දරුවන්ට ආදරය කරන්න
එහෙත් ඔබගේ සිහින හා අභිලාෂයන්
ඔවුන්ට නොදෙන්න
මක් නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේම
සිහින ඇති බැවිනි
ඛලීල් ජිබ්රාන් කියන ලේඛකයා එහෙම කියනවා. මම අහන්නේ ඔයා එකඟද ඒ කියන දෙයට. ලේ වලින් ජීවිතය දුන්නා කියලා අපි කවුරුවත් කාටවත් අයිති නැහැ. ජීවිතයක් කියන්නේ තනි අයිතිකාරයෙක් සතු දෙයක්. ඒ ජීවිත එක්ක අපි පෑහෙනවා වෙන්න පුළුවන්. පයක් ගහලා නවතින්න ඉඩක් ඉල්ලනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ජීවිත විනිශ්චය කරන්න ඒ ජීවිතවල තීරකයෙක් වෙන්න අපිට අයිතියක් නැහැ.
ජීවත්වීම තුළ මිනිස්සු හොයන ජීවිතයක් තියෙනවා. එක් පැත්තකින් ජීවත්වීම කියන්නෙත් ජීවිතය තුළ ජීවිතයක් සෙවීමට තමයි. ඒ සෙවීම තුළ අපි සොයන දේවල්, නොසොයන දේවල්, ඉල්ලන දේවල් වගේම නොඉල්ලන දේවලුත් ලැබෙන්න පුළුවන්. ඒත් මට හිතෙනවා මිනිසුන් හුස්මක් වැටෙද්දි නොවින්ද ජීවිතය - විඳින්නට අවකාශයක් නැතිවුණ ජීවිතය තවත් කොහේ හරි තැනකදි කෙනෙක් හොයනවා වෙන්න පුළුවන්.. මරණයෙන් මතු හෝ.. ඔව් එසේ විය හැකියි.. එවැනි කතාවක් පසුබිම් කරගෙන තමයි බූත් හින්දී සිනමා රූපකාරකය නිමැවෙන්නේ. මේ සිනමා රෑපකාරකය අභව්‍ය යැයි කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් මම කැමතියි මේ චිත්‍රපටය යටින් දිවෙන ඒ මනුෂ්‍ය හැඟීමට. මිනිස්සු මරණයෙන් මතුවත් ජීවත්වීම තුළ නොලද ජීවිතය සොයනවා. එහෙම ජීවිතය හොයන වැඩිහිටියෙක් තමයි එහි මරණින් මතු භූතයෙකු ලෙස නවාතැනක් හොයාගෙන එන්නේ. ආදරය කියන්නෙම කොච්චර ප්‍රබල හැඟීමක්ද කියනවනම් හුස්මක් වැටෙන මිනිස්සු වගේම නොවැටෙන මිනිස්සුත් මේ ජීවන සැරිසැරීම ඇතුළේ ආදරය හොයනවා.
ජීවිතය කියන්නේ භෞතික සාධක මත පමණක් තීරණය කළ හැකි දෙයක් නොවෙයි.. භෞතිකත්වයට පුළුවන් ජීවිතය සුඛෝපභෝගීත්වයෙන් පෝෂණය කරන්න. එහෙත් ජීවත්වීම තුළ අපි ආධ්‍යාත්මිකව ඉල්ලන සන්තුෂ්ටියක් තියෙනවා. මිනිසුන්ගේ අවසාන හුස්ම ගිලිහෙන මොහොතේ මිනිසුන් තමන් ඉල්ලන ජීවිතය හා සන්තුෂ්ටිය නැත්නම් කොහේ කොතැනකදී හෝ ඒ ජීවිතය මිනිස්සු හොයනවා. එය හරිම සංවේදීයි සහ අතිශය ඉසියුම් ලෙස මානුෂිකයි.
ඔහුට වියපත් ජීවිතය තුළ තම පුතුගෙන් සෙවූ ආදරය මඟහැරෙනවා. ඔහු ජීවිතය ගෙවන්නේ ඔහුට දරාගන්න නොහැකි තරම් හුදෙකලාව. ඔහු මියැදෙන්නෙත් ඒ හුදෙකලාවේ කම්පනය සමඟින්. මරණින් මතු ඔහු තමන් තම පුතුගෙන් සෙවූ ආදරය ලැබෙන තැනක නවතිනවා. ඒ තමන්ගේ මුනුපුරෙක් වගේ වෙච්ච පුංචි එකෙක් ළඟ. ඒ පුංචි එකත් තමන්ගේ මව්පියන්ගේ වැඩවලින්ම පිරිච්ච ජීවිත එක්ක ගෙවන්නේ සංතෝෂයෙන් පිරිච්ච ජීවිතයක් නෙවෙයි. ආදරය පිළිබඳව හිස්තැනක් ඒ දරුවාගේ ජීවිතයේ එක් තැනක තියෙනවා. මේ දරුවා තේරුම් ගන්නවා මේ හුස්මක් වැටෙන මනුස්සයෙක් නොවෙයි කියලා. ඒත් දරුවන්ගේ ලෝකය කොයිතරම් ගැඹුරුද සහ සියුමැලිද කියනවනම් ආදරය, කරුණාව තමන් කෙරේ සැලකිල්ල දැනෙන තැන ඒ දරුවාට ඒ කිසිම කාරණයක් වලංගු වෙන්නෙ නැහැ. ඒ මිනිස් හා නොමිනිස් බන්ධනය මහා පුදුමාකාර වේගයකින් හා ශක්තියකින් බැඳෙනවා. අවසානයේ ඒ දරුවාගේ ලෝකයේ ඒ දරුවා වැඩිපුරම ආදරය කරන කෙනා බවට පත්වෙන්නේ ඒ සීයා.
එහෙත් යථාර්ථය තුළ එක් මොහොතක් එනවා ඔහුට ඒ දරුවාගේ ලෝකයෙන් සදහටම ඈත්වී යන්නට සිදුවන. ඒ මොහොත ඒ දෙදෙනාටම දරාගන්න බැරි මොහොතක්.
මම මේ සිනමාපටයට මේ තරම් කැමති ආදරය මේ ලෝකයේ කොතැනටද කාටද වලංගු නොවන්නේ කියන යථාර්ථය මේ සිනමාපටය තුළින් කතා කරන නිසා. ප්‍රේමයටත් වඩා ආදරය ජීවිතය පුරා තැවරෙද්දි එතන හරි චමත්කාර රසයක් දැනෙනවා. අපි මේ ලෝකයට එන්නෙ තනියම වුණත්, යන්නෙ තනියම වුණත්, ජීවත්වීම උදෙසා අපි අපිට දැනෙන අය හොයනවා ජීවිතය වෙනුවෙන්. ආදරය මිනිසුන්ට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ අන්න ඒ සෙවීම තුළ.
එහෙත් ලෝකයේ වපසරිය මිනිසුන්ගේ අවශ්‍යතාවයන්හි වපසරිය පුළුල් වෙන්න....වෙන්න. එහි සීමා මායිම් අතොරක් නැති අනන්තයක විහිදෙන්න විහිදෙන්න, මිනිස්සු ජීවිතය වෙනුවෙන් හොයන දේවල්වල සීමාවක් කෙළවරක් අවසානයක් නැහැ. ඒ තුළ මිනිස්සුන්ට ආධ්‍යාත්මික සෙවීම්වලට වඩා භෞතික සෙවීම් වැදගත් යැයි වරෙක හැඟෙන්න පුළුවන්. එහෙත් අවසානයේ අතරමං වීම තුළ තම ජීවිතයෙන් මඟහැරුණු දේවල් මිනිසුන්ගේ මතකයට එන මොහොතක් එන්න පුළුවන්. ඒත් ඒ වෙද්දි අපි ජීවිතයේ හුඟාක් දුර පහුකරගෙන ඇවිත්නම්... ආය හැරිලා ඒ ජීවිතය හොයාගෙන යන්න කාලයක් නෑ අපට. ඒ හින්දා ජීවිතය පරෙස්සමින් ඉඹින්න.. සුවඳ බලන්න.. සුවඳවත් කරන්න..