2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ඔබ මා අත්හැරැණු ගමනාන්තය බොහෝ දුරය

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

එකට ගමනක් යන්න හිතාගෙන අල්ලාගන්න අත් කීයක් ගමනාන්තයට පෙර අත්හැරෙනවද? එකම ගමනක, එකම ගමනාන්තයක මගියන් විදිහට ආදරයත් අතනෑර ඒ ගමන යන්න පුළුවන් අපි කීයෙන් කී දෙනාටද? ඒත් හුඟාක් වෙලාවට ඒ හිස්තැන හිස්තැනක් නොවී කෙනෙක් එනවා හිස්තැන පුරවන්න. ඒ එන කෙනා අපි හොයන කෙනා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ගමනාන්තය දක්වාම ඒ හිස්තැන හිස්තැනක් විදිහට තියාගෙන ඉන්න අයත් ඉන්නවා. ජීවිතය කෙළවර වුණාට සංසාර ගමන කෙළවර වෙන්නෙ නෑ. ඒ වගේම ගමන කෙළවර වුණාට ජීවිතය අවසාන වෙන්නෙත් නැහැ... තමන්ගේ ලෝකයට එන්න අවසර දුන්නත් ලෝකය ඉදිරියේ පිටස්තරයන් වෙන අයත් අපේ ජීවිතවල ඉන්නවා.. හදවත ඉදිරියේ ජීවිතයට ළඟම කෙනා.. නැත්නම් ජීවිතයේම පංගුවක්  වෙන කෙනා සමහරවිට ලෝකය ඉස්සරහ ජීවිතයට දුරස්තම.. ජීවිතයට පිටස්තරම කෙනා වෙන්න පුළුවන්. ආදරය වෙනුවෙන් ආදරය අත්හරින වගේම ආදරය වෙනුවෙන් ආදරය හංගාගෙන හුදෙකලාවක් හිස්තැනක් එක්ක ජීවත්වෙන කෙනෙක් ඒ හැඟීම වේදනාවක් වගේම සුන්දරත්වයක් විදිහටත් විඳිනවා. විඳවනවා.

Jalebi හින්දී සිනමා රෑපකාරකය එවැනි අතිශය සියුම් සංවේදී සහ මානුෂික මනෝභාවයක් පිළිබඳ කතා කරන සිනමා කාව්‍යක්. අයේෂ් කියන්නේ ලේඛිකාවක්. එහෙත් ඇය ලේඛිකාවක් බවට පත් කරන්නේ ඇගේ ජීවිතය තුළ අත්හැරෙන බැඳීමක්. ඇගේ සිහින අතර ඇය සැරිසරද්දී ඇගේ ගමනාන්තයට බොහෝ දුර තියෙද්දී ඇයට ඔහු අත්හැරෙනවා. එහෙත් ඒ අත්හැරෙන තැන දැනෙන හිස්තැනට ඇයට කවදාවත් වෙන ආදේශකයක් හමුවෙන්නෙත් නැහැ.. ඇය ආදේශකයක් හොයන්නෙත් නැහැ... අත්හැරියත් භෞතිකව අත්හැරෙන සමහර බැඳීම් අපිට ජීවිතයෙන් ආධ්‍යාත්මයෙන් අත්හැරෙන්නේ නැහැ.
අපි වෙන්වුණත් මම ඔයාට ආදරය නොකළ දවසක් තිබුණේ නැහැ...

එහෙම වෙන්න බැරිද ආදරය ආදරය විදිහටම දැනෙන්න වින්ඳ කෙනෙක්ට... වෙන්වීමක් සමුගැනීමක් කියන්නේ ආදරයක බැඳීමක කෙළවරක් හෝ අවසානයක් නෙවෙයි. සංසාරය මේ තරම් දුර ගමනක් වෙන්නෙත් අත්නොහැරෙන ඒ ආදරණීය අල්ලාගැනීම් නිසා නෙවෙයිද? එහෙම සමුගන්න කෙනෙක් නොහිතෙන අහම්බයකදී හමුවුණොත්... අයේෂ්ට ජීවිතයෙන් අත්හැරියත්.. නැත්නම් අත්හැරුණත් හදවතින් අත්නොහැරුණු කෙනෙක් මුණගැහෙනවා එක් අහම්බයකදී.. කෝච්චියකදී...

ඒත් ආයෙත් ආපහු අතීතය වෙත හැරෙන්න බැරි තරම් දුරක් ඒ දෙන්නම ඇවිත්. ආදරය ගඟක් නම් ඒ දෙන්නා ගං දෑල වගේ. ගඟට බහින්න ආයෙත් අවසර නෑ. ජීවිතය සමහර දේවල් අපිට දෙන්නේ ආයෙත් උදුරා ගත්තම ආයෙමත් නොදෙන විදිහට. ජීවිතය හදවතට කරන නපුරුකම් වෙලාවකට දරාගන්න බැරි තරම් නපුරුයි... වරෙක දරාගන්න බැරි තරම් ආදරණීයයි. කවදාවත් දොසක් නොකියා දිලිහෙන කඳුළකින් විතරක් දරාගන්න සමුගැනීම් වේදනාවන් අතර Jalebi තවත් එක් වේදනාත්මක සමුගැනීමක් පිළිබඳ ආදරණීය කතාවක්... අත්හැරියත් අත් නොහැරුණු ආදරයක් ගැන කතාවක්.