2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

වෙලාවකට මුකී හරිම නපුරියක්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

ශලනි.... මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල දෙවැනි ඉනිම රූගත කිරීම් කරනවා. ඒ වගේම පොඩි අලුත් වැඩ වගයකුත් කරන ගමන් තමයි ඉන්නේ.

ශලනි ඔබට කොච්චර මිතුරු මිතුරියෝ ඉන්නවාද?
මට ලොකුවට යාළුවෝ නැහැ. ඉන්නේ බොහොම ටික දෙනයි.

වැඩිපුර ඔබට සිටින්නේ පිරිමි යහළුවෝද? ගැහැනු යහළුවෝද?
මම ගොඩක් ආශ්‍රය කරන්නේ ගැහැනු යාළුවන්ව.

ඔබ ආශ්‍රය කරන යහළුවෝ ටික දෙනාගෙන් ඔබගේ හදවතට හුඟාක් ළෙන්ගතුව දැනිච්ච යහළුවෙකු ඉන්නවාද?
ඔව් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි ශානියා ප්‍රනාන්දු.

ශානියාව කොහොමද ඔබට මුලින්ම හමුවන්නේ?
මට ඉස්සෙල්ලාම ශානියාව මුණගැහුණේ පාසලේදි. හැබැයි අපි දෙන්නාගේ යාළුකම පටන්ගත්තේ වලියකින්. ඒ වලියකින් පටන්ගත්ත යාළුකමට දැන් අවුරුදු 10ක් වෙනවා.

මොකක්ද ඒ වලිය?
අපි පාසල් යන කාලයේ වැඩියෙන් දුරකතන, පරිගණක හැමෝටම තිබුණේ නැහැ. ඒ දේවල් තිබුණේ නැති කාලේ ළමයි ඉංග්‍රීසි සින්දු, හින්දි සින්දු ලියාගෙන ඇවිල්ලා යාළුවන්ට දෙනවා ඒවා ලියාගන්න. ඉතින් එක දවසක් ශානියාත් ගෙදර ඉඳන් පාසල් එනකොට ඉංග්‍රීසි සින්දුවක් ලියාගෙන ආවා.  ඉතින් ඒ සින්දුව ළමයි ඔක්කොටම ලියාගන්න ශානියා දුන්නා. කොහොම හරි මගේ ළඟට ඔය සින්දුව ආවේ අන්තිමට. ඉතින් මම ශානියාට කිව්වා මම මේ සින්දුව ගෙදර ගිහිල්ලා ලියලා ඔයාට හෙට ගෙනැල්ලා දෙන්නම් කියලා. ඒත් ශානියා කිව්වා බෑ කියලා. මට ඉතින් ටිකක් ඒකට තරහ ගියා. ඊටපස්සේ මම ඒ සින්දුව ලියලා තිබුණ කොළයට වතුර හැලුවා. ඊටපස්සේ අපි දෙන්නා රණ්ඩු කළා. පස්සේ ශානියා ඉස්කෝලෙ ඉවරවෙලා ගිහින් අපේ අම්මාට කිව්වා. ශලනි මගේ සින්දු කොළේට වතුර හැලුවා කියලා. අපේ අම්මා මට බැන්නා. ඊට පහුවදා මම ශානියාගේ අම්මාට කිව්වා. ශානියා මට සින්දුව දුන්නේ නෑ කියලා. ඔය රණ්ඩුවෙන් පස්සේ අපේ අම්මයි ශානියාගේ අම්මයි යාළුවෝ වුණා. ඊටපස්සේ අපි දෙන්නත් හොඳම යාළුවෝ වුණා. ඔන්න ඔහොම තමයි අපි දෙන්නගේ යාළුකම පටන් ගත්තේ.

ශලනි ඔබට ශානියාව හමුවුණ අවසාන දවස මතකද?
 O/L පන්තියට වෙනකම් අපි දෙන්නා එකටමයි හිටියේ. දැන්නම් එයා රට ඉන්නේ. ශානියා රට යන්න කලින් දවසක අපි දෙන්නා චිත්‍රපටයක් බලන්න ගියා. මුහුදු වෙරළට ගියා. ගොඩක් තැන්වල ඇවිද්දා. එදා තමයි මමයි ශානියයි අවසාන වතාවට මුණගැසුණේ. හැබැයි එයා රට ගියාට පස්සේ අපි දෙන්නා ෆේස්බුක්, වට්ස්ඇප්වලින් නම් හැමදාම කතා කරනවා. අවසාන වතාවට මුණගැසුණේ එයා රට යන්න කලින් දවසේ. හරි දුකයි. ශානියා 2020 අගෝස්තු මාසයේ එන්න හිටියේ. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා එයාට එන්න බැරිවුණා.

ශලනි ඔබ අහලා ඇති ගොඩක් වෙලාවට හොඳම යාළුවාට ආදරේට හෝ යාළුකමට වෙනත් නම්වලින් කතා කරනවා. ශානියාට කතා කරන්නත් එහෙම නමක් තිබුණද?
එයාට Pet Name එකක් තියෙනවා. ඒ තමයි මුකී (Muki) මේ Pet Name එක කවුරුත් දන්නේ නෑ. මමයි ශානියාගේ පවුලේ කට්ටියයි විතරයි දන්නේ.

මුකී කියලා Pet Name එකක් දාන්නේ ඇයි? මුකී කියන නමේ තේරුම කියන්නකෝ?
මුකී කියන නම එයාගේ අම්මයි තාත්තයි ඇත්තටම එයාට දාන්න ගිය නමක්. ඒ නම ඉතාලි නමක්. මම තේරුම නම් දන්නේ නෑ. එයා ඉපදිලා තියෙන්නේ ඉතාලිවලදී. ඒ නිසා තමයි එයාගේ අම්මයි තාත්තයි ඒ නම දාන්න ඉඳලා තියෙන්නේ. හැබැයි එයාට ඇත්තටම දැම්මේ ශානියා කියලා. හැබැයි මුකී කියන නම එයාගේ Pet Name එක විදිහටම තිබෙනවා.

මුකී කොහොමද ඔබට කතා කරන්නේ?
මට එහෙම එක නමක් නෑ. එක වෙලාවකට බෝලේ කියනවා. තව එයාට හිතුණු හිතුණු නම් කියනවා.

ශලනි ඔබගේ සහ ශානියාගේ යාළුකම පටන් ගත්තේ රණ්ඩුවකින්. ඒ රණ්ඩුවට පස්සේ ඔබ දෙන්නා අතර නැවත රණ්ඩු ඇතිවුණේ නැද්ද?
හිසේ කෙස් ගාණට රණ්ඩු කරගෙන තියෙනවා. වැඩිපුරම රණ්ඩු වෙන්නේ දුරකථන ඇමතුමක් ගත්තම කතා නොකර ඉන්න එකට. ඉතින් මම කියනවා දැන් ඉතින් ඔයාට ඉතාලියේ යාළුවෝ ඉන්නවානේ. ලංකාවේ මාව අමතක කරලානේ කියලා. ඔන්න ඔය වගේ රණ්ඩු තමයි දැන්නම් වෙන්නේ.

ඔබ දැන් රංගන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ ගැන ශානියා මොනවාද කියන්නේ?
එයා ඒකට හරි කැමතියි. එයා හිනාවෙනවා. ඉස්සර කොහොමද අපි හිටියේ. මමයි ශානියයි නෙට්බෝල් ටීම් එකේ හිටියා. හැබැයි රඟපානවා කියන දේ මගේ ඔළුවේ තිබුණේම නැති දෙයක්. ඉතින් එයා ඒ දේ දැක්කාට පස්සේ පුදුම වුණා. හොඳම දේ තමයි මම ඒ නාට්‍යයේ අහිංසක චරිතයක්නේ කරන්නේ. හැබැයි මම සැබෑ ජිවිතේ එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් ඔය ගැන කිය කියා හිනාවෙනවා. ශානියා ඇත්තටම සතුටු වෙනවා මම රඟපාන විදිහ දැකලා.

ඉදිරි කාලයේදී ඔබ දෙන්නා ඇත්තටම තරහ වුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද?
අම්මෝ.... ඒක වෙන්නේ නෑ. එහෙම වුණොත් එයා මොනවා කරයිද දන්නේ නෑ. මම නම් අඬයි. මොකද මගේ හැමදේම දන්නේ එයා. මම මොන දේ වුණත් මගේ හැමදෙයක්ම කියන්නේ එයාට. උදාහරණයක් වශයෙන් මම රංගන කටයුතුවල නිරතව ඉද්දි වැටුණා කියන්නකෝ. ඒ වෙලාවට මම දුකින් ඉද්දි එයා කතා කරලා මාව සනසනවා. ඕක ගණන් ගන්න එපා බං ඔහොම දේවල් වෙනවා කියලා මාව දිරිමත් කරනවා. ඒ තරම් මට ආදරෙයි. ඉතින් මම කවදාවත් හිතන්නේ නෑ අපි ඇත්තටම තරහ වෙයි කියලා.

කොච්චර හොඳ යාළුවෙක් වුණත් කුමක් හෝ අඩුපාඩුවක් ඕනෑම කෙනෙකුගේ තියෙන්න පුළුවන්. මුකීගේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
එයාට හරියට කේන්ති යනවා. හරියට කුකුල් කේන්තිය වගේ. ඒවාගේම එයා වෙලාවකට හරි නපුරුයි. මම රණ්ඩු කරගන්නෙත් නපුරුකම වැඩි හින්දා. හැබැයි කොච්චර නපුරු වුණත් හිත හොඳයි. ඔය කතාවකුත් තියෙනවානේ නපුරු කට්ටිය හිත හොඳයි කියලා.

ශලනි ඔබ සහ ශානියා පාසල් කාලයේදී කරපු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අපි දෙන්නා උගන්වද්දී පන්තියේ ඉන්නේ නැතිව පුස්තකාලයට වෙලා ඉඳලා තියෙනවා. තව හොරෙන් කෑම කාලා අහුවෙලා ගුටි කාලා තියෙනවා. O/L පන්තියට වෙනකම් අපි දෙන්නා හිටියේ එකට A/L වලදී අපි දෙන්නා දෙකක හිටියේ. ඒත් එයා හිටියේ එහා පන්තියේ. සමහරවෙලාවකට මම මොකක් හරි වැරුද්දකට අහුවෙලා හිටියොත් එයා බොරුවට වොෂ් රූම් යනවා කියලා මට විහිළුවට හිනාවෙලා යනවා. ඒ මාව අවුස්සන්න. ඔන්න ඔය වගේ වැඩ තමයි පාසල් කාලයේ අමතක නොවන සිදුවීම්.

අවසාන වශයෙන් ශානියාට මොනවද ඔබට කියන්න තියෙන්නේ?
කොච්චර රණ්ඩු වුණත් මම එයාට ආදරෙයි. එයාව දකින්නේ නැතිව මට ගොඩක් පාළුයි. මම අගෝස්තු මාසේ වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ එයා එනකම්. ඒ වගේම මම ජේසුගෙන් ඉල්ලවා එයා ආස කරන දේවල් ආසකරන හීන හැම දෙයක්ම ඉෂ්ඨ වෙන්න වාසනාව ලැබෙන්න කියලා. ඒ ගමන්ම ශානියාගේ අම්මාවයි තාත්තාවයි ආදරයෙන් මතක් කරන්න ඕනේ. මොකද මගේ තාත්ති මම චූටි කාලේදීමයි මට නැතිවුණේ. ඉතින් ශානියාගේ අම්මයි තාත්තයි රට ඉද්දි ශානියාට මොනවා හරි එවනවා නම් අනිවාර්යයෙන් මටත් මොනවාම හරි එවනවා. ඒ තරමට මට ආදරෙයි ඒ දෙන්නා. ඒ නිසා මම ඒ දෙන්නවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම නැවත වතාවත් ඇන්ටිටයි අන්කල්ටයි ස්තූති කරනවා ශානියා වගේ බූරු පැටියෙක් බිහිකළාට. ඒ නිසානේ මට ශානියා වගේ යාළුවෙක් ලැබුණේ.