කවියාද කවියෙක් නොව කවියක්ම යැයි සිතන සොඳුරුම තැනක් වී නම් ළහිරු කිතලගම යනු ඒ උදෙසා එක් සංනිදර්ශනයක් නොවේදැයි අසන්නට තරම් ඔහු ලියූ කවි අස මා නැවතුණු තැන් බොහොමයකි. එහෙත් ඒ කවියාට අද මම එන්න යැයි කීවේ කවිය ගැන කතාබහකට නොවේ. ඒ කවියාගේ කැමතිම ගීතය, මගේ නොවන මගේම කරගත් ගීතය ගැන කතා කරන්නටය.
කවිය කියන්නේ කවියෙක් යම් සංසිද්ධියක් හෝ ඉතා සියුම් මනෝභාවයක් දිහා බලන වෙනස්ම ආකාරයේ සිතුවිල්ලකින් උපදින නිර්මාණයක් විදිහට මම දකිනවා. ඔබත් කවියෙක්. කවියෙක්ගේ හිත ගීතයක් ළඟ නොනැවතී තියෙන්න විදිහක් නෑ?
අපේ ගීත සාහිත්‍ය ඇතුළේ මාව ප්‍රකම්පනයට පත් කරන ගීත ගණනාවක් තියෙනවා. මට දැනෙන, මට ජීවත්වෙන්න හුස්මක් සපයන තවත් දේ අතර ගීතයත් එක් දෙයක්. ඒ ගීත අතුරින් මම කැමතියි මගේ නොවන මගේම ගීතය හැටියට අමිල තේනුවර ලියූ දර්ශන රැවන් දිසානායක සංගීතවත් කළ අමරසිරි පීරිස් මහතා ගයන අතින්වත් අත ඇල්ලුවේ නෑ කිසිම කිලුටක් තිබුණෙ නෑ කියන ගීතය තෝරාගන්න. මම ප්‍රිය කරන ධාරාවේ ගීත අතර ඒ ගීතය ළඟ මගේ හිත නවතින්න හේතු ගොඩක් තියෙනවා.
ඒ හේතු මොනවද?
ආදරය කියන හැඟීම ළඟ අපිට ජීවිතයේ විවිධ වෙනස් අත්දැකීම් තියෙන්න පුළුවන්. ජීවිතය ගැන ලොකු අවබෝධයක් නැති කාලෙකදි වෙන්න පුළුවන් අපි ආදරයේ මුල්ම අත්දැකීම හොයාගෙන යන්නේ.
මට හිතෙන්නේ ඒ ප්‍රථම ප්‍රේමය ළඟ අපි අනෙකාගෙන් මහා හුඟාක් දේවල්, විශේෂයෙන් භෞතික දේවල් නොඉල්ලමින් බලාපොරොත්තු නොවී ආදරය විතරක්ම ඉල්ලගෙන ආදරය කරනවා. අදට වඩා ඒ අතීත යුගය වෙනස්. ආදරය ආදරයම තමයි. ආදරය කරන දවස්වල ලිංගිකත්වය පදනම් කරගත් රාගිකත්වය ආදරය යටපත් කරගෙන ඉස්මතු වුණේ නෑ.
අතින්වත් අල්ලන්නෙ නැතුව හරි පූජනීය විදිහට විඳින ආදරය අත්හැරැණත් මට හිතෙන්නේ ඒක හැමදාම ජීවිතයේ වෙනම මතකයක් විදිහට තියෙනවා.
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණෙ නෑ
අද මානව බැඳීම් හුඟාක් විපරීත වෙලා තියෙන්නේ. අද ආදරය කියන හැඟීම විහිදිලා තියෙන්නේ වෙන වෙන දිශානතීන්ට. ආශාවන්, අරමුණු, සල්ලි ළඟ අද ආදරය හැඟීම හුඟාක් වෙලාවට නැවතිලා තියෙන්නේ. මේ සියල්ලෙන් වියුක්තව ආදරය විතරක් රැඳුණු තැනක් ජීවිතයේ තිබුණානම් ඒ ආදරය ඔබටවත් මටවත් අමතක වෙන්න විදිහක් නෑ.
ඔබ ඔය කියන විදිහේ පිවිතුරු ආදරයක් ඇත්තටම ලෝකයේ තියෙනවද?
ආදරය කියන්නේ රාගයෙන් වියුක්ත හැඟීමක් කියලා මම කියන්නෙ නෑ. ඒත් මම කියන්නේ ආදරය වෙනුවෙන්ම ආදරය කරපු තැන් රාගයක් නොඉල්ලමින් ආදරයක් විතරක්ම ඉල්ලපු තැන් ජීවිතයේ තියෙන්න පුළුවන්.
ජීවිතයේ විවිධ හැලහැප්පීම් ජීවිත විලාසිතාවන් මැද ජීවිතය වෙහෙසක් විදිහට දැනෙද්දි එහෙම අතීත ආදරයක් තිබුණානම් අපි ඉබේම එතන නතර වෙනවා.
අතීත කාමයෙන් මිදෙන්න අපිට බැරි එක තැනක් විදිහටද ඔබ ඒ ප්‍රථම ප්‍රේමය දකින්නෙ?
අතීත කාමය මානව වර්ගයාටම පොදු හැඟීමක් තෘෂ්ණාවක් විදිහට මම දකින්නේ. පිරිසිදු හිත නොතලපු ප්‍රථම ප්‍රේමයක් ජීවිතයේ තියෙනවනම් එතෙන්ට හිත අරගෙන යන්නෙත් ඒ අතීත කාමය විසින්ම තමයි.
ඇයි ඔබ මේ ගීතයේ තියෙන මේ ප්‍රේමය මේ තරම් සුන්දර විදිහට දකින්නේ?
ඒ ප්‍රේමය අත්පත් කර ගැනීමක් අයිතියක් වුණානම් මේ තරම් සුන්දරත්වයක් නොදැනෙන්නත් තිබුණා. ඒත් මට හිතෙන්නේ එසේ නොවීම තුළම තමා මේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ.
එක් නොවී වෙන් වෙච්ච තැන... නැත්නම් වෙන් නොවී අත්හැරැණු තැන මේ ප්‍රේමය හරි පූජනියයි කියලා මට හිතෙනවා.
දොසක් නොකියා චෝදනාවක් නොනගා කුමක් හෝ සංස්කෘතික ආර්ථික හෝ සමාජයීය ප්‍රශ්නයක් නිසා නැත්නම් ඇත්තටම ආදරය නිසාම වෙන්වුණානම් ඒ වෙන්වීම ඇතුළේ වෙන්වීමක් තියෙනවද?
මේ ගීතයේ ඔබ වඩාත්ම හැඟීම්බර වෙන ඔබේ හිත නවතින තැන කුමක්ද?
නොඉඳුලේ හැඟුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් වුණෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි
හමු නොවිත් සමුදෙන්න බැරි ඒකයි
ඒ තමා මගේ හිත නැවතුණ තැන.
මේ ගීතයත් එක්ක ඔයාගේ ජීවිතයේ ඔබ වින්ඳ ආදරයක් ළඟත් ඇත්තටම ඔයාගේ හිත නවතිනවද?
අතීත කාමය මටත් ඔබට වගේම පොදු හැඟීමක්. මගේ හිතත් එහෙම ගිහින් නවතින අතීත මතකයක් ඇති.
කෙනෙක් ප්‍රථම ප්‍රේමයේ මතකය අත්හරින්න පුළුවන්. තව කෙනෙක් ප්‍රථම ප්‍රේමය අත්හරින්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ ඔයා ඉන්නෙ කොතැනද?
විවිධ සමාජයීය ප්‍රශ්න නිසා මඟහැරැණු කතන්දරයක් මගේ ජීවිතයේ තියෙන්නේ. හැබැයි ඒ ප්‍රේමය හිමිකරගත් ප්‍රේමයක් වුණානම් අද කවියක් ගීතයක් ගැන කතා කරද්දි ඒක සොඳුරැ ප්‍රස්තුතයක් නොවෙන්න තිබුණා. මේ තරම් සුන්දර විදිහට අද මට ඒක දැනෙන්නෙත් මඟහැරුණු නිසාමයි. සමාජ ආර්ථික ප්‍රශ්නත් එක්ක වෙහෙසක් නොලබමින් එය මතකයක් පමණක් වීම තුළ මම දකින්නේ වෙනම සුන්දරත්වයක්. ප්‍රථම ප්‍රේමය හිමිකමක් වෙනවට ඇත්තටම මම කැමතියි.
ආදරය නිසාම කෙනෙක් දුරින් තියාගෙන ආදරය කරන්න පුළුවන්නම් එය සුන්දර සංකල්පයක් ලෙස ඔබ දකිනවද?
ආදරය නිසාම අයිතියක් ප්‍රාර්ථනා නොකර ඈතින්ම තියාගෙන ඉන්න පුළුවන්නම්, ඒක හරි බෝධිසත්ත්ව ආධ්‍යාත්මික ගුණයක්. මොකද පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය තුළ හැම කෙනෙක්ම වගේ උත්සාහ කරන්නේ ආදරය කරන දේ අයිති කර ගන්න. ඒත් ආදරය කරන කෙනෙක් හැමදාම දුරින් තියාගෙන ආදරය කරන්න පුළුවන්නම් ඒක හරිම දුෂ්කර ඒත් පිවිතුරැ ගුණයක් හා පුදුමාකාර ඉවසීමක්.
මේ ගීතය ගැන ඔබ ඔබේ බිරිඳ එක්ක කතා කර තියෙනවද?
ඇය සමඟ යාළුවෝ සමඟ කතා කර තියෙනවා. ඒත් ඔබ සමඟ තරම් ගැඹුරින් මේ ගීතය ගැන මීට පෙර කතා කර නෑ.
අමිල තේනුවර ගීත රචකයා එක්ක ඔබ මේ ගීතය ගැන කතා කරලා තියෙනවද?
නෑ.. ඇත්තටම අමිල කියන්නෙ මම කැමති ගීත කිහිපයක්ම රචනා කළ ගීත රචකයෙක්. ඒත් මට අමිල තාම හමුවී නෑ. හමුවුණොත් අත්දෙකම අල්ලගෙන මෙහෙම ගීත ලීවාට ස්තූති කරනවා. කුහකත්වයට නෙවෙයි ආසාවට මටත් මෙහෙම එකක් ලියාගන්න තිබුණානම් හිතුණා කියලා මම කියනවා.
රසවින්දනය යනු මනුෂ්‍යත්වයට දොර හැරීමක් ලෙස මම අර්ථකථනය කළොත් ළහිරැ ඔබ කොතෙක් දුරට ඊට එකඟද?
සාහිත්‍ය, කලාව, රසවින්දනයත් එක්ක ගැවසෙද්දී නිරායාසයෙන්ම ඉන් හදවත පෝෂණය වෙනවා. කලාව, සාහිත්‍ය තුළින් උකහා ගත හැකි සාරවත් සංවේදීත්වයන් මනුෂ්‍යත්වයන් බොහොමයි. සාහිත්‍ය කලාව මැනවින් හදවතින් ස්පර්ශ කරන කෙනෙක් වෙත්නම් අවසානයේ මිනිසා ඒ තුළින් උකහා ගන්නා සාරය මනුෂ්‍යත්වය සහ ආදරය බවයි මම විශ්වාස කරන්නේ.
අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුණෙ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
කුළුඳුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොඳුරු දෑසට
නුඹත් මා ළඟ මං වගේ නිහඬයි
බිම බලාගෙන ගොළු වුණේ ඒකයි
නොඉඳුලේ හැඟුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් වුණෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි...