2021 මාර්තු 13 වන සෙනසුරාදා

අද කෝටියක් දුන්නත් යන්න බැරි තැන්වලට එදා මම ගියා.....

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 284

මේ සති අන්තයේ My Travel ගැන සුන්දර කතාබහකට අපත් සමඟ එකතු වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරියි.

නයනා මේ දවස්වල තොරතුරු මොනවාද?
මේ දවස්වල රෑනගල වලව්ව කියලා ටෙලි නාට්‍යයක රංගන කටයුතු කරනවා. ටික දවසකට කලින් &මහවිරැ පණ්ඩු* නාට්‍යයේ වැඩ කළා. දැන් ඒකෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ. ඔය නාට්‍යය දෙක තමයි රංගනය පැත්තෙන් කරන වැඩ වන්නේ. ඊට අමතරව මට රූපලාවන්‍යාගාර තුනක් තියෙනවා. ඒ වගේ වැඩ ටිකක් වැඩි නිසා කාර්යබහුලයි. ඒ නිසා කලාව පැත්ත ගොඩාක්ම මම සීමා කරලා තියෙන්නේ.

නයනා ඔබ Travel කරන එක පුරුද්දක් විදිහට කරන දෙයක්ද?
අනේ නෑ.... මම පුරැද්දක් වශයෙන් ඇවිදින එක කරන්නේ නෑ. මම දන්නවා විවිධ කට්ටිය ඉන්නවා ඇවිදින එක පුරැද්දක් විදිහට කරනවා. මම නම් හිතන්නේ මම අකමැතිම දේ තමයි Travel කරනවා කියන එක.

ඇයි ඔබ Travel කරනවාට ඔච්චරම අකමැති?
ඒකට හේතුව තමයි මම පුංචි කාලේ ඉඳන් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කලා කටයුතුවලට සම්බන්ධ වුණු දවසේ ඉඳන්ම මම ලංකාවේ නොගිය තැනක් නෑ. ලංකාවේ වගේම විදෙස් සංචාරද ඇති වෙනකම් මම ගිහිල්ලා සති මාස ගණන් ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔය දේට තමයි මම අකමැතිම.  ඒ වගේම මම කැමතිම දේ තමයි ගෙදර ඉන්න එක.

කොච්චර අකමැති වුණත් ඔබ පොඩි හරි ආස කරන තැනක් මේ ලෝකේ කොහේ හරි තියෙන්න ඇති. ඒ කොහෙද?
මෙහෙමයි මම යන්න අකමැති වුණාට ගියපු තැන් වලින් ආසකරපු තැන් ගොඩක් තියෙනවා. ඒ අතරින් ගොඩක්ම ආස කළ තැනක් තමයි මීමුරේ කියන්නේ.

නයනා ඇයි ඔබ මීමුරේට විතරක් විශේෂ ආසාවක් දක්වන්නේ?
ඒකට හේතුව තමයි, මගේ පළවෙනි ටෙලිනාට්‍ය රූගත කිරීම කළේ මීමුරේ. ඒ නාට්‍යය තමයි විජය ධර්මශ්‍රී මහත්තයාගේ කස්තිරම කියන නාට්‍යය. ඒ නිසා තමයි මම මීමුරේට එච්චර ආසා කරන්නේ. මම හිතන්නේ එතුමා මීමුරේ කියන ගම හොයාගන්න කොට ලංකාවාසි කිසිම කෙනෙක් එහෙම ගමක් තියෙනවා කියලා හොයාගෙන නෑ. ඒ වගේ තමයි මට මතක. එතුමා තමයි ඒ පැත්තට යන පාරවල් පවා හැදුවේ. ඒ නාට්‍යයේ කතාව තිබුණේම මීමුරේ කියන ගම ආශ්‍රිතවයි. ඉන් අනතුරුව තමයි විවිධ චිත්‍රපට, නාට්‍යවලට ඒ ගම්මානය යොදා ගත්තේ. ඒ තරම්ම සුන්දර තැනක් තමයි මීමුරේ කියන්නේ. ඇත්තටම කිව්වොත් මීමුරේ ගමක් කියල කියන්න බෑ. හරියට වෙනමම රටක් කියලයි මට දැනුණේ. ලකේගල කියලා ගලක් ආශ්‍රිතව තමයි මේ නාට්‍යය කළේ. වැව්, දියඇලි, කුඹුරු, කඳු, පිදුරු සෙවිලි කළ ගෙවල්, පුදුමාකාර ලස්සන ගමක්. කොටින්ම කිව්වොත් විදුලියවත් නෑ. ඒ මිනිස්සුන්ටම ආවේණික වුණු විදිහට තමයි ඒ මිනිස්සු ජීවත් වෙන්නේ. හොඳම දේ තමයි ඒ නාට්‍යයට දායක වෙලා හිටියා එවකට අපේ ලංකාවේ හිටපු හොඳම නළු නිළියෝ කට්ටිය. මම නම් අලුත්. මොකද මගේ පළවෙනි ටෙලිනාට්‍යය නිසා. හැබැයි කොච්චර ප්‍රසිද්ධ නළු නිළියෝ හිටියත් ඒ කිසිම කෙනෙක්ව ඔවුන් අඳුරගෙන හිටියේ නෑ. හැබැයි එකම එක්කෙනෙක්ව ඒ ගමේ මිනිස්සු අඳුර ගත්තා. ඒ තමයි රත්නා සුමනපාල මහත්මිය. ඒකට හේතුව තමයි ඒ ගමේ මිනිස්සු බැටරියකින් TV එකක් බලනවා. ඒකට පේන්නේ කෝපි කඩේ ටෙලිනාට්‍යය විතරයි. ඒ නිසා රත්නා සුමනපාල මහත්මියව විතරයි ඒ මිනිසුන් අඳුර ගත්තේ. අපි ඒ ගමේ මාස තුනක් විතර හිටියා. අපිත් හිටියේ ලාම්පු පත්තු කරගෙන. මේකප් කළෙත් ලාම්පු එළියෙන්. ඔය හේතු නිසා තමයි මම මීමුරේට එච්චරටම කැමති.

නයනා ඔබ ඒ කාලයේ මාස තුනක් විතර මීමුරේ කියන ගමේ ජීවත් වෙනවා. ඒ කාලය තුළදී ඔබට සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. හොඳම දේ තමයි මගේ ස්වාමිපුරුෂයාව මට හමුවුණේ මේ නාට්‍යයේදී තමයි. ඒ දේ කවදාවත් අමතක කරන්න බැහැනේ. එයා ඒ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂක. අපි දෙන්නාගේ සම්බන්ධය ඇති වුණෙත් ඒ නාට්‍යය නිසා. ඒ දේ තමයි අමතක කරන්න බැරි ප්‍රධානම දේ. ඊට අමතරව තව ගොඩක් සිද්ධි වුණා. මමයි දමිතයි දෙන්නා අලුත් වගේම අපි දෙන්නා පොඩියි. අපිට රඟපෑම ගැන ලොකු දැනුමක් නෑ. අපි දෙන්නාගේ වැඩේම වැව්වලට යනවා. ගිහිල්ලා නානවා. නටනවා. හරි විනෝදෙන් තමයි අපි දෙන්නා හිටියේ. අපිට ඒකට වෙලාව තිබුණා. මොකද අපි එක දවසක් රෑගත කිරීම් කෙරැවට පස්සේ ඊළඟ කොටස රෑගත කිරීම් කරන්නේ තවත් දවස් දෙකකට පස්සේ. මොකද එයාලට අපිට කොළඹ එවන්න බෑනේ. ඒ ගමට කොළඹ ඉඳන් යන්නම දවස් දෙක තුනක් යනවනේ. ඉතින් අපි ඒ දවස් දෙකේ කරන්න පුළුවන් හැමදේම කරනවා. අපෙත් ළමා කාලය වගේනේ ඒ කාලේ. ඔන්න ඔය වගේ අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා.

ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ මෑත කාලයේදී මීමුරේ ගියේ නැද්ද?
මෑතකදි නම් අපිට යන්න බැරිවුණා. අපිට දැන් අවුරුදු 15ක පුතෙකුත් ඉන්නවා. හැබැයි තාමත් ඒ ගමේ මිනිසුන්ගේ සම්බන්ධතා අපේ මහත්තයාට නම් තියෙනවා. එයානේ ඒ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂක. ඉතින් එයා තමයි ඒ ගමේ මිනිස්සු සම්බන්ධ කර ගත්තේ නාට්‍යය කරන කාලයේදී. ඒ කාලේ තිබුණ සම්බන්ධකම් අදටත් එයා ළඟ තියෙනවා. ඒ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා මහත්මයාවයි, නෝනවයි, බබාවයි අපිට බලන්න ඕනේ මෙහේ එන්න කියලා. හැබැයි අපිට එහේ යනවානම් සතියකටවත් කාලය වෙන් කරගන්න ඕනේ නිසා තමයි අපි පොඩ්ඩක් ඉන්නේ. කොහොමත් මෑතකදී යන්න තමයි ඉන්නේ.

නයනා ඔබ ලංකාවෙන් පිටත සංචාරයන් සඳහා ආසා කරන රටවල් එහෙම ඇති නේද?
මම ලංකාවෙන් පිට රටවල් කිහිපයකටම ගිහිල්ලා තියෙනවා. සමහර සංචාර මාස දෙක තුන ඉඳලා එන්නේ. හැබැයි ගිහිල්ලා එනකොට පිස්සු හැදිලා වගේ තමයි ගෙදර එන්නේ. ඒ නිසා මම ලංකාවෙන් පිට කිසිම රටකට යන්න ආස නෑ. කිසියම් වැඩකට වෙන රටකට යනවා නම් වැඩේ කරපු ගමන් මට ගෙදර එන්න ඕනේ. වෙන අය වගේ ඇවිදින්න කරන්න මම ආස නෑ.

ඔබ දැකලා ඇති සමහර මිනිසුන් ඇවිදින්න ගියපු අවස්ථාවල ඒ යන තැන ඇස් දෙකෙන් විඳින්නේ නැතිව. ඒ තැන ඡායාරූපවලින් විතරක් විඳිනවා. ඔබ එවන් ක්‍රියාවන් ගැන කොහොමද දකින්නේ?
අපි යම් කිසි තැනකට යනවා නම් ඉස්සෙල්ලා අපි ඒ යන තැන ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහන්න ඕනේ. ඊටපස්සේ ඕනෙම නම් ඡායාරෑපයක් ගත්තට කමක් නෑ. අපේ රටේ ගොඩක් අය පුරුදුවෙලා තියෙන්නේ කොහේ හරි ගියොත් වාහනෙන් බැස්ස ගමන් ඡායාරෑප ගන්න එකනේ. ඒක හොඳද ලස්සනද කියලවත් බලන්නේ නෑ. ඔය දේට හොඳම උදාහරණය තමයි අපි රූපලාවන්‍ය පන්ති කරනවා. මම ඉතින් ළමයින්ට හෙයාර් ස්ටයිල් එකක් දාන විදිහ කියලා දෙනවා කියමුකෝ. එතකොටම ඒ ළමයි කරන්නේ ෆෝන් එකෙන් කැමරා දිග ඇරගන්න එක. ප්‍රශ්නයක් ඇහුවට කිසිම කෙනෙකුගේ ඔලුවේ නෑ ඒක. ඇයි එහෙම වෙලා තියෙන්නේ. එයාලාගේ අවධානය දෙන්නෙ කැමරා කරන එකට. සජීවීව අවධානය දෙන්නේ නෑ. ෆෝන් එකෙන් රෙකෝඩ් කළාට කමක් නෑ. හැබැයි සජීවීව කරන දේට අවධානයක් දීලා ඉවර වුණාට පස්සේ. ඒ නිසා මම කියන්නේ කොහේ හරි තැනකට ගියොත් ඉස්සෙල්ලාම ඒ තැන සජීවීව විඳලා ඊටපස්සේ මතක සටහනක් විදිහට ඡායාරෑපයක් ගත්තට කමක් නෑ කියලයි මම හිතන්නේ.

අනාගතයේදී කොහොම හරි ඇවිදින්න යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් ඔබට තියෙනවාද?
මම දඹදිව, නේපාලය, ඉන්දියාව හැමතැනම ගියපු කෙනෙක්. ලංකාවේ මහාබෝධි සංගමයෙන් අනගාරික ධර්මපාලතුමා ගැන වාර්තා වැඩසටහනක් කළා. ඒකෙදි කළේ ලංකාවේ එතුමා ගියපු කරපු තැන් ගැන සහ ඉන්දියාවේ එතුමා ගොඩබැස්ස තැන ඉඳලා එතුමා අපවත් වෙනකම් එතුමා ගිය ආව කතාකරපු කාපු බීපු කරපු කියපු හැමදේවල්ම මට ඇස් දෙකෙන් දැක බලාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ අයත් එක්ක කතා කරන්න ලැබුණා. ඒ තරම් පිනක් ලංකාවේ කාටවත් ලැබිලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද අද කෝටියක් නෙවෙයි කෝටි පනහක් දෙනවා කිව්වත් ඒ තැන්වලට යන්න බෑ. ඒ වගේ වැඩක විතරයි යන්න අනුග්‍රහය ලැබෙන්නේ. ඒ වගේම මම නේපාලයේ ගිහිල්ලත් අපගේ බුදුරජාණන් වහන්සේගේ හැම සිද්ධස්ථානයකටම ගියා. මේ ගියපු කිසිම ගමනක් මම වියදම් කරලා ගියපු ගමන් නෙවෙයි. මම ඉල්ලපු ගණන් මට ගෙවලා මාව අරන් ගිහිල්ලා තමයි ඒ වැඩසටහන් කළේ. නේපාලයේ ලුම්බිණි සල් උයනේ එක වෙසක් පොහොයක් දවසක සජීවීව වැඩසටහන් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ පුදුමාකාර තැන්වලට මම ගිහිල්ලා තියෙනවා. මම අදටත් ආස කරන්නේ ඉන්දියාවේ දඹදිව වන්දනාවට සහ නේපාලයේ ඒ තැන්වලට යන්න තමයි.