2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ග‌ෙනාපු තැනටම ගිහින් දාන්න කියලා අම්මා හොඳටම බැන්නා...

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වෙන්නේ නවක රංගන ශිල්පිනියක් වන නෙත්මි... රොෂෙල්

නෙත්මි.. ඔබගේ සුරතලා කවුද?
මම බල්ලන්ටයි පූසන්ටයි තමයි ගොඩක් කැමති. ඒ නිසා මම ගාව බල්ලොයි පූසොයි තමයි ඉන්නෙ.

මේ වන විට ඔබගේ ළඟ සුරතලුන් කී දෙනෙක් වගේ ඉන්නවද?
දැන් මම ළඟ ඉන්නවා බල්ලෝ හයයි පූසෝ හතරයි.

මේ සුරතලුන් අතරින් ඔබ වැඩි ආදරයක් දක්වන කෙනෙක් ඉන්නවද?
මම හැමෝටම ආදරෙයි. ඒත් පුංචි පැටියෙක් ඉන්නවා. එයාට මම ටිකක් වැඩිපුර ආදරෙයි.

කියමුකො ඒ කවුද කියලා?
එයා තමයි ලිලී.

ඇයි ඔබ ලිලීට වැඩි ආදරයක් දක්වන්නෙ?
එයාව මට ළඟදි තමයි ලැබුණේ. එයා ගෙදර ඇතුළෙමයි ඉන්නෙ. අනිත් කාරණය තමයි එයා ගොඩක් හුරතල්. ඔය වගේ දේවල් නිසා තමයි මම එයාට පොඩ්ඩක් වැඩිපුර ආදරය කරන්නෙ.

නෙත්මි... ඔබට කොහොමද ලිලීව හමුවුණේ?
මට ලිලීව හම්බවුණේ තෑග්ගක් විදිහට. හැබැයි එයාව මට හම්බවුණාට දැන් අපේ පවුලේ හැමෝමත් එක්ක තමයි එයා ඉන්නෙ.

අපි ආසයි දැනගන්න ලිලීගේ වතගොත?
මෙයා සිට්සු වර්ගයේ පුංචිම පුංචි හුරතල් බලු පැටියෙක්. ලිලීට දැන් වයස මාස හතයි. මෙයා අපිට අපේම පවුලේ කෙනෙක් වගේ තමයි දැනෙන්නෙ. මම සහ මගේ පවුලේ සියලු දෙනාම කොහේ හරි ගමනක් ගිහින් ගෙදර ආවොත් ඉස්සෙල්ලාම හොයලා බලන්නෙ ලිලී කොහෙද ඉන්නෙ කියලා. ඒ තරම් අපේ පවුලට ළැදියි. මෙයා හරි ආසයි එයාගේ ෆොටෝ ගන්නවාට. ෆොටෝ ගන්නකොට කැමරාවට ලස්සනට මුහුණ දෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි මෙයාගේ වතගොත.

නෙත්මි.. ඔබගේ හුරතලාට ලිලී කියලා නම දමන්න විශේෂ හේතුවක් තිබුණද?
එහෙම විශේෂ හේතුවක් නම් නෑ. මමයි මගේ නංගියි තමයි ලිලී කියලා නම දැම්මේ.

මේ දවස්වල ඔබ ගොඩක් කාර්යබහුල චරිතයක්. ඒ කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඔබ ඔබගේ සුරතලුන් ගැන සොයා බලන්නෙ?
මම ගෙදර නැති වෙලාවට මගේ නංගි තමයි හැමදේම කරන්නෙ. විශේෂයෙන් ලිලී ගැන කිව්වොත් එයාව නාවන්න ඕනෙ, බ්‍රෂ් කරන්න ඕනෙ, දත් මද්දවන්න ඕනෙ, කෑම කවන්න ඕනෙ. ඒ සියලු දේ කරන්නෙ මගේ නංගි. ඒ නිසා මම කොච්චර කාර්යබහුල වුණත් මෙයාලා ගැන හොයලා බලන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

නෙත්මි.. ඔබ සුරතලුන්ගේ උපන්දින සැමරුම් කරනවද?
මම එහෙම විශේෂයෙන් උපන් දින සැමරැම් කරන්නෙ නෑ. මොකද මම මගේ උපන් දිනයවත් උත්සව විදිහට සමරලා නෑ. හැබැයි මම අසරණ සතුන්ට එහෙම කෑම බීම දෙනවා. ඔය වගේ දේවල් තමයි මම උපන් දිනවලට කරන්නෙ.

ඔබ හුරතලයට ඇතිකරන්න කැමති හොඳ වර්ගයේ සතුන් විතරද?
එහෙම නෑ. ලිලී විතරයි මම ළඟ ඉන්න අයගෙන් හොඳ වර්ගයේ කෙනෙක් විදිහට ඉන්නෙ. අනිත් සියලු දෙනාම සාමාන්‍ය වර්ගයේ සතුන්. එයාලාව මම ගෙනාවේ පාරවල්වල කන්න බොන්න නැතිව අසරණවෙලා ඉඳිද්දි. අපේ අම්මා මට සමහර දවස්වල බණිනවා වෙන අය කැමති හොඳ වර්ගයේ ලස්සන සතුන්ට, ඒත් ඔයා කැමති සාමාන්‍ය අයට කියලා.

ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මම එක සැරයක් බලු පැටව් තුන්දෙනෙක් ගෙදර ගෙනාවා. අම්මා මට හොඳටම බැන්නා, ගිහින් දාන්න ගෙනාපු තැනටම කියලා. හැබැයි ටික වෙලාවයි එයාගේ කේන්තිය තියෙන්නේ. ඊටපස්සෙ එයාම කියනවා දැන් ගෙනාපු එකේ එයාලව අපි ඇතිකරමු කියලා. ඇත්තටම මට ලොකු සහයෝගයක් ගෙදරින් ලැබෙනවා. මම හිතන්නේ නෑ ගෙදරින් සහයෝගයක් ලැබුණේ නැත්නම් මට මෙච්චර හුරතලුන් ගොඩක් තනියම හදන්න පුළුවන් කියලා.

ඔබ විවාහවෙන කෙනා සතුන්ට ආස නොකරන කෙනෙක් වුණොත් ඔබ මොකද කරන්නෙ?
එහෙම බෑ. මාව විවාහ කර ගන්න කෙනා සතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්නම ඕනෙ. මම හිතන්නෙ නෑ සතුන්ට ආදරය නොකරන කෙනෙක් කවදාවත් මිනිසුන්ට ආදරය කරයි කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඒ කෙනා සතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනෙ.

ඔබ වගේ සතුන් හදන හෝ හදන්න ඉන්න අයට මොනවද ඔබට කියන්න තියෙන්නෙ?
මම කියන්නම ඕනෙ දෙයක් තියෙනවා. අපි මිනිසුන්ට උදව් කරන්න ඕනෙ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා අපෙන් උදව් අරගෙන පස්සෙ අපිව අමතක කරන අය. හැබැයි මෙයාලා එහෙම නෑ. අපි එකපාරක් කන්න දුන්නද ඒ දේ හොඳට මතකයේ තියෙනවා. එයාලා අපිට වලිගය හරි වනනවා. සතුන් කියන්නෙ අන්න එහෙම කට්ටියක්. ඒ නිසා මම කියන්නෙ සතුන්ට ආදරය, කරැණාව වගේම පාරවල්වල ඉන්න අසරණ සතුන්ට කෑම ටිකක් දෙන්න. අනිත් දේ තමයි එයාලාව හිර කරලා හදන්න එපා. එයාලට එයාලගේ නිදහසේ ඉන්න දෙන්න කියලා තමයි මම සියලු දෙනාගෙන් ඉල්ලන්නෙ.