2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

මගේ හොඳම යාළුවා හරියට කොස් ගෙඩියක් වගේ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 272

නිරංජනී මොනවාද මේ දවස්වල අලුත් තොරතුරු?
සංජය නිර්මාල් අයියාගේ සීට්ස් කියලා අලුත් චිත්‍රපටයක් රෑගත කිරීම් කරලා ඉවර කළා. තව චන්දන සර්ගේ වැඩකුත් කරන ගමන් වේදිකා නාට්‍යයකට ආරාධනාවකුත් ලැබිලා තියෙනවා.

නිරංජනී ඔබ මිතුරු මිතුරියෝ කොච්චර වගේ ආශ්‍රය කරනවාද? 
මට යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. හැබැයි හොඳම යාළුවා කියලා ඉන්නේ එක්කෙනයි.

ඒ හොඳම යාළුවා පිරිමි යාළුවෙක්ද? ගැහැනු යාළුවෙක්ද?
එයා ගැහැනු යාළුවෙක්.

කවුද ඒ?
එයාගේ නම තමයි රිස්කා රාසික් 

නිරංජනී කියමුකෝ එහෙනම් ඔබගේ සහ රිස්කාගේ මිතුදම පටන් ගන්නේ කොහොමද කියලා?
මම මුලින් ඉගෙන ගත්තේ රජවේල්ල හින්දු ජාතික පාසලේ. ඊටපස්සේ මම ඒ පාසලෙන් අයින් වුණා 8 වැනි ශ්‍රේණියේදී. ඉන්පසු 8 වැනි ශ්‍රේණියේ සිට මම නුවර බදි උද් දින් මහමුද් බාලිකා ජාතික පාසලට ගියා. ඒ පාසලේදී තමයි මට රාසිකාව මුලින්ම හමුවන්නේ. ඒ 8 වැනි ශ්‍රේණියේදී පටන් ගත්ත මිතුදමට දැන් අවුරුදු 20ක් විතර වෙනවා.

නිරංජනී ඔබට මතකද රාසිකාව ඔබට අවසාන වතාවට හමුවුණු දවස?
මට එයාව හැමදාම හමුවෙනවා. මොකද එයා ඉන්නේ මාත් එක්ක අපේ ගෙදර. 

නිරංජනී ඔබ රිස්කාට කතා කරන Pet Name එක මොකද්ද?
රිස්කාගේ Pet Name එක තමයි පිලාකා

පිලාකා කියන නමේ තේරුම මොකද්ද?
පිලාකි කියන්නේ දෙමළින් කොස්වලට. එයාට පිලාකා කියලා නම දැම්මේ එයා මහත නිසා. හරියට කොස් ගෙඩියක් වගේ. මම මගේ ෆෝන් එකෙත් එයාගේ නම දාලා තියෙන්නේ පිලාකා කියලා.

ඔබට කොහොමද පිලාකා කතා කරන්නේ?
මට කතා කරන්නේ නිරා කියලා.

නිරා ඔබගේ සහ පිලාකාගේ පාසල් කාලයේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. මම ගියපු පාසල මුස්ලිම් පාසලක්. ඒ පාසලේ තියෙනවා ඉස්ලාමික් දිනය කියලා එක දවසක්. එදාට අපි හැමෝම කරන්නේ ඉස්ලාම් ආගමට අදාළ දේවල්. ඒ කියන්නේ ඉස්ලාම් ආගම ගැන කතා, සින්දු, නාට්‍ය වගේ දේවල්. අපි කරනවා. මට සින්දු කියන්න පුළුවන් නිසා මට ආසයි ඒ තරගයට ඉදිරිපත් වෙන්න. හැබැයි මම ඉස්ලාම් සින්දු දන්නේ නෑ. ඉතින් ඒ කාලේ තිබුණා දමිළ චිත්‍රපට. ඒ දමිළ චිත්‍රපටවල තිබෙන සින්දුවල තනුවට ඉස්ලාම් ආගම ගැන තියෙන කතා දාලා සින්දු හදලා දෙනවා මට. ඒ කියන්නේ නබිතුමා ගැන අල්ලා ගැන තිබෙන කතා දාලා දමිළ භාෂාවෙන් ගීත හදලා දෙනවා. ඊටපස්සේ මම ඒ සින්දු පාඩම් කරලා මුස්ලිම් ළමයෙක් වගේම ඇඳලා ඒ සින්දුව ගායනා කරනවා. හොඳම දේ තමයි මම ඒ පාසලට ගිය දවසේ ඉඳන් ඉස්ලාමික් දිනයේ ගායනා තරගයෙන් හැමදාම පළවෙනියා වෙන්නේ දෙමළ කෙල්ලෙක් වෙන මම. හැබැයි මම තරගයෙන් දිනුවට ඒ ගීතය මට හදලා දෙන්නේ පිලාකා. ඔය වගේ තව දෙයක් තියෙනවා. මට චිත්‍ර අඳින්න පොඩ්ඩක්වත් බෑ. මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් කෙරුවේ සංගීතයයි. ඉතින් මම අලුතින් යන පාසලේ ඒ දවස්වල සංගීතය, නැටුම් කිසිම විෂයක් තිබුණේ නෑ. චිත්‍ර විෂය විතරයි තිබුණේ. ඇත්තටම කිව්වොත් මට මලක්වත් ඇඳගන්න බෑ. හැබැයි රිස්කාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් මම කරන්නේ රිස්කාගේ චිත්‍ර පොත උස්සනවා. මගේ චිත්‍ර පොත මම රිස්කාට දෙනවා. දීලා මම කියනවා මගේ පොතේ චිත්‍රය ඇඳලා පාට කරලා දුන්නොත් තමයි මම ඔයාගේ පොත දෙන්නේ කියලා. ඉතින් එයා මගේ පොතේ ඉස්සෙල්ලාම චිත්‍රය ඇඳලා පාට කරලා ඉවර වුණාට පස්සේ තමයි මම එයාගේ පොත එයාට දෙන්නේ. ඊටපස්සේ එයා එයාගේ පොතේ චිත්‍රය අඳිනවා. හොඳම දේ තමයි මගේ චිත්‍ර පොතේ චිත්‍රය අඳින්නේ රිස්කා. එයාගේ පොතෙත් චිත්‍රය අඳින්නේත් එයාම තමයි. හැබැයි වැඩි ලකුණු ලැබෙන්නේ මට. සමහර දවස්වලට මට ලකුණු දහයෙන් දහයයි. හැබැයි රිස්කාට දහයෙන් හතයි. ඔන්න ඔය වගේ සුන්දර මතකයන් ගොඩක් තියෙනවා අපි දෙන්නා අතර.

නිරංජනී ඔබගේ සහ රිස්කාගේ මිතුරුකමට දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. ඒ අවුරුදු විස්සක කාලය ඇතුළත ඔබ දෙන්නා අතර මතගැටුම් තරහවීම් එහෙම වෙලා නැද්ද?
මේ අවුරුදු විස්සක කාලය තුළ කවදාවත් අපි දෙන්නා තරහ වෙලා නෑ.

නිරා ඔබ රංගන කටයුතුවල නිරතවෙලා ඉන්නවා. ඒ ගැන ඔබගේ හොඳම යාළුවා මොන වගේ ප්‍රතිචාරද දෙන්නේ?
එයා තමයි මට මුල ඉඳන්ම උදව් කළේ. මගේ පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණේ ගායිකාවක් වෙන්න. උසස් පෙළින් පස්සේ 2009 රිස්කයි රිස්කාගේ අම්මයි එක්තරා රියැලටි තරගයකට මගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඊටපස්සේ මට ඒ රියැලටි තරගයෙන් කතා කළා එන්න කියලා. ඉතින් මාධ්‍යයට මුලින්ම මම ආවේ ඒ රියැලටි තරගයෙන්. ඒකයි මම කිව්වේ මට මුල ඉඳන් රංගන කටයුතුවලට එන්න උදව් කළේ රිස්කා කියලා. ඊටපස්සේ රිස්කා මැලේසියා ගියා වැඩිදුර අධ්‍යාපනය සඳහා. හැබැයි එයා මැලේසියා ගියාට මම හැමදාම කතා කළා එයාට මගේ හැමදේම කියන්න. එයත් හැම දෙයක්ම කියන්නේ මට. රටින් පිටක හිටියත් අපි දෙන්නාගේ බැඳීම නැති වුණේ නෑ. අදටත් මම නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපානවා නම් රිස්කා අනිවාර්යයෙන් ඒ නාට්‍ය හෝ චිත්‍රපට බලනවාමයි. සමහර වෙලාවල්වලට මට සමහර චරිත හරියට කරන්න බැරිවෙනවා. ඒ වෙලාවට මට කියනවා නිරා ඔයාට මේක හොඳට කරන්න පුළුවන්. ඔයා ඒ චරිතය ඇඟට අරගෙන කරන්න කියලා. එයා මාව ධෛර්යමත් කරනවා. එයාගේ ඒ ධෛර්යමත් කිරීම මට ගොඩක් වටිනවා. කොහොම හරි මම අද යම් තැනක ඉන්නවා නම් ඒ රිස්කා නිසා තමයි.

කොච්චර හොඳ යාළුවෙක් වුණත් රිස්කාගෙත් කුමක් හෝ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නිරංජනී ඔබ රිස්කාගේ දකින අඩුපාඩු මොනවාද?
රිස්කාගේ තියෙන ලොකුම අඩුපාඩුකම තමයි මොනවා හරි දෙයක් කිව්වම ඒ කියන දේ එකපාරින් පිළිගන්නේ නෑ. ඒ කියන්නේ කිසියම් දෙයක් අපි වැරදි කියමුකෝ. හැබැයි එයා ඒ දේ හරි කිව්වොත් හරිම තමයි. එයා පිළිගන්නේ නෑ. ඒක වැරදි කියලා. ඒක එයාගේ අම්මත් කියනවා. මම දකින එකම අඩුපාඩුව ඒක තමයි.

ඉදිරි කවදා හෝ දවසක ඔය දෙන්නාගේ අවුරුදු 20ක මිතුරුකම නැති වුණොත් ඔබට මොනවගේ හැඟීමක් දැනෙයිද?
කවදාවත් ඒ දේ මම හිතන්නේ නෑ අපි ඔය දේ මානසික පැත්තෙන් හිතුවොත්. සාමාන්‍යයෙන් සයිකොලොජිවල තියෙනවා යම් කිසි බැඳීමක් අවුරුදු 10කට වැඩිය පවතිනවා නම් ඒ බැඳීම මැරෙනකම් තියෙනවා කියලා. දැන් අපේ යාළුකමට අවුරුදු 20ක්. අපි දැන් පවුලක්. මට එයා යාළුවෙක් නෙවෙයි දැන් මගේ පවුලේ සාමාජිකයෙක් වගේ. අපි දෙන්නා වෙන් වෙනවා නම් මීට කලින් වෙන් වෙලා. එයා පිටරටත් ගිහිල්ලා හිටියානේ. ඒත් අපේ යාළුකම නැතිවුණේ නෑනේ. ඒකයි මම කියන්නේ කවදාවත් මම ඒ දෙය ගැන හිතන්නේම නෑ.

අවසානයට නිරංජනීට ඔබගේ යාළුවාට මොනවාද කියන්න තියෙන්නේ?
මේ ආත්මේ විතරක් නෙවෙයි, අපි ඉපදෙන හැම ආත්මෙම මේ යාළුකම, මේ ආදරය, සෙනෙහස තියෙන මගේ හොඳම යාළුවා වෙලාම ඉපදෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම එහෙම කියන්න හේතුව අපිට සහෝදර බැඳීම් නැත්නම් අපේ පවුල්වල බැඳීම්වලට වඩා අපේ ජීවිතේ හරිම විදිහට හැඩ ගන්වන්නම් අපි හැමෝටම හොඳ යාළුවෙක් ඉන්නම ඕනේ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා ඔයාගේ යාළුවාව පෙන්වන්න ඔයා කවුද කියලා අපි කියන්නම් කියලා. ඒ තරමට අපේ යාළුකමට ජීවිතේ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මේ යාළුකම හැම ආත්මෙම තව තව ශක්තිමත් වෙලා ආදරය වැඩිවෙලා මගේ හොඳම යාළුවාම වෙලා ඉපදෙන්න ඕනේ කියලා තමයි මට අවසානයට කියන්න තියෙන්නේ.