ජීවිතය නැවතුණු, හිත නවතින්න බල කරපු, හදවතට නවතින්න අත්‍යවශ්‍ය වුණු හුඟාක් තැන්වලදී මම ජීවිතයේ අත්වින්ඳ එක් යථාර්ථයක් තමයි ඒ... මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.
ආදරය ආදරයම මිස අන් කවරක්ද? හෘද සාක්ෂියට ඒ උත්තරය පිළිගන්න පුළුවන්නම් ඇයි ලෝකය දෙන උත්තර ළඟ අපි අපේ ජීවිත ජීවත්වීම තුළ මරා දමන්නේ...
ආදරයේ නවාතැන් බොහොමයි... ළය ලෙය කිරි නොකළත් තමන්ගේ නොවෙන දරුවෙක් වෙනුවෙන් මගේ නොවෙන මගේම ආදරයක් කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න බැරිද?
පහුගිය අඟහරුවාදා උදේ 5.30 ට ජංගම දුරකථනය නාද වෙද්දී මම ඇස් ඇරියේ ඒ කවුද බලන්න... එදා අපේ පුංචි සුරංගනාවියගේ උපන්දිනය... මාව ලොකු අම්මෙක් කරපු.. මට ලොකු අම්මා කියන.. ආදරේ වැඩිකමට අම්මා කෑල්ල හලලා මට ලොකූ කියලා කතා කරන මගේ ලෝකයේ එක් ලොකුම සතුටක්, ආදරයක්, බලාපොරොත්තුවක් වෙච්ච ඇය සඳදිනිති චමත්කා... ඇය මේ ලෝකයේම චමත්කාරය මට කියා දුන් සඳ දෙව් දුවක්.. ඇගේ ආදරය මට අම්මා තාත්තා නැති පිහිටක් අවැසි දරුවන්ට මා හැමදාමත් දක්වන ආදරය තවත් ඉසව්වලට ගෙනියන්න අලුත් පාරවල් කියාදුන්නා. තමන්ගේම නොවුණත් ආත්මීය ස්නේහයකින් තමන්ගේම කරගත් අය ඔබලාගෙ ලෝකයේත් එක් එක් තැන්වලදී ඔබලාට හමුවෙලා ඇති...
ආදරයෙන් ඇය ඇගේ උපන්දිනයේ සතුට මාත් එක්ක බෙදාගත්තේ හැමදාමත් වගේ කිසිම දෙයක් මගෙන් නොඉල්ලමින්... ඒත් මගෙන් ඇය ලද තෑගි අතර ඇයට විශේෂම දේ තමයි මම රුගෙන දුන් මෙලෝඩිකාව, වයලීනය සහ තබ්ලාව... ඒ හැම සංගීත භාණ්ඩයක්ම ගීතවල ස්වර නොබලමින් මතකයෙන් වයද්දී ඇය මට දෙන සතුටේ ත්‍යාගය තරම් මේ ලෝකයේ මම ලබන තවත් දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ...
ඇගේ ආදරණීය මතකයත් එක්ක මම ගිහින් නැවතුණේ කහානි -2 හින්දී චිත්‍රපටය ළඟ.. කහානි තුළ මුණගැසෙන ඇය ඇගේ කිරෙන් ඇය ආදරය කළ ලෙයකින් මෙලොවට බිහි නොකළ දියණියක් වෙනුවෙන් ඇය ඇගේ මුළු ජීවිතයම සන්තකේට ලියා දෙනවා. ඒ දියණිය අම්මගේ තාත්තාගේ ආදරය නොලබන්නියක්. භෞතික සැප පිරුණු තැනක හැදුණත් ඇගේ ජීවිතයේ හිස්තැන් සියල්ල ඇය කියවන්නේ පුදුමාකාර ආදරයකින්.. ඇය මාතෘත්වය දරුවෙක් බිහි නොකරම ලබන්නට තරම් ආත්මීය ස්නේහයකින් ඒ පුංචි කෙල්ල කෙරේ බැඳෙනවා.. කාගෙවත් ආදරයක් හව්හරණක් ආරක්ෂාවක් නොලබන ඒ පුංචි කෙල්ල වරෙක ජීවිතයෙන් පලා යන්න උත්සාහ කරනවා.. ඒ මොහොතේ ඇයට ජීවත් වෙන්න හුස්මක් එක්ක බලාපොරොත්තුවක් අරගෙන එන්නේ ජීවිතේ අතරමඟකදී හමුවුණු ඒ අම්මා.. ඒ වෙද්දී අර පුංචි කෙල්ල අබ්බගාත වෙලා.. අවසානයේ ඇය ඒ පුංචි කෙල්ල අරගෙන යනවා එංගලන්තයට.. ඒ ඇයව සුවපත් කරන්න. එතෙක් ඇය ජීවිතයත් සමඟ කරන නොහිම් අරගලය පුදුමාකාර දුෂ්කර වෑයමක්.. කහානි චිත්‍රපටය තුළ ඉතාමත් සියුම් සහ මානුෂීය විදිහට ඒ අරගලය සහ ඇගේ ශක්තිය ගැන කතා කරනවා.
ඇත්තටම ගැහැනියක් කියන්නේ වරෙක මහා පොළොවක්. ඇය අකම්පාව දරාගෙන හිඳින ශක්තිය විසල් ශක්තියක්. තවත් වරෙක ඇය මහා සාගරයක් වගේ. ඔබට නිශ්චය කරන්න බැරි තරම් ඇය ගැඹුරුයි. සුන්දරයි. කලාව සහ යථාර්ථය ඇගේ ආත්මය සමඟ බද්ධ වී තියෙනවා මහා පුදුමාකාර විදිහකට. වරෙක ඇය අහසක් වගේ. තේරැම් ගන්න බැරි අනන්තයක්.. මේ සියල්ල තුළ ඇගේ හදවත තුළ ඉපදෙන ආදරය කොන්දේසි විරහිත මහා කතන්දරයක්.. ඇය ආදරය වෙනුවෙන් කැප නොකරන්නේ මොනවද? පරිත්‍යාග නොකරන්නේ මොනවද?
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ... ඇයගේ කතාවත් එහෙම කතාවක්.