2021 ජනවාරි 30 වන සෙනසුරාදා

හීතලේ ඇවිලෙන බොලිවුඩ් යුද්ධ...

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

සල්මාන් ඛාන්, ඵෙශ්වර්යා රායි බච්චන්, කරීනා කපූර් ඛාන්, බොබී ඩියෝල් කියන බොලිවුඩ් තරු ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ඒත් ඔවුන්ගේ ඇති විරසකයන් මොනවද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 
සල්මාන් ඛාන්, ඵෙශ්වර්යා රායි බච්චන්, කරීනා කපූර් ඛාන්, බොබී ඩියෝල් කියන බොලිවුඩ් තරැ ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ඒත් ඔවුන්ගේ ඇති විරසකයන් මොනවද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

 

කරීනා කපූර් සහ බොබී ඩියෝල්ගේ විරසකය

ජබ් වී මෙට් කියන හින්දී සිනමාපටය කරීනාගේ දක්ෂතා මැනවින් ඔප්පු කළ සිනමාපටයක්. ජබ් වී මෙට් සිනමාපටයේ කරීනා එක්ක රංගනයන්හි නිරත වුණේ ශහීද් කපූර්. ඒ දෙන්නගේ රංගනයට ප්‍රේක්ෂකයන්ද බෙහෙවින් කැමති වුණා. ඒත් බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තියෙනවා. ශහීද් කපූර් වෙනුවට මේ සිනමාපටයේ ඔහුගේ භූමිකාවට පණ දෙන්න මුලින් තෝරාගෙන තිබුණේ බොබී ඩියොල්වයි. ඒත් කරීනා කපූර් සිනමාපටයේ අධ්‍යක්ෂ ඉම්තියාස් අලිගෙන් බොබි ඩියෝල් වෙනුවට ඒ වන විට තම පෙම්වතා ශහීද්ව යොදාගන්න කියලා කියනවා. එසේ නොමැතිනම් තමන් සිනමාපටය සඳහා අත්සන් නොකරන බවත් අධ්‍යක්ෂවරයාට ඇය දැනුම් දෙනවා. වෘත්තීමය නොවන ඒ ක‍්‍රියාව ගැන දැනගන්න බොබී ඩියෝල් ගොඩක් කේන්ති ගන්නවා. ඒ නිසා ඔහු කරීනා එක්ක රණ්ඩුවකට පැටලෙනවා. මේ වන විටත් ඔවුන් දෙන්නගේ සීතල යුද්ධය පවතින අතර ඔවුන් මේ වන විටත් එකිනෙකාට මුහුණදීමෙන් වැළකී සිටිනවා.

සල්මාන් ඛාන් සහ අර්ජිත් සිංගේ විරසකය

සිනමා සම්මාන උළෙලක් සල්මාන් ඛාන් විසින් මෙහෙයවමින් සිටි අතර බොලිවුඩයේ නමක් දිනා සිටින ගායක අර්ජිත් සිං සම්මානයක් ලබාගැනීම සඳහා වේදිකාවට කැඳවලා තියෙනවා. ඒ වෙලාවේ සල්මාන් ඛාන් අර්ජිත්ගේ නින්ද යෑම ගැන විහිළුවට ලක් කරලා තියෙනවා. සර් ඔබ මාව අවදි කළා කියලා අර්ජිත් ඒ වෙලාවේ සල්මාන් ඛාන්ට කියලා තියෙනවා. සල්මාන් ඛාන් ඒක අහලා බොහෝ කෝපයට පත්ව තියෙනවා. එදා පටන් සල්මාන් ඛාන් තමන්ගේ හිතේ තියෙන කේන්තිය අර්ජිත් දැක්ක ගමන් වැඩිවෙනවා. සල්මාන් ඛාන්ගේ සුල්තාන් සිනමාපටයේ ජග් ගූමියා කියන ගීතය බෙහෙවින් ජනප‍්‍රියතාවට පත්වුණු අතර අර්ජිත් සිං විසින් ඒ ගීතය අනුවාදනයක් කර තියෙනවා. සල්මාන් එයට විරැද්ධත්වය ප‍්‍රකාශ කරද්දී එසේ නොකරන ලෙස අර්ජිත් සිං සල්මාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් සල්මාන් ඛාන් හේතුවෙන් අර්ජිත් සිංට සිනමා කර්මාන්තයේ වැඩ අඩුවෙන් ලැබෙන බව බොහෝ දෙනෙක් කියනවා.

කරීනා කපූර් ඛාන් සහ බිපාෂා බාසුගේ විරසකය

කරීනා කපූර් ඛාන් සහ බිපාෂා බාසු අතර විරසක වීම අජ්නබී සිනමාපටයේ රූගත කිරීම් අතරතුරදී පටන්ගෙන තියෙනවා. කරීනා බෙහෙවින් කෝපයට පත්වෙලා බිපාෂා බාසුට රූගත කිරීම් සිදු කරන තැනදී පහර දුන්නා කියලා කියනවා. එදා පටන් ඒ දෙන්නා අතර සීතල යුද්ධයක් පවතිනවා. ඒ නිසා මොවුන් දෙදෙනා එකිනෙකාට මුහුණ දීමෙන් වැළකී සිටිනවා. අජ්නබී සිනමාපටය බිපාෂාගේ පළමු සිනමාපටය වන අතර ඇය තමන්ගේ පෙනුමෙන් සහ රංගනයෙන් සැමගේ හදවත් දිනාගන්නට සමත්වෙලා තියෙනවා. මේ සිනමාපටයෙහි ආක්ෂය කුමාර් සහ බොබී ඩියෝල් ද චරිතයන්ට පණ පොවන්න දායකත්වය දීලා තියෙනවා.

සල්මාන් ඛාන් සහ ඵෙශ්වර්යා රායිගේ විරසකය

සල්මාන් ඛාන් සහ ඵෙශ්වර්යා රායි අතර වසර කිහිපයකට පෙරාතුව ආදර සම්බන්ධතාවයක් පැවතුණු බව නොදන්න කෙනෙක් නැහැ. ඒත් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳී ගිය පසුව මොවුන් දෙදෙනා එකිනෙකාගේ මුහුණ දකින්නවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. සල්මාන් ඛාන් සහ ඵෙශ්වර්යා රායි අතර ආදර කතාව ආරම්භ වුණේ හම් දිල් දේ චුකේ සනම් සිනමාපටයේ රෑගත කිරීම් අතර බව ඔබ දන්නවා ඇති. ඵෙශ්වර්යාගේ දෙමවුපියන් සල්මාන් සහ ඵෙශ් අතර තිබූ සබඳතාවය අනුමත නොකළ අතර ඔවුන් සල්මාන් ඛාන්ගෙන් දුරස්වෙලා ඉන්න කියලා තම දියණියට දැනුම් දෙනවා. ඒ නිසා ඓශ්වර්යා තම දෙමාපියන් සමඟ අමනාප වෙලා මහල් නිවාසයක තනිවම ජීවත් වෙන්න ගිහිල්ලා තියෙනවා. දවසක් මැදියම් රැයක සල්මාන්, අශ්වර්යා ඉන්න නිවස ළඟට ඇවිල්ලා ඇයගේ නිවසේ දොරට තඩි බාලා තියෙනවා. ඇය දොර විවෘත කරන්නේ නැති නිසා තමන් 19 වැනි මහලෙන් බිමට පනිනවා කියලා සල්මාන් ඛාන් අශ්වර්යාට තර්ජනය කරලා තියෙනවා. සල්මාන් ඛාන් පාන්දර 3 විතර වෙනකම් ඵෙශ්වර්යා ජීවත් වුණු දොරට ගහ ගහ ඉඳලා තියෙනවා. සල්මාන් ඛාන්ට ඵෙශ්වර්යා එක්ක විවාහ වීමට අවශ්‍ය වුණත් ඒ කාලයේදී ඇය විවාහයට අකමැත්ත ප‍්‍රකාශ කළ නිසා සල්මාන් ඒ විදියට හැසිරැණු බව කියනවා. සල්මාන් ඛාන්ගේ ඒ හැසිරීම පිළිබඳව ඵෙශ්වර්යාගේ පියා විසින් නීතිමය කටයුතු පවා සිදු කරලා තියෙනවා. අදටත් සල්මාන් ඛාන් සහ ඵෙශ්වර්යා එකිනෙකට මුහුණ නොදෙන බව කියනවා.

විවේක් ඔබරෝයි සහ සල්මාන් ඛාන්ගේ විරසකය

සල්මාන් ඛාන් සහ විවේක් ඔබරෝයි අතර ඇති සීතල යුද්ධය ගැන බොලිවුඩයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඵෙශ්වර්යා නිසා සල්මාන් සහ විවේක් අතර ආරවුලක් ඇතිවෙලා කියලා කියනවා. සල්මාන් ඛාන් තමන්ට තර්ජනය කළ බවටත් තමන්ට බැණ වැදුණු බවටත් මාධ්‍ය හමුවක් පවත්වා විවේක් කියලා තියෙනවා. ඒ කාලයේ ඵෙශ්වර්යා සහ විවේක් ඔබරෝයි අතර පැවති පෙම් පලහිලව්ව ඒ කාලයේ ඉන්දියාවේ මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් වාර්තා කරලා තිබුණා. පසු කාලයේදී විවේක් ඔබරෝයි තමන් සහ සල්මාන් ඛාන් අතර පවතින විරසකය අවසන් කරන්න හිතාගෙන විවේක් ඔබරෝයි, සල්මාන් ඛාන්ගෙන් සමාව ඉල්ලනවා. එහෙත් සල්මාන්, විවේක්ට සමාව දීලා නැහැ. විවේක් ඔබරෝයිට බොලිවුඩ් තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරන්න ඉඩ නොලැබී තියෙන්නේ සල්මාන් එක්ක රණ්ඩු කරගත් නිසා කියලා බොලිවුඩ්වල ඉන්න ප‍්‍රවීණයන් විශ්වාස කරනවා. අදටත් සල්මාන් විවේක් පොදු ස්ථානයකදී මුහුණට මුහුණ හමුවුණත් එකිනෙකාට මුහුණ දීමෙන් වැළකී සිටිනවා.