2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ලකී ඩයස්ගේ එකම දුව මම කියලා ලණුවක් දුන්නා...

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

නිලන්ති.... මොනවද මේ දවස්වල අලුත් විස්තර?
අලුතින් පටන්ගන්න රියැලිටි වැඩසටහනකට සහභාගි වෙන්න පුහුණුවීම් කටයුතු කරනවා. ඉදිරියේදී අලුතින් කරන්න තියෙන ටෙලි නාට්‍යයකටත් ආරාධනාවක් ලැබුණා. ඒ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පටන් ගත්තා. තව මියුසික් වීඩියෝ දෙකකුත් කළා.ඕවා තමයි මේ දවස්වල අලුත් තොරතුරු.

නිලන්ති ඔබට යාළුවෝ කොච්චර ඉන්නවාද?
මට යාළුවෝ ඇත්තටම ගොඩක් නෑ. කිහිප දෙනෙකු විතරයි ඉන්නේ.

ඔබට ඒ ඉන්න මිතුරන් කිහිප දෙනාගෙන් හිතවත්ම මිතුරෙක් හෝ මිතුරියක් ඉන්නවාද?
ඒ ඉන්න ටික දෙනාගෙන් මම ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් තමයි රජිත හිරාන්. (පිංපොං)

කොහොමද ඔබට මුලින්ම රජිතව හමුවන්නේ?
මට රජිතව මුලින්ම හමුවුණේ මීට අවුරුදු විස්සකට විතර කලින්. චිත්‍රපටයක මුහුරත් උළෙලකදී තමයි මුලින්ම මුණගැසුණේ. ඒ කාලයේ එයා හරි ප්‍රසිද්ධයි පිංපොං චරිතයෙන්. ඒ කාලයේදී මමත් හරි ආසා කරපු චරිතයක් තමයි පිංපොං කියන්නේ. ඉතින් එදා තමයි අපි මුලින්ම මුණගැසුණේ. එදා ඉඳන් අපි දෙන්නා හොඳ යාළුවෝ.

ඔබ අවුරුදු විස්සක පමණ කාලයක් රජිතව හොඳ මිතුරෙකු විදිහට ආශ්‍රය කරනවා. මොනවාද ඒ හොඳ කියලා අදහස් කළේ?
රජිත කියන්නේ ඇත්තටම සතුටින් ඉන්න කෙනෙක්. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී අපිට උදව් කරනවා. මම දන්නැති දෙයක් තියෙනවා නම් රජිතගෙන් තමයි ඒ දේවල් අහන්නේ. මොකද රජිත කතාවට ගොඩක් දක්ෂ කෙනෙක්. අනිත් දේ තමයි, හොඳ අදහස් තියෙන කෙනෙක් තමයි රජිත කියන්නේ. ඒ වගේම එයාගේ බිරිඳත් හරිම හොඳයි. ගොඩක් වෙලාවට අපේ ගෙදර උත්සවයක් හෝ මොනයම් දෙයක් තිබුණත් අපි රජිතගේ පවුලට කියනවා. එයත් එහෙමයි. ඒ වගේම ටී.වී. වැඩසටහන්වලදීත් මට ගොඩක් වෙලාවට මුණගැසෙන කෙනෙක් තමයි රජිත. අනිත් දේ තමයි කිසිම කුහකකමක් නෑ. එළිපිට ඕන දෙයක් කරනවා කියනවා. ඔය වගේ හේතු නිසා තමයි මම රජිතව හොඳ යාළුවෙක් විදිහට ඇසුරැ කරන්නේ.

අවුරුදු විස්සක යාළුකම තුළදී ඔබ දෙන්නා අතර ගැටුම් ඇතිවෙලා නැද්ද?
එහෙම කවදාවත් අපි දෙන්නා රණ්ඩු වෙලා නෑ. තරහා වෙලා ඉඳලත් නෑ. අපි දෙන්නා එකට චිත්‍රපටවල රඟපාලත් තියෙනවා. ටී.වී. වැඩසටහන්වල ගොඩක් වෙලාවට මුණගැහෙනවා. ඒත් කිසිම දවසක තරහාවෙලා නෑ.

ඉදිරි කාලයේදී කවදා හෝ දවසක රජිත ඔබත් එක්ක හිත් අමනාප වුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද?
එයා මාත් එක්ක කිසි දවසක තරහ වෙන එකක් නැහැ. තරහ වුණොත් ඇත්තටම මට ගොඩක් දුක හිතෙයි. හොඳ යාළුවෙක් මට නැති වුණා කියලා.

නිලන්ති, ඔබ රජිතගෙන් දකින අඩුපාඩු මොනවාද?
මම රජිතගෙන් දකින අඩුපාඩු තමයි, හැමතිස්සේම අනවශ්‍ය දේවල් කතා කරන්න යන එක සහ කට පරිස්සම් කරගන්නේ නැතිව කතා කරන එක. ඉතින් එතකොට ප්‍රශ්න ඇතිවෙනවා. අනික කිසිම කෙනෙකුට බය නෑ. තව දෙයක් තමයි දඩබ්බර වැඩ කරනවා එක එක අයට. ඔන්න ඔය දේවල් තමයි මම රජිතගෙන් දකින අඩුපාඩු.

මොනවාද ඒ දඩබ්බර වැඩ?
සමහර ඒවා කියන්නත් බැරි තරම්. නොයෙක් දේ කරලා තියෙනවා. එක දවසක් දුර පළාතක වැඩසටහනකට ගිය වෙලාවක එතැන හිටිය නිවේදක මහත්තයාට මගේ නම දීලා තිබුණේ ලකී ඩයස්ගේ එකම දියණිය නිලන්ති ඩයස් කියලා. ඔන්න ඔය වගේ වැඩ කරලා තියෙනවා. තව අනූෂාටත් ඔය වගේ වැඩ කරලා තියෙනවා.

අවසාන වශයෙන් ඔබට මොනවාද රජිතට කියන්න තියෙන්නේ?
මට කියන්න තියෙන්නේ ඉදිරියටත් මේ යාළුකම හොඳින් තියාගෙන කට පරිස්සම් කරගෙන ඉන්න කියලා තමයි.