අද හදසර තනිකඩයා විශේෂාංගය සරසන්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනී, සාහිත්‍යධාරිණී හා සමාජ ක්‍රියාකාරිණී සීතා රංජනී මහත්මියයි.
ඔබේ ජීවිතේ තිබුණු ලොකුම හීනය මොකක්ද?
ඇත්තම කිව්වොත් මම එහෙම හීන ගැන හිතලා තිබුණෙ නැහැ. එක පැත්තකින් මම හිතුවෙ ස්වාධීන හා නිදහස් පුද්ගලයෙක් වෙන එක තමයි. හීනෙකට වඩා ඒක මගේ තරුණ කාලෙ ඉඳලා තිබුණු බලාපොරොත්තුව කියලා කියන්න පුළුවන්. දැකපු හීන නම් ගොඩාක් තියෙනවා. ඒත් ජීවිතේ ලොකුම හීනය කියන්නෙ, පෞද්ගලික පැත්තෙන් බැලුවොත්, තමන්ට කියලා නිවසක් හදාගන්න එක තමයි. ඒ හීනෙ සැබෑවෙලා නැහැ, සැබෑවෙන එකකුත් නැහැ. ඒක මේ කතාවට අදාළ වෙන එකකුත් නැහැ.
විවාහය ගැන හීනයක් ඔබට තිබුණෙම නැද්ද?
ඇත්තටම විවාහය ගැන මට කවදාවත් හීනයක් තිබුණෙ නැහැ. තරුණ කාලෙ ගොඩාක් අයට ඒ වගේ හීන තිබිලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා. හැබැයි මම කවදාවත් එහෙම විවාහ ජීවිතයක් ගැන ලොකු හීනයක් මවාගෙන හිටියෙ නැහැ.
තනිකඩව, අවිවාහකව ජීවත් වෙන්න, ඔබ දැඩිව තීරණය කරන්න විශේෂ හේතුවක් තිබුණද?
එහෙම දැඩි තීරණයක් ගන්න විශේෂ හේතුවක් හෝ සන්ධිස්ථානයක් තිබිලා නැහැ, අවිවාහකව ඉන්න. හැබැයි මම තරුණ කාලෙ ඉඳලා, දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලා විවාහ වෙච්ච ජීවිතවල තියෙන සමහර ගැටලු, කටුකත්වය දැකලා තිබුණා, සමහර වෙලාවට අපේ පවුල්වල, යාළුවන්ගෙ හෝ අසල්වාසීන්ගෙ ජීවිත තුළින්. ඒගොල්ලන්ගෙ ජීවිතවල තිබුණු තෘප්තිමත් නැති බව, ගැටලු, දුක් කම්කටොලු මම දැක්කා.
කොච්චර යාළුවෙලා කසාද බැන්ඳත්, හොරෙන් පැනලා ගිහින් කසාද බැන්ඳත්, ටික කාලයක් යනකොට ඒ ජීවිත කඩාකප්පල් වෙනවා. ඒ දැකපු දේවල් බලපෑමක් ඇති කරලා ඇති මම විවාහය ගැන හීන නොදකින්න. මට තිබ්බ එකම බලාපොරොත්තුව තමයි මගේ නඩත්තුව මම විසින්ම සපයාගන්න ඕනෙ කියන එක. මගේ ජීවිතෙත් එක්ක මගේ ස්වාධීන ආර්ථික ශක්තියක් එක්ක නැඟිටින්න තමයි මම හිතුවෙ. කාගෙන්වත් නඩත්තු වීම ගැන මට තිබුණා ගැටලුවක්. එවැනි තත්ත්වයකදි මාව යටත් වෙන්න පුළුවන්, පාලනය වෙන්න පුළුවන්, මගේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියන ආකල්පයක් මට තිබුණා තරුණ කාලෙ ඉඳලම.
ඒ විදිහට ඔබ මේ ගෙවන තනිකඩ ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොමද?
ඇත්තටම මගේ තනිකඩ ජීවිතය මම සලකන්නෙ ආශිර්වාදයක් විදිහට. ඒක ගැන මම කිසිසේත් පසුතැවෙන්නෙ නැහැ. ඒක තෘප්තිමත්ද නැද්ද කියන එකත් මම සලකන්නෙ බාහිරව අනිත් අයට තියෙන නිදහස, තීරණය ගැනීමේ ශක්තිය වගේ දේවල් සංසන්දනය කරලා. එහෙම බලද්දි, විවාහ ජීවිතේක මට පෞද්ගලික අත්දැකීම් නැතිවුණාට, මේ ගෙවන ජීවිතේ මට ආශිර්වාදයක්ම තමයි. විවාහවෙලා ඉන්න එකද හරි, විවාහ නොවී ඉන්න එකද හරි කියලා මට හරියට කියන්න බැහැ, මොකද ඒක එකිනෙකාට වෙනස් වෙනවනෙ. සමහර අය විවාහ ජීවිතය තුළ තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි මම දකින ගොඩක් දේ තුළ සමහරවිට සාම්ප්‍රදායික විදිහට තෘප්තිමත් වෙනවා වෙන්න පුළුවන්, හැබැයි ස්වාධීනව තීරණ ගැනීම පිළිබඳව, අත්හැරීම පිළිබඳ දේවල් ගැන ඒ අයට තිබෙන ගැටලු දිහා බැලුවම ඒකට සාපේක්ෂව මම තෘප්තිමත් කියලා හිතෙනවා.
මම තනිකඩ ජීවිතයකට පෙළඹෙන්න හිතුවට, ඇත්තටම තනිකඩ වුණාට, මම තනි නැහැ. මට තනිකම කවදාවත් දැනිලත් නැහැ. අසනීප තත්ත්වයන් නිසා සමහර වෙලාවට අසීරුතාවලට මුහුණ දුන්නු අවස්ථා තිබිලා තිබුණට ඒක තනිකම කියලා කියන්න බැහැ. එතනදි මට සහායක් අවශ්‍ය වුණා විතරයි. මම පවුලක් වෙලා හිටියනම් ඒ සහාය ලැබෙයිද නැද්ද කියලා මට විශ්වාසෙකුත් නැහැ. විවාහ වෙලත් තනිකඩ වෙන්න පුළුවන්නෙ සමහර හේතු නිසා. ඒ තනිකඩකම නරකට දැනෙන්න පුළුවන්. ඒත් මගේ තනිකඩකම මට නරකට දැනිලා නැහැ. මගේ තනිකඩ ජීවිතය ඇතුළෙ මම තනිවෙලා නැති නිසා, මම සමාජයත් එක්ක වැඩ කරන නිසා, මට පෙරළා යම්කිසි සහායක් ලැබුණා. මම මාධ්‍ය හා සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව ඉන්නවා, සමාජ ක්‍රියාකාරිණියක් විදිහට ඉන්නවා, මම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී සාමාජිකාවක්. සමාජ වගකීම් වෙනුවෙන් පෙනී සිටිනවා, වැඩ කරනවා. මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් සාමය, ජනවාර්ගික, සංස්කෘතික අයිතිවාසිකම් පැත්තෙන් මම කොන්දේසි විරහිතව ක්‍රියාකාරී ලෙස නියැලිලා ඉන්නවා. පොදු සමාජයත් එක්කම තමයි මම හිටියෙ. මනසින් එහෙම ඉන්න නිසා මට තනිකම දැනිලා නැහැ.
මිතුරු මිතුරියන් ඔබේ තනිකම නිවනවා ඇති?
මාධ්‍ය, සාහිත්‍ය හා කලාවත් එක්ක සම්බන්ධව කටයුතු කරන නිසා මට හොඳ මිතුරන් හමුවෙනවා. මම මිතුරන් විශ්වාස කරනවා. මට ගොඩාක් ඉන්නෙ මට වඩා අඩු වයසෙ මිතුරු මිතුරියන්. මගේ පවුල කියන්නෙ ඒගොල්ලො තමයි. සහයෝගයක් අවශ්‍ය වෙන වෙලාවක මට මේ හදවතින් බැඳුණු යාළුවො ඉන්නවා. හැබැයි මම හැමවෙලේම මගේ පෞද්ගලික ජීවිතේ දේවල් මමම තනියම ඉෂ්ඨ කර ගන්න තමයි බලන්නෙ. මට මනසින් තනිකමක් දැනෙන්නෙ නැහැ, මනසින් හුදෙකලා වීමක් දැනෙන්නෙත් නැහැ.
සාමාන්‍යයෙන් විවාහක කාන්තාවක් ගත්තොත් එයාට ඒ පවුල හැර වෙන ජීවිතයක් නැහැ. වැඩ කරනවනම් ඒකට පඩියක් ගන්නවා, එච්චරයි. හැබැයි මම එහෙම ශෛලියකට පුරුදු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට සංහිඳියාව, කාන්තා අයිතිවාසිකම් ඇතුළු සමාජ වගකීම් රුසක් වෙනුවෙන් කාලය මිඩංගු කරන්න පුළුවන් වෙලා තියෙනවා. විවාහ නොවුණු කෙනෙක් නිසා මට මේ දේවල් ස්වාධීනව කරගෙන යන්න පුළුවන් වුණා. කාන්තාවකට ස්වාධීනව මේ සමාජයේ පවතින්න පුළුවන් වෙන්නෙ තමන් හදාගන්නා ප්‍රතිරූපයත් එක්ක.
සමාජ වගකීම් අතින් ගත්තම වැඩි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නෙ විවාහක කාන්තාවකටද, අවිවාහක කාන්තාවකටද?
මගේ මනස හා මගේ සිතුවිලිත් එක්ක මම යම්කිසි විදිහක විවාහක කාන්තාවක් වෙලා හිටියනම්, මගේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වුණානම්, මගේ වැඩ කටයුතු කරගෙන යන්න මම ඒ පවුලෙන් වෙනස් වෙන්න තිබුණා. හැබැයි සමබර පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවකට, ශක්තිමත් ආර්ථික ස්ථාවරයකුත් තියෙනවනම්, අභියෝගවලට මුහුණදීමේ හයියක් තියෙනවනම්, ඒ අයට යම් බලපෑමක්, දායකත්වයක් සමාජයට ලබා දෙන්න පුළුවන්. සාහිත්‍ය වගේ ක්ෂේත්‍රයක එවැනි පදනමක ඉඳලා තම වගකීම් ඉටු කරන විවාහක කාන්තාවන් ඉන්නවා.
හැබැයි සමාජ ක්‍රියාකාරිණියක් හැටියට, සමාජ යහපත වෙනුවෙන් අපි වගේ ස්වේච්ඡාවෙන් වැඩ කරන අයට, ඒ හැකියාව හෝ ඒ දායකත්වය වැඩියෙන් ලබා දෙන්න පුළුවන් අවිවාහක කාන්තාවකට, තමන්ගෙ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන නිසා.