ඔයා කොහොමද ගැහැනිය සහ පිරිමියා දකින්නේ... ඔයා කොහොමද ගැහැනිය සහ පිරිමියා නිර්වචනය කරන්නේ... ජීව විද්‍යාත්මක විවරණයක් නෙවෙයි මම ඔයාගෙන් ඉල්ලන්නේ...
ආධ්‍යාත්මික සහේතුකත්වයෙන් පිරිච්ච ගැඹුරු උත්තරයක් මම ඉල්ලන්නේ. පෑනෙන් ජීවිතය සහ ලෝකය කියවමින් යන මේ වින්දනාත්මක චාරිකාව ඇත්තටම සුන්දරයි. මේ ලෝකයේ හුඟක් මිනිස්සු මට හමුවුණේ සහ ඒ ඒ මිනිස්සුන්ගේ මනෝභාවයන් මම හදවතින් ස්පර්ශ කළේ හුදෙකලා සුවිසැරියක නිමග්නව...මට හුඟක් ගැහැනුන් සහ පිරිමින් මුණගැසුණේ මම කියවපු පොත්වල අකුරු අතරේ සහ මගේ ඇස නැවතුණු සිනමා රූපකාරක අස. පෙනෙන දේ තුළ සැඟවුණු නොපෙනුණු දෙය දකින්න සහ මිනිසුන් නොකියන දේ කියවන්න පොත් පිටු අතර සිනමා කාව්‍යන් අතර සැරිසරන්න... ඉන් එහා ගැඹුරින් මිනිසුන් සහ මිනිසුන්ගේ මනෝභාවයන් ඇත්තටම ඇත්ත විදිහට කියවන්න පුළුවන් තවත් තැනක් නැහැ කියලයි මට හිතෙන්නේ බෞද්ධ දර්ශනය තුළ හැර. මනුෂ්‍යයා කියන්නේ ආදරය වගේම නිශ්චිත නිර්වචනයකට ලඝුකරන්න බැරි ස්වභාවධර්මයේ තවත් එක් නිර්මාණයක්. ඔයාට හිතිලා නැද්ද මිනිස්සු ඇයි මෙච්චර තමන් අත්හැර අනිත් මිනිසුන් ගැන වදවෙන්නේ සහ වගවෙන්නේ කියලා. ඇයි මිනිස්සු තමන් නොසොයමින් අනිත් මිනිසුන් සොයන්නේ කියලා... ඒ සෙවීම අවසානයේ මිනිසුන් ලබන පලය හා ආත්ම තෘප්තිය මොකක්ද කියලා ඇත්තටම ඔයාට කවදාවත් හිතිලා නැද්ද?
මිනිසුන් මිනිසුන්ව ප්‍රශ්න නොකරන්නේ කොතනදීද? මිනිසුන්ට තමන් ලද ජීවිතය වෙනුවෙන් තමන්ට ඇති නිදහස, මිනිසුන්ට ලිංගිකත්වය වින්දනය කිරීම වෙනුවෙන් ඇති නිදහස මනුෂ්‍යත්වයට ගෞරවයක් දෙමින් පිළිගන්න බැරි අන්ත කුහක වැඩවසම්වාදී ජරාජීර්ණ අධ්‍යාත්මයක් සහිත සමාජයක තමයි ඔයත් මමත් නිදහසින් ඉගිල්ලෙන්න අත්තටු හොයන්නේ... තමන්ගේ හෘද සාක්ෂිය කියන අධිකරණය ඉදිරියේ තමන්ට නිර්දෝෂී මිනිහෙක් හෝ ගැහැනියක් විය හැකි නම් ඔහු හෝ ඇය ප්‍රශ්න කරන්න ලෝකයට අයිතියක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ... අනෙකාට හානියක් නැත යන තැනින් තමන්ගේ නිදහසේ සීමාව සලකුණු කළ හැකි නම් ඒ නිදහස ප්‍රශ්න කරන්න ලෝකයට අයිතියක් නැහැ කියන තැනයි මම ජීවත් වෙන්නේ... ඔයත් ඔයත් එක්ක කතාකරලා ඔයා ජීවත්වෙන තැන නිශ්චය කරන්න.
අර්ධ නාරි කියන හින්දී සිනමා රෑපකාරකය මාව හුඟාක් ඉසව්වලට රුගෙන ගියා... මට හිතෙනවා හැම ගැහැනියක් තුළම පිරිමියෙක් සහ හැම පිරිමියෙක් තුළම ගැහැනියක් ජීවත් වෙනවා කියලා... සමාජයෙන් ලැබෙන නොයෙක් උත්තේජන වධහිංසා සහ තාඩන පීඩන තුළ ගැහැනිය තුළ ජීවත්වන ඒ පිරිමියා සහ පිරිමියා තුළ ජීවත්වන ඒ ගැහැනිය ගැහැනියට හා පිරිමියාට සමපාතව එකවිට නැගී හිඳින්න පුළුවන්. ස්ත්‍රීත්වය යටපත් කරගෙන පුරුෂභාවය සහ පුරුෂභාවය යටපත් කරගෙන ස්ත්‍රීත්වය මතුවෙන්න තරම් ප්‍රබල විය හැකි ආත්මීය සංසිද්ධියක් ගැන තමයි අර්ධ නාරි හෙවත් අර්ධ ගැහැනිය යන සිනමා රෑපකාරකය තුළ ඉතා සියුම් ලෙස කතා කරන්නේ.
ඉවසිය නොහැකි සමාජ අසාධාරණයට පිළිතුරු සොයන්න අර්ධ ගැහැනියක් ලෙස ජීවත්වෙන පිරිමියෙක්ගේ වේදනාත්මක අතීත කතාවක් වටා තමයි මේ සිනමා කාව්‍ය ගෙත්තම් වෙන්නේ. නීතිය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සර්ව සාධාරණ ලෙස පෙනී සිටින දවසක් ඇත්තටම තියෙයිද? නීතිය පෙනී හිඳින්නේ වරදට දඬුවම තීරණය කිරීම වෙනුවෙන් පමණක් කියලයි මට හිතෙන්නේ. නීතියේ ආධිපත්‍ය තුළ මිනිසා ජීවත්වීම තුළම මරණයට පත්වෙන්නේ නීතිය වරදෙහි ස්වභාවය මිස වරදෙහි ගැඹුර, වරදට පෙළඹීමේ හේතුව, එසේ වරදට පෙළඹීමේ හේතුව පිටුපස ඇති සාධාරණ හා අසාධාරණ බව සොයන්නට තරම් මානුෂවාදී ඉඩහසරක් නිර්මාණය නොකිරීම යන සාධක තුළ බවයි මගේ විශ්වාසය...
ඒ අන්ධ අර්ධ පවුරෙන් එහා මනුෂ්‍යත්වය තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු වෙන දවසක් ගැන අපට විශ්වාසය තියන්න පුළුවන්ද? මනුෂ්‍ය චින්තනයේ දිශානතිය සැබෑ වෙනසක් යන පරමාදර්ශය තුළ වෙනස් නොකරන තෙක් එය කළ නොහැකිය... ඒ තමා මගේ උත්තරය...