2021 මාර්තු 20 වන සෙනසුරාදා

අමෙරිකානු රැප්කාරයටත් වැඩ දාපු අපේ ක්‍රිස්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

ඇමෙරිකානු රැපර්වරයකු, ගීත රචකයකු හා තැටි නිෂ්පාදකයකු ලෙස ලෝක ප්‍රකට මාෂල් බෲස් මැතර්ස් නොහොත් එමිනෙම්ගේ නවතම ගීතය &ටෝන් ඩෙෆ්* නමින් එළිදක්වා තිබේ. මින් දස වසරකට පමණ පෙර ඔහු හා රිහානා විසින් ගයන ලද &ලව් ද වේ යූ ලයි නැමැති ගීතය අවලංගු කරන ලෙසට ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාරයට ප්‍රතිචාරයක් ලෙසින් ඔහු එම ගීතය නිර්මාණය කර තිබේ.  මෙම ගීතය සඳහා සජීවිකරණ වීඩියෝවක් ද නිර්මාණය කර ඇති අතර එම නිල වීඩියෝව  නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික තරුණයකු වන රැන්ඩි ක්‍රිස් පෙරේරා විසිනි.

ඔහුට එම අවස්ථාව හිමි වූයේ අපූරු ආකාරයකටය. එමිනෙම්ගේ ගීත ප්‍රිය කරන රැන්ඩි එමිනෙම්ගේ ගොඩ්සිලා නමැති ගීතය සඳහා සඳහා සජීවිකරණ වීඩියෝවක් නිර්මාණය නිර්මාණය කළේ තම ආත්ම තෘප්තිය සඳහාය. එම වීඩියෝව යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ අති විශාල රසික පිරිසකගේ ප්‍රතිචරය එයට හිමි විය. දින දෙකක කාලයක් තුළ මිලියන තුනක පමණ පිරිසක් එය නරඹා තිබිණි. 

වාසනාව රැන්ඩි සොයා ආවේ ඒ සමඟය. එමිනෙම්ගේ තැටි නිෂ්පාදන සමාගමේ නිලධාරින්ටද රැන්ඩිගේ නිර්මාණය ඇස ගැටී තිබිණි. එම නිර්මාණයේ  නැවුම් සජීවිකරණ රටාවට ඔවුහු ප්‍රිය කළ බවක් පෙනෙන්ට තිබිණි. වීඩියෝව ප්‍රචාරය වී සිව් දිනකින් එම සමාගම ඊ මේල් පණිවිඩයක් මගින් රැන්ඩි ඇමතුවේය. තම සමාගම මගින් ස්මිනෝ නමැති නවක රැප් ගායකයකු වෙනුවෙන් නිර්මාණය කරන නවතම ගීතයක් සඳහා සජීවිකරණ වීඩියෝවක් නිර්මාණය කරන ලෙසට ඔවුහු පසුගිය සැප්තැම්බරයේ රැන්ඩිගෙන් ඉල්ලීමක් කළහ. ඒ අනුව රැන්ඩි ජාත්‍යන්තර ගායකයකු වෙනුවෙන් තම පළමු නිර්මාණය ඉදිරිපත් කළේය. 

එමිනෙම්ගේ ටෝන් ඩෙෆ් ගීතය සඳහා නිල වීඩියෝව නිර්මාණය කරන ලෙසට ඔහුට ආරාධනා ලැබුණේ ඉන් අනතුරුවය. මෙම ගීතය අන්තර්ගත වන්නේ එමිනෙම්ගේ මියුසික් ටු බි මර්ඩර්ඩ් බයි*  නමැති ගීත ඇල්බමයේය. රැන්ඩි විසින් නිර්මාණය කළ වීඩියෝව පසුගිය මාර්තු 16 වැනිදා වන විට 67,21,755කට අධික පිරිසක් නරඹා තිබිණි. ලොව පුරා සිටින එමිනෙම් රසිකයන් විශාල පිරිසකගෙන් මෙම වීඩියෝවට ඉහළම ප්‍රතිචාර ලැබී තිබේ.
මෙම සජීවිකරණ වීඩියෝව නිර්මාණය කිරීම රැන්ඩිට අභියෝගයක් විය. විනාඩි පහක කාලයක් ප්‍රචාරය වන එම වීඩියෝව නිර්මාණ කිරීමට ඔහු දිනකට පැය 18ක පමණ කාලයක් වැඩ කළ අතර ඒ සඳහා  දින විස්සක් පමණ ගත විය. එම වීඩියෝව සඳහා ලේයර හැට අටදහසක් පමණ නිර්මාණය කරන්නට ඔහුට සිදු විය. සාමාන්‍යයෙන් පුවත්  වීඩියෝවක අන්තර්ගත වන්නේ ලේයර දහයක් හෝ දොළහක් වැනි ප්‍රමාණයක් වන අතර මෙම නිර්මාණය සඳහා රැන්ඩිට කොපමණ වෙහෙසක් දරන්නට සිදු වී ඇතිදැයි ඉන් නිගමනය කළ හැකිය.

රැන්ඩි කුඩා කළ සිටම චිත්‍ර ශිල්පයට ප්‍රිය කළේය. ළමා වියේදී කාටූන් චිත්‍රපට නැරඹූ ඔහු ඒ ඇසුරින් තමාගේම කාටූන් චිත්‍ර නිර්මාණ කළේය. අනාගතයේ නිර්මාණ ශිල්පියකු වීමේ අදහසක් ඔහු තුළ නොවීය. ළමා වියේදී කෙටි කලකට ලන්ඩනයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් හිමි වූ අතර එහිදී ඔහු තම සොහොයුරා සමඟ විවිධ නිර්මාණ කිරීමට පෙළඹිණි. තම සිතෙහි පහළ වූ අදහස් ඇසුරින් ඔහු චිත්‍රකතා නිර්මාණය කළේය. 

පසුව ඔහු රූපවාහිනි නාලිකාවක නිෂ්පාදන කාර්ය මණ්ඩලයට එක් විය. ගැෆ්‍රික් නිර්මාණ ශිල්පියකු හා සජීවිකරණ ශිල්පියකු ලෙස ඔහුට එහිදී මනා පුහුණුවක් ලබා ගත හැකි විය. වසර 12ක් පමණ සජීවිකරණ ශිල්පියකු ලෙස ආයතන කිහිපයක සේවය කළ ඔහු පසුව තමාගේම නිර්මාණ බිහි කරන්නට පියවර ගත්තේය. ඔහුගේ නිර්මාණ අතර රහත් හිමිවරු, සටිග්මාටා නම් රොක් ගායක කණ්ඩායම වෙනුවෙන් කරන ලද නිර්මාණය, පුංචි දූපතේ කතාව, වැනි සජීවිකරණ නිර්මාණ ජනප්‍රිය විය. ඔහු අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ නිර්මාණ රටාව ඔහුටම ආවේණික වූවකි. සාමජ මාධ්‍ය අතර ඔහුගේ නිර්මාණ ඉතා ජනප්‍රිය වන අතර ඔහුගේ නිර්මාණ ත්‍රිමාණ නිර්මාණ (3D) නොව  ද්විමාණකරණ (2D) නිර්මාණය. ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය රැන්ඩිගේ අනාගත අරමුණ තව තවත් විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමය..