2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

සමුගැනීමක් නෑ ලොවේ කිසිදාක.........

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 86

ගුරු ගීතයට මම හැමදාමත් ආදරෙයි... හෝඩි පොතේ අකුරුවලින් පටන්ගෙන ජීවිතයම කියා දෙන ගුරුවරු ජීවන ගමන් මගේදී හමුවන්නේ කලාතුරකින් කියලා මට හිතෙන්නේ. චිංගීස් ආයිත්මාතව් ලියූ ගුරු ගීතයේදී ඒ වගේ ආදරණීය විප්ලවීය පරාර්ථකාමී ගුරුවරයෙක් මට හමුවුණා. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් හදවතේ ලියාගත්ත මිනිස්සු හමුවීමම විරල යථාර්ථයක්. 

මටත් මගේ ජීවිතයේදී එහෙම එක් ගුරැවරයෙක් මුණගැහුණා. ඉගෙනගන්න විෂයට එහා ජීවිතය සහ ලෝකය ගැන කියා දුන්න ඒ ගුරැවරයා ගැන මගේ හිතේ හැමදාම තියෙන්නේ කවදාවත් හිත අත්නොහැර යන භක්ත්‍යාදරයක්.
The black හින්දී චිත්‍රපටයේත් එවැනි ගුරැවරයෙක් මට හමුවුණා. The black කියන්නේ අතිශය සියුම් සහ සංවේදී ප්‍රස්තුතයත් ඔස්සේ දිගහැරෙන සිනමා රෑපකාරකයක්. ඇය කුඩා වියේ සිටම අන්ධ දැරිවියක්. ලෝකය දකින්න ඉඩහසරක් අහිමිවීමේ ඛේදවාචකය තුළම ඇය තුළ කිසිවෙකුට පාලනය කළ නොහැකි දැඩි හිතුවක්කාරකමක් තියෙනවා. ඇය ඉල්ලන ආදරය ඇගේ අවශ්‍යතාව තේරුම් ගන්න තරම් ඇගේ තාත්තා ඈ කෙරේ සංවේදී වෙන්නෙ නැහැ. ඇයව අහන්න ඇයට ආදරය දෙන්න ඉන්නෙ ඇගේ අම්මා විතරයි. ඒත් ඇගේ හදවත ගැඹුරින් කියවන්න තරම් ඒ අම්මාටත් ඒ සා ඉසියුම් හදවතක් නෑ. ඒ සියල්ල තුළ ඇය අත්විඳින හුදෙකලාව විසින් ඇය මහා හිතුවක්කාරියක් බවට පරිවර්තනය කරනවා. ඇය කෑගසා ඇය ජීවත්වන සදාතනික අන්ධකාර‌ෙයන් පලා යන්න මඟක් හොයනවා. ඇයට වෙනස්ම ගුරුවරයෙක් මුණගැහෙන්නේ අන්න ඒ කාලයේදී. ඒ ගුරැවරයාටත් ඇගේ ලෝකයට පිළිගන්න ඇය මුලින් සූදානම් නැහැ.
එහෙත් ඒ ගුරුවරයා හරිම සහකම්පනයකින් ඒ පුංචි දැරිවියගේ හදවත අකුරින් අකුර කියවනවා. ඒ කියවීම තුළ ඇය හොයන ආදරය ඇය ඉල්ලන ජීවිතය ඔහු ළඟ ඇති බව ඇයට දැනෙනවා. ඇය තම ගුරැවරයා ළඟ කීකරු සිසුවියක් වෙන්නේ ඒ තේරුම් ගැනීමත් එක්ක.

අවසානයේ ඇගේ ලෝකයේ එකම සැරිසරන්නා ඒ ගුරුවරයා විතරක්ම වෙනවා. තාත්තාගෙන් ඇය නොලබන ආදරයත් ඇය හොයන්නේ ඒ ගුරුවරයාගෙන්.
ඒක මහා අපූරු විරල බැඳීමක්. ඇය කෙමෙන් යුවතියක් බවට පත්වෙද්දී දවසක් දා පල්ලියේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙද්දී මුල්වරට ආදරය ගැන හැඟීමක් ඇගේ හිතට ගොඩවදිනවා. ඇය ඇගේ ගුරැවරයාගේ හදවත ඉල්ලනවා. ඇගේ මානසික ලෝකය වෙනස්වෙන්න පටන් ගන්නේ පල්ලියේ ඒ විවාහ මංගල්‍යයත් එක්ක.

ඇය අත්හැරිය යුතු කාලය ඇගෙන් නික්මී යා යුතු කාලය එළඹ ඇති වග ගුරැවරයා තීරණය කරනවා. ඇගේ ජීවිතයේ මහා කඩාවැටීමක් ඇරඹෙන්නේ ගුරැවරයාගේ ඒ තීරණයත් එක්ක. ආදරය නිසාම ආදරය අත්හරින තැන් අපිට ජීවිතයේ හමුවෙනවා. ආදරය නිසා අයිතිය සහ ආදරය හොයන මිනිස්සුන්ට වඩා ආදරය නිසා ආදරය අත්හරින මිනිස්සු ළඟ තියෙන්නේ පුදුමාකාර ආදරයක් හා පරාර්ථයක්. මට හිතෙන්නේ ආදරය නිසා ආදරය අත්හරින තැනක තියෙන්නේ උත්තරීතරම පරාර්ථයක්. ඇය යළි නොසිතූ හුදෙකලාවක අතරමං වන්නේ ගුරුවරයාගේ ඒ නික්ම යාමත් එක්ක. එතැන් සිට සදාතනික අන්ධකාරයත් සමඟ ලෝකය තුළ සැරිසරන ඇය ජීවිතය සමඟ හුදෙකලා අරගලයක නිරත වෙනවා. ඒ අරගලය තුළ ඇය කිසිදු විටෙක ජීවිතය අත්හරින්න ලෑස්ති නෑ. ඇය ගුරැවරියක් ලෙස ජීවිතයේ තවත් එක් පිටුවක් පෙරළනවා. ඇය ජීවිතයේ හැම අභාග්‍යයක්ම වාසනාවක් බවට පරිවර්තනය කරගන්නවා.

ජීවිතයේ සිද්ධවෙන හැම සංසිද්ධියක්ම තීරණය කරන්නෙ කවුද කියලා වෙලාවකට හිතෙනවා. මම විශ්වාස කරන එක දෙයක් තමා කිසිදු සමුගැනීමක් සදාකාලික නෑ. හැම සමුගැනීමක්ම යළි මුණගැසීමක් බවට පත්වෙන්න පුළුවන්.
ඒත් ඒ දවස වෙද්දි මුලින් මුණගැසීමේ මතක සේයා හුඟාක් වෙනස් චිත්‍රයක අවර්ණවත් ශේෂයන් විදිහට වෙන්න පුළුවන් අපේ හදවතේ රැඳී තියෙන්නේ.
ඇය ජීවිතය තනියෙන් දරාගෙන ඇගේ ගමන යද්දි ඇයට අත්හැරැණු ඒ ගුරැවරයා හමුවෙනවා. ජීවිතය කියන්නේ මහා ආශ්චර්යක්. ජීවිතය කියන්නේ අපිට හමුවන ප්‍රශ්නවලට අපි උත්තර හොයද්දි ඒ උත්තර ඉල්ලමින් අපි සැරිසරන මාවත්වල එකතුව කියලා මට හිතෙනවා.

ඇයට ජීවිත කාලයත් පුරා හව්හරණ දුන් ඔහුට ඇය අවසානයේ මහා හයියක් වෙනවා. ඇස් නොපෙනන ඇය ඇස් නොපෙනෙන ඔහුට ජීවිතය පරිත්‍යාග කරන්න පේවෙනවා. ඒ හඳුනාගැනීම, ඒ අතීත සුවඳ, ඒ අතීත සුවඳ විසින් ජනනය කරන චමත්කාරය හරි සුන්දරයි. 
ඒ සුන්දර හැඟීමත් එක්ක The black බලන්න. අපේම ජීවිතවල අහුමුලුවලට ඔවුන් අපව රැගෙන යාවි...