ඔන්න සුදෝ මෙදා පොටේ දානවා රජෝ මුළු ලෝකෙම කොර කරලා තියෙන පට්ට Y Trend එකක්. ඇට බෝල ගහලා, බට්ටෝ පැනලා, කල්ලි ගහලා, ගුඩු අල්ලලා ආතල් ගත්ත කාලේ හීනයක් විතරක් කරපු නූතන සයිබර් ලෝකේ යෞවනයට අයිති කතාව. වරු ගාණක් පැල් බැඳගෙන කතා කරන්න පුළුවන් පට්ට ලොකු මාතෘකාවක් මචෝ මේක. අපි Subject එක ලාවට ටච් කරනවා විතරයි හරිය. හරි ආතල් කඩන් නැතිව කියන්නම්කෝ අද Y Trend වල E Sports ගැන.
මේක පට්ට පතුරු මල් පළතුරු ටොපික් එකක් බ්‍රෝ. සීන් එකට Enter වෙද්දීම ළඟදී අහපු සිරා කතාවක් කියන්නම්. ෆිෆා ලෝක කුසලානයේ ඒ කියන්නේ Football World Cup එක අවුරුදු 4කට පාරක් දිනන ටීම් එකට US ඩොලර් 38 Million වගේ හම්බ වෙනවාලු. එතකොට මචෝ E Sports පැත්තෙන් බැලුවාම අවුරුද්දකට වතාවක් තියෙන හතර දෙනකු Play කරන ෆෝට් නයිට් චැම්පියන් ෂිප් එක දිනන අයට හම්බවෙන තරග මුදල අමෙරිකානු ඩොලර් මිලියන සීයක්ලු. කොහොමද ඒක සුදෝ. මේක වෙනම සීන් එකක්.
ඒ පිටරට. ලංකාවේ කොහෙද ඔහොම සීන් කියලා ඔන්න කාට හරි හිතන්න පුළුවන්. පහුගිය දවසක දැනගත්තේ බ්‍රෝ මේක. ඩිජිටල් ක්‍රීඩා හෙවත් eSports ලංකාව තුළ පිළිගත් ක්‍රීඩා ක්ෂේත්‍රයක් විදිහට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නම් කරලා තියනවා. තව සීන් එකක්. ලංකාව අන්තර්ජාතික eSports සංසදයේ සාමාජිකයෙක්. ශ්‍රී ලංකා eSports සංගමය හරහා වැඩ ගොඩක් කරනවා. ඒත් බ්‍රෝ ඔය Gaming සීන් එකේ ඉන්න අපේ පැංචෝ සමහරු මේවා දන්නේ නෑ. ඔන්න සීන්. ඒ බේසික් ටික තමා Line කරන්නේ. වෙන දවසක මේ සීන් එක ඇතුළේ තියෙන වෙන වෙන Trend ගැන කතාවක් දෙන්නම්.
මචෝ ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන අංග හතරක් තියෙනවා. තේරෙන සිංහලෙන්ම කියන්නම්කෝ. ක්‍රීඩා කිරීම, අන්තර්ගතය, ප්‍රජාව හා දීමනා, පදනම් කරගෙන තමා ඩිජිටල් ක්‍රීඩා අවකාශය නිර්මාණය වෙලා තියෙන්නේ. එම නිසා අන්තර්ජාල සජීවීකරණය (Live Gaming), තමන්ටම වෙන් වූ ක්‍රීඩක ගිණුම (Game Account) වගේ දේවල් මේ සීන් එකට ගොඩක් වටිනවා. ම්ම්ම්.. මෙහෙම කිව්වාට අපේ ගොඩක් සුදාලට තේරෙන්නේ නෑනේ. ඕ සොරි වේවා. ඔය කොම්පියුටරෙන් ෆෝන් එකෙන් කෙල්ලෝ කොල්ලෝ ගේම් ගහනවා නේද? හිතන්නකෝ ඒ ගැම්ම ගැහිල්ල කණ්ඩායම් විදිහට බෙදිලා මේ විශාල ප්‍රේක්ෂකාගාරයේ ඉස්සර කරනවා කියලා. අන්න eSports තමා එව්වා.
මේකට අද අපි ලෝකේ දකින හැම ක්‍රීඩාවකටම වගේ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. මාධ්‍ය ආවරණ තියෙනවා. එතකොට අනුග්‍රාහකයන් ඉන්නවා. වෘත්තීයමය ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. අතිශය ප්‍රසිද්ධ කණ්ඩායම් ක්‍රීඩක තරු ඉන්නවා. ඇත්තට මේක මචෝ වෙනම සංස්කෘතියක්. තවදුරටත් පරිගණක ක්‍රීඩා කියන්නේ අම්මා තාත්තලාගෙන් බැණුම් අහන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒ රටවල අයට මචෝ. ලංකාවේ මේක අද වෙනකොට සැලකිය යුතු ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ඒ ගැන නම් අද කතා කරන්න අමාරුයි.
ආරම්භ කාලවල eSports ගැන සමහරුන්ගේ කැමැත්තක් තිබුණේ නෑ. අන්තර්ජාලය හරහා කෙරෙන සූදු විදහටත් සමහරු මේක හැඳින්වුවා. කොහොම හරි අමෙරිකාවේ යුරෝපයේ මේක උමතුවක් වුණාට මේ සඳහා නිල පිළිගැනීමක් ලැබෙන්න පටන් ගත්තේ රුසියාව පැත්තෙන්. eSports වලදී ක්‍රීඩකයන් එකිනෙකා සමඟ තරග කරන්නේ අතාත්වික අවකාශයක නිසා මේක සාම්ප්‍රදායික ක්‍රියාවට තරමක් ඈතින් තමයි අදටත් තියෙන්නේ. හැබැයි මචෝ මේක සිරාවට Y Trend එකක්. ලෝකෙ පුරා ඉන්න තාරුණ්‍යය බිලියන ගාණක් සීන් එකේ ඉන්න නිසා. එහෙම බැලුවාම නම් ලංකාව තාම ළදරු වියේ.
ඒත් ලංකාවේ සීන් එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා සුන්දරා. 2007 වගේ ඉඳලා Gamer.lk වගේ ආයතන Esports ප්‍රවර්ධනය කරන්න මාර ගේමක් ගැහැව්වා. දැන් කොළඹ කේන්ද්‍රය කරගෙන ලංකාවේ තරගාවලි රාශියක් පැවැත්වෙනවා. දැන් ආයතන මට්ටමෙන් තරගාවලි එහෙමත් පැවැත්වෙනවා. 2019 අවුරුද්දේ වෙළෙඳ සේවා Esports ශූරතාවලියට සමාගම් 115කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරගකරුවන් 800කට වැඩි පිරිසක් සහභාගි වෙලා තියෙනවා මචෝ. මේක අවුරුදු කිහිපයක් තිස්සේ පැවැත්වෙන තරගාවලියක්.
ළදරුයි කිව්වාට ළදරුමත් නෑ වගේනේ. දකුණු ආසියාතික රටවල් අතරින් Esports නිල වශයෙන් ක්‍රීඩාවක් බවට පත් වී ඇති එකම රට ශ්‍රී ලංකාව මචෝ. ආඩම්බරයි Y Trend එකෙන්ම ඒක ගැන නම් සුදෝ. මේ සීන් එකේ උපරිමයේ ඉන්න දකුණු කොරියාව, ප්‍රංශය වැනි රටවල් කිහිපය අතරට එකතු වෙන්න අපිට පුළුවන් වෙයි. මේක කොටින්ම ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට මඟහැරුණු සීන් එකක්. ඒත් දැන් Inter-School Esports Championship එකේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පාසල් 150කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වෙනවා.
මෙතන වැදගත්ම දේ තමා මේ ක්‍රීඩාවල වෘත්තීයභාවය. අපේ රටවලට නම් ඒක හීනයක්. ඒ වුණත් ඕනෑම දෙයක් හරියට කළොත් ගොඩ යන්න පුළුවන්. ආතල් එකට විතරක් පොඩ්ඩක් මේ ලයින් එකේ කැරකෙන එක වරදක් නෑ. හැබැයි Life එක විනාශ කර ගන්න ඇබ්බැහි වෙන්න නම් එපා සුදෝ. කැපවීමක් ඇතුළේ ඉලක්කයක් තියාගෙන යන ගමනක් නම් මරු. හැබැයි අතාත්වික ලෝකේ අතරමං වෙන්න ඔට්ටු නෑ හරිය. මේක වෙනම ආතල් එකක්. පස්සේ දවසක ESPORTS සීන් එකටම අදාළ Trend ටිකක් දෙන්නම්කෝ. මතක තියාගන්න සුන්දරා මී කුණ විකුණලාත් ගොඩ යන්න පුළුවන් හරිය.