න කියලා තමයි මම සියලු දෙනාට කියන්නෙ.