සිඳී ගිය සඳ ගලා ගිය ගඟ
අමා වැස්සක් රැගෙන දෝතට...
එ දවසක කවුරුන් හෝ කාගේ හෝ ජීවිතයට ඒ ආවේ හදවතේ සහසක් ගිම් නිවන්නටය. ජීවිතයේ ඉවුරු අස්වද්දමින් ඒ ඉවුරු ගහ කොළ මලින් සරසනු පිණිසය. ඒ ඉවුරු තෙමා සනහා ගලා යන ගඟ ප්‍රේමය නම්...
ඒ ගඟ සිඳී ගිය සඳ..
එවන් ප්‍රේමයක් අත්හැරී දිය කඳුළක් තරම්වත් නොලැබම වියළි බිම්කඩක් සේ ඉරිතලන්නට වන් විට ජීවිතය ඒ නිසරු බිම තෙමා යළි ගඟක් ගලා යයි නම්...
ඒ බිම යළි යළිඳු අස්වද්දනු රිසියෙන් අමා වැස්සක් යළි වසීනම්.. ජීවිතය දැනෙන්නට හුස්මක් ගනු පිණිස එවන් ආදරයක් නොඉල්ලා හිඳින්නේ කවුරුන්ද? ආදරයට ආදරය කරන කිසිවෙකුත් එවන් ආදරයක් ඉල්ලා නොහිටින්නට හේතුවක් නැත. ප්‍රේමයට, ප්‍රේමයෙනුත් ඔබ්බට ආදරයට ආත්මීයව බැඳෙන උන් වෙත්නම්, ඒ ප්‍රේමයට හා ආදරයට මහරැත් සපයන්නට තරම් ප්‍රේමය සහ ආදරය දැන හැඳිනගත් උන් වෙත්නම්, සංසාර හැඟීමකින් ලද ස්නේහයට නිර්ලෝභීව වටිනාකම් දිය හැකි උන් වෙත්නම් ඒ උන්ට ජීවිතය යනු ආදරයම මිස අන් කවරක්ද? ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද? ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?
එවන් ළතෙත් හදවතක් හිමි ඒ ආදරණීය ස්වාමියා හමුවන්නේ සෙත් කවක් වී ගැයෙනු පිණිසම ගීතයෙනි.
සෙත් කවක් වී ගැයෙනු පිණිසම
සසර මඟ පේවී
මං ආවා සොඳුරී
සිඳී ගිය සඳ ගලා ගිය ගඟ
අමා වැස්සත් රැගෙන දෝතට
මං ආවා සොඳුරී..
මේ ගීතය තුළ දිගහැරෙන සංවේදනාත්මක මානවීය භාව සමුදාය පිරිමියකුගේ ජීවිතයට සේම එනයින්ම ගැහැනියකගේ ජීවිතයටද සාධාරණ විය හැකිය. ප්‍රේමයට ප්‍රේම කළ හැකි ආදරයට ආදරය කළ හැකි එහෙත් එහි මඟ වැරදී ගිය ඕනෑම පිරිමියෙකුට හා ගැහැනියකට මේ හැඟීම සර්ව සාධාරණ විය හැකිය. ප්‍රේමය, ආදරය රැගෙන ජීවිතයට සපැමිණෙන උන් සිටිය හැකි වුවත් සදාතනික සුවඳක් හදේ අතුරා නික්ම යන්නට ඒ එන හැම කෙනෙකුටම බැරිය. ආදරයට හෝ ප්‍රේමයට වලංගු විය යුත්තේ ඉල්ලුම - සැපයුම න්‍යාය නොවේ. ප්‍රේමයේ හා ආදරයේ සියලු සීමාවන් සලකුණු විය යුත්තේ හුදෙක් ගනුදෙනුවලින් පමණක් නොවේ. සාම්ප්‍රදායික බන්ධනයක නීති රීති හා යුතුකම් වගකීම් වලින් පමණක් නොවේ. ප්‍රේමය හා ආදරය යන මනෝභාවයන් අරුත් පූර්ණ මහා වටිනාකම් බවට පත් කරන්නට නම් සංසාර කෘතවේදීත්වයත් ඔබ ඊට මුහු කළ යුතුය.
නොඉල්ලමි කිසිවක්ම
ආදරය හැරෙන්නට
යන සිද්ධාන්තය අස ඔබ ආදරය තුළ ආදරයම පමණක් සෙවිය යුතුය. ජීවිතය මහ ගසක් නම් ඒ ගසේ මල් ඵල සාර සුබාවට පළඳවන්නට අවැසි ශක්තිය ධෛර්ය ඒ හා සබැඳි ආධ්‍යාත්මික වූ සියල්ල එවන් ආදරයක් විසින් ඔබ වෙත නිරායාසයෙන්ම තිළිණ කරනු ඇත. කවදා හෝ, මරණයේදී හෝ නික්ම යන දිනක් වෙත්නම් සුවඳ තවරා නික්ම යන ආදරයක් බවට පත්වන්නේ ඒ සා විසල් වටිනාකම් දරාගත් ආදරයක්මය.
ඒ සියලු ආදරණීය හා මානුෂික වටිනාකම් හඳුනාගත් මිනිසෙක් මේ ගීතය තුළින් හමුවේ. වස් කවක් වී ගැයෙන උන් නිති සැරිසරන පරාර්ථයෙන් තොර ජරාජීර්ණ ආධ්‍යාත්මයක් සහිත ලෝකයක ඔහු ආවේ සෙත් කවක් වී ගැයෙනු පිණිසමය. සෙත් කවක් වී ගැයෙමින් ආශිර්වාදයෙන් සුභාෂිතයෙන් ජීවිතයේ දාහය නිවන්නට ඒ ආවේත් සසර මඟම පේවීගෙනය. පේවෙමින් පිළිවෙත් රකිමින් අප යමක් කරන්නේම මහා භක්ත්‍යාදරයක් හිතේ රඳවාගෙනය. ඒ සා හැඟීමකින් ඒ ආවේ නෑඹුල් මලක් නෙලන්නට නොවන වග ද ගීත රචකයා ව්‍යංගාර්ථයෙන් හඟවයි.
සිඳී ගිය සඳ ගලා ගිය ගඟ..
ඒ ආවේ තවකෙක් විසින් අත්හැර දමන ලද ජීවිතයක් වෙතටය.
ළතෙත් බව දැන් නොවිඳින බිමකට ඒ ආවේ අමා වැස්සක් රැගෙනය.
සොබාදහම දුන් සොඳුරුතම තිළිණය මහා වැස්ස යැයි සිතෙන තරමට වැස්ස සොඳුරුය. ආදරණීයය. සැනසිලිදායකය. මේ නිකම්ම නිකම් වැස්සක්ද නොවේ. එය සැනසිල්ල වගුරුවන අමා වැස්සකි. ඒ වැස්සට වහින්නට ඉඩ දී ඔහු නිකම් බලා සිටියාද නොවේ. ඒ අමා වැස්ස දෝතට රැගෙන ඔහු සපැමිණියේය. දෝතට ගෙන යමෙක් වෙත යමක් තිළිණ කරන්නේ මහා භක්ත්‍යාදරයකිනි. සැඟවුණු අරුතින් මේ කියවන්නේ සොඳුරියේ ඔබේ ජීවිතය නිවනු පිණිස රැගෙන ආ හැකි උත්තරීතරම ප්‍රේමය මා රැගෙන ආ බවය.
ප්‍රේමය යනු ලොව ප්‍රබලතම මානවීය හැඟීම බව මම විශ්වාස කරමි. ප්‍රේමය තුළ අනුරාගය සහ ඉල්ලීම්, බලාපොරොත්තු, මේ සියල්ල කැටි වී මුහු වී ඇති වගද මම විශ්වාස කරමි. ප්‍රේමයෙනුත් ඔබ්බට මේ විශ්වයේ පවතින උත්තරීතරම මානව හැඟීම ආදරය බව මම විශ්වාස කරමි. අනුරාගය හා භෞතිකත්වය කේන්ද්‍ර කරගත් සබඳතාහි මුල් සිඳී බිඳී ගිය සඳ එය අත්හැරුණත් කිසිදු කිලුටක් එක් නොවූ සඳ එළියක් සේ සදිසි ආදරයක් එසේ අත්නොහැරේ. ඒ පෙරළා බිඳකුත් ලබනට නොසිතා යන න්‍යාය සැබෑ ආදරය හා ගැවසෙන බැවිනි. එහෙයින් ලොව උත්තරීතරම හැඟීම ලෙස ආදරය අබිසෙස් ලබයි.
ජීවිතයේ මහ කන්ද නගින්නට අත්වැලක් වී, දිවියේ සරතැස නිවාගන්නට උරහිස දන් දෙද්දී ඒ සියල්ල වෙනුවෙන් අනෙකාගෙන් ලැබෙන්නේ කෘතවේදීත්වයෙන් තොර අගෞරවයක්, අනාදරයක් නොසලකා හැරීමක්, නම්..
කවුද අපේ ජීවිතවල මේ දේවල් මේ විදිහට තීරණය කරන්නේ? මේ ගීතය අවසානයේදී විවරණය කරන්නේ කුසල් අකුසල් කර්මය ජීවිතයේ සංසාර ගමන පිටුපස ප්‍රබලම සාධකය විය හැකි බවය.
ගයා අවසන තුන් පිරිත මම
සැදූ පෙම් ආරණ්‍යයේ
හෙළා ගිනිසර කැණිමඬල නුඹ
විමානය ගිනිබත් කළේ
කියන් සොඳුරී නුඹේ හදවත
සුවඳ මල් ඇයි නොපිපුණේ
ප්‍රේමය, ජීවිතයේ කොතෙක් නම් පූජනීය තැනක ඔහු වඩා හිඳුවා ඇත්දැයි මේ ගීතයේ මේ පද සමුච්චය සාක්ෂියකි. ආරණ්‍යයක් යනු විමුක්තියට මඟ කියන තෝතැන්නකි. ඒ තැන සුවදායකය. සැනසිලිදායකය. ඔහු ඔහුගේ ප්‍රේමයේ නාමයෙන් ගොඩනැගුවේ ප්‍රේම ආරණ්‍යයකි. ඒ ආරණ්‍ය ගොඩනැගුවේ තුන් පිරිත ගයා අවසානයේය. ඒ ගැයූ තුන් පිරිත ප්‍රේමයේ පාරිශුද්ධ ගීතිකාවයි. ඒ සැදූ පෙම් අරණෙහි කැණිමඬල ඇය විසින් ගිනිබත් කරන ලදී. කැණිමඬල යනු නිවසේ මුදුන් කේන්ද්‍රයයි. එසේනම් අංසවේදී අවලස්සන හදවතක් හිමි ඒ ගැහැනිය ගිනිතබා සුණුවිසුණුකර දැම්මේ ප්‍රේම ආරණ්‍ය යේ කැණි මඬලයි.
එහෙත් එසේ වෙද්දීත් ඉවසිලිවන්ත ප්‍රේමය හඳුනන ඔහු අවෛරීව මෙසේ ප්‍රශ්න කරයි.
කියන් සොඳුරී නුඹේ හදවත
සුවඳ මල් ඇයි නොපිපුණේ
ඔහු සංවේදනාවන් උපේක්ෂාවන් දරාගෙන ජීවිත විමානයම ගිනිබත් කළ ඇයට අවසානය තෙක්ම ආමන්ත්‍රණය කරන්නේ සොඳුරී යන ළතෙත් වදනිනි. කියන් සොඳුරී ඇයි නුඹේ හදවත් යායේ මනුෂ්‍යත්වයේත් ආදරයේත් කෘතවේදීත්වයේ සුවඳ රඳන මල් නොපිපුණේ... ගීතය පුරාම ඉතා ඉවසිලිවන්තව ඔහු ඇය ප්‍රශ්න කරන එකම එක තැනද එතැනය.
නිර්මාණශීලී ලේඛකයකු, ගීත රචකයෙකු සහ විචාරකයකු වන වෛද්‍ය අසේල විජේසුන්දර විසින් ලියූ මේ ගීතය සංනාදවත් කර ගැයුවේ දිව්‍යමය හඬ මාධුර්යයකට උරුමකම් කියන අමරසිරි පීරිස් නම් මහා ගාන්ධර්වයාය. ඉසියුම් ශෝකී භාවයන් ඉස්මතු කරන සංගීත ඕවිල්ලක නැලවිල්ලේ නැලවෙන මේ ගීතය තුළින් වෑහෙන ශෝක රසයේ ප්‍රබලම ආධාරකය වන්නේ ඒ සංගීත සුසංයෝජනයයි.
කියන් සොඳුරී නුඹේ හදවත
සුවඳ මල් ඇයි නොපිපුණේ...
යන තැන ඒ ශෝක රසය මැනවින් දනවයි. සංගීතය මෙන්ම අමරසිරි පීරිස්ගේ මානවීය ගුණ කැටි වූ කටහඬද එහිදී ප්‍රබල ලෙස ශෝක රසය දනවමින් ගීතය කෙරේ ශ්‍රාවක ආශක්තභාවය මැනවින් යා කරයි.
මේ ලොව අංශ්‍රමාත්‍රයකින්වත් කිළිටි නොවූ යම් නොකිළිටි දෙයක් වෙත්නම් ඒ සඳ එළියයි.
ගීතයේ එක් තැනකදී සංවේගයෙන් මෙසේ අසයි.
සඳ එළිය සේ සුපෙම්බර වී
කියා දෙන්නට ජීවිතේ
පෙම්බර යන වදන සු යන උපසර්ගයෙන් පූර්ව වූ විට එහි අර්ථය පෙම්බරත්වයේ අනන්තයකි. එසේ සුපෙම්බර වී ජීවිතය කියා දෙන්නට.
සසර මඟ මහ කුසලයක් වී
සොඳුරියේ ඇයි නොවැඩියේ
මේ හමුවීම සසර අකුසලයක් බව ගීතය තුළ හුස්ම ගන්නා මිනිසා නොකියා කියන්නේ කුසලයක් වී ඇයි නොවැඩියේ යන ප්‍රකාශයෙනි. එහෙත් ඔහුගේ හදවතේ කිසිදු අහුමුල්ලක වෛරයේ සටහන් නොමැත. සොඳුරියේ ඇයි නොආවේ ලෙස නොඅසමින් ඇයි නොවැඩියේ යයි අසන්නට තරම් ගෞරවාන්විත වූ පිරිමියෙක් ඔහු තුළ ජීවත් වෙයි.
ගීතයේ අවසානය තුළ ඔහු සපැමිණෙන කූටප්‍රාප්තියේදී ප්‍රේමය, ආදරය විෂයෙහි ගන්නා තීරණ හුදෙක් සංවේදී හැඟීම්බර බවින් පමණක් නොව සබුද්ධිමත් බවේ පහනින්ද එළිය විය යුතු වග ඔහු පසක් කරයි.
අවැසි නෑ මුණගැසෙන පැතුමක්
යළි සසර ආරණ්‍යයේ
ඔබ කවුදැයි දැන හඳුනාගත් ඉනික්බිති ඔබ යළි සසර ප්‍රාර්ථනාවක් කරගන්නට තරම් ප්‍රේමය හෝ ආදරය ළඟ මම තවදුරටත් මංමුලාවූවෙකු නොවෙමි. එහෙයින්ම ඔහු ඉවසිලිවන්තව ජීවිතේ අනේක සැඩ කුණාටු සංයමයෙන් දරාගෙන ප්‍රේමයෙන්ම...
එක්කලෙක ප්‍රේමය යැයි විශ්වාස කළ ඒ රැවටීම ආධ්‍යාත්මිකව අත්හරියි.
එතැනදී ඔහු පසිඳින මනුෂ්‍යත්වය පිළිබඳව දිගහැරුම අන් සියල්ලට වඩා සොඳුරු යැයි මට සිතේ.
නිර්මාණයක උත්පත්ති ප්‍රස්තුතය යනු වරෙක ස්ව ජීවන අත්දැකීමක් විය හැක. තව වරෙක ජීවත්වීම තුළ ඔහු තමන්ගේ කරගත් අන් අයකුගේ සංවේදී අත්දැකීමක් විය හැක. ඒ කවරක් වේවා නිර්මාණයක් තුළින් සහකම්පනය හා ප්‍රකම්පනය මුදාහල සඳ ශ්‍රාවක, පාඨක, ප්‍රේක්ෂක හදවත් එය ආත්මීයව ස්නේහයෙන් වැළඳ ගනී.
මනරම් ඉවසිලිවන්ත එසේම ගීතයකදී විරල ලෙස හමුවන වදන් සමුච්චයක් සුසංයෝජනය වී ලියැවුණු සෙත් කවක් වී ගීතය සුභාවිත ගීතයේ මඟ හසරට එක්වූ තවත් එක් සෙත් කවියක් වැන්න.
► රුචී සේනාධිත්