2021 මාර්තු 20 වන සෙනසුරාදා

ටෙලියෙන් කැළඹෙන බුකිය

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ටෙලිනාට්‍ය ගැන Y Trend එක Line කරනවා කියලා කිව්වොත් Set නෑ වගේ. ඒ වුණාට මචෝ මේ වෙලාවේ ලංකාවේ ටෙලිනාට්‍ය තරම් තරම් ජනප්‍රිය Y Trend එකක් ලංකාවේ නෑ. හැබැයි මේ කතාව ටෙලිනාට්‍ය ගැන නෙවෙයි. ටෙලිනාට්‍ය නිසා අපේ බුකියේ ඇති වෙලා තියෙන සංස්කෘතිය ගැන. සරලවම කියනවා නම් බුකී ටෙලි ප්‍රේක්ෂකාගාරයේ උමතුව ගැන.

මචෝ පක්ෂ පාට ජාති ආගම්වලට බෙදිලා මරාගන්න එක අපේ ශ්‍රී ලංකන් සුදාලගේ පුරුද්දනී. ඒක කමක් නෑ කියමුකෝ. මෙන්න බොලේ අපේ බුකී සුදාලා මේ දවස්වල ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ විදිහට බෙදිලාත් මරා ගන්නවා. So ආතල් මචෝ. මේක පටාන් ගත්ත තැන ඉඳලාම සීන්කෝන් එක ගලපන්න ඕනෑ. නැත්තම් අපේ පැංචෝ පැංචියොන්ට සීන් කෝන් එක ග්‍රීක් වගේ වෙනවා.

මේ ටෙලිනාට්‍යවල නම් කියනවාට සමාවෙන්න හරිය. වැරදි හිතකින් නෙවෙයි මේ කතාව කියන්නේ. කවුද නොදන්නේ කූඹියෝ ටෙලිනාට්‍යය. කූඹියෝ ටෙලියෙන් තමා මේ සීන් එක පටාන් ගත්තේ. ලංකාවේ බුකියේ පළවෙනි වතාවට කූඹියෝ නිසා හැදුණා ලොකු Fans Group එකක්. ඒක තිබ්බේ මාර නමක් කූඹි ගුල. මේ ටෙලිය ගැන විචාර, සංවාද, විහිළු තහළු මේ Group එක ඇතුළේ හොවමාරු වුණා. ඒ වගේම කුඹියෝවාදී ගතියකුත් මේ එක්කම ඇති වුණා.
ඒ වෙනකොට ජනප්‍රිය රුල්ලේ හිටපු දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයෝ සහ කූඹියෝ ප්‍රේක්ෂකයෝ අතර බුකියේ මත ගැටුම් නිර්මාණය වුණා. මචෝ මේක ටිකක් සැරට ගියා. ඒ කියන්නේ ගහ මරාගත්තා නෙවෙයි. Post හැදුවා විචාර ලිව්වා. Comment වලින් පැටලුනා. ඒක වෙනම ආතල් එක්ක වෙලා තිබ්බේ. සමහර අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශත් මේ සීන් එක තව වර්ධනය කළා. ඒත් මේක සීරියස් සීන් එකට වඩා ආතල් සීන් එකක් විදිහට අපි දැක්කේ. මේ අතර &සහෝදරයා* වගේ ටෙලිනාට්‍යයත් බුකී ප්‍රේක්ෂකාගාරයක් අත්පත් කරගත්තා. සහෝදරයා Fans Group එකත් නැගලා ගියා. කොහොමෙන් කොහොම හරි බුකී ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක සීන් එක ආරම්භ වුණේ මෙන්න මේ විදිහට.

සුදාලට කියන්න ඉස්සර නම් අපි රෑප පෙට්ටියක් දිහා බලාගෙන ටෙලිනාට්‍යයක් බලනවා කාලා බීලා නිදාගන්නවා. ආයේ උදේට නැගිටලා සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඔය Office වල අපේ ලලනාවෝ නම් ඔය ටෙලිනාට්‍ය ගැන පට්ට සාකච්ඡා කරා. සමහරු ඒ වගේ මෝස්තර කොපි කළා. ඒ වුණත් ටෙලිනාට්‍ය ගැන ලොකු සංවාද එහෙම තිබේ නෑ. එහෙම එකක් කලාතුරකින් හරි තිබුණේ ටීවී එකේම නැත්නම් පත්තරේ. ඉතින් එහෙම යුගයක් පහුකරලා තමා අපි අද මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ.
දැන් සුදෝ ටෙලිනාට්‍ය බලලා ඉවර වෙද්දී ඒ ගැන Post සෑහෙන්න ප්‍රමාණයක් බුකියේ වැටිලා. විචාර විවේචන වැහි වැහැලා. සිරාවටම මේක පිස්සුවක් බ්‍රෝ. ඒ වුණාට පට්ට ආතල්. වෙලාවකට නම් හිතෙනවා මේ බුවාලට වෙන වැඩක් නැද්ද කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනෑ මචෝ හැම ටෙලියකටම මෙහෙම ප්‍රතිචාර නෑ. ගොඩක් වෙලාවට එකම ප්‍රේක්ෂක පිරිසක් පොඩි පොඩි වෙනස්කම් සහිතව වර්ධනය වෙන ගමන් ටෙලිනාට්‍ය හරහා මාරු වෙනවා.
අපි කතාව නැවැත්තුවේ කුඹියෝ එකෙන්නේ. එතකොට කූඹියෝ වගේම සහෝදරයා ටෙලි බුකී ප්‍රේක්ෂකයා ඊළඟට මාරු වුණේ. &තණමල්විල කොල්ලෙක්* නිර්මාණයට. ඒක වෙන ආතල් එකක් වුණා. බුකී ප්‍රේක්ෂකයො කතාවෙලා ලොකේෂන් බලන්නත් ගියා කියහන්කෝ. තණමල්විල කොල්ලෙක් තාරුණ්‍යයේ උමතුමක් වුණා. FB Group එක වෙනම ආතල් පොට් එකක් වුණා මචෝ. මේ නිර්මාණයටත් අර තණමල්විල කොල්ලෙක්වාදී ප්‍රේක්ෂකයෝ හිටියා. ඒ අයත් සුපුරුදු පරිදි දෙවෙනි ඉනිම සංගීතේ වගේ ප්‍රේක්ෂකාගර එක්ක පොඩි කොක්කක් දා ගත්තා. 

එත් දෙවෙනි ඉනිම වගේ FB Group එහෙමත් ඒ ප්‍රේක්ෂකයෝ Up කරා. ඒ වගේම පස්සේ මේ FB එකේ Group හැදිල්ල රූපවාහිනී නාලිකා තමන්ගෙ අතට ගන්න හැදුවා. ඒක නම් උදාහරණ ගොඩක් තියෙනවා සුන්දරා. ඒත් ඒක එච්චර සාර්ථක වුණේ නෑ. ප්‍රේක්ෂකයෝ හදාගත්ත Group තමා නැගලා ගියේ. මේ සීන් එකේ ලොකුම විශේෂත්වය වුණේ කාටත් මේ ප්‍රේක්ෂකාගාරය තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න බැරිවුණ එක. ඒක මරු සිරාවට. ඒ වගේම ටෙලි චරිතවල වදන් අල්ල ගන්න එකත් නැගලා ගියා. ඒක නම් ඉතින් ඉස්සර ඉඳලා තිබ්බ Trend එකක්. වැදගත්ම දේ ගොඩක් වෙලාවට මේ FB ටෙලි සංස්කෘතිය ඇතුළේ මිනිස්සුන්ගේ ඇත්ත අදහස් උදහස් අපි දැක්කා. සමහර ඒවා ප්‍රබුද්ධයි. සමහර ඒවා ගොන්. ඒත් ඒ ඔක්කොම රියල් මචෝ. බොක්කෙන් එන ඒවා.

අද  තත්ත්වය බැලුවොත් නාඩගම්කාරයෝ කියන ටෙලිය තමා මේ වෙලාවේ බූකී Hit එක. ඒක වටේ වෙනම වෙනම සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ. ටෙලි සම්මානවල ජනප්‍රිය සම්මාන වෙනුවෙනුත් වෙනම ආතල් එකක් යනවා මේ දවස්වල. නාඩගම්කාරයෝවාදී අයත් ඉන්නවා. කොහොම වුණත් නාඩගම්කාරයෝ නම් Group හත අටක් තියෙනවා. මේ ටෙලිය මේ අපූරු Y Trend එකේ ලොකු සන්ධිස්ථානයක්. ඒ ගැන ඉතින් අපි බරට කතා කරන්නේ නෑ. මොකද මේ ටෙලිය තවම යනවානේ.

ඉතින් බුකී ටෙලි සංස්කෘතියේ තත්ත්වය ඔන්න ඕක තමා පැංචෝ. මේකට නම් අපි නරකක් කියන්න යන්නේ නෑ. හැබැයි සුදු පුතේ හැමෝගේම රසඥතා මට්ටම් එක වගේ නෑ කියලා මතක තියාගන්න ඕනෑ. ඒ නිසා උපහාසය අපහාසයකට පෙරළන්න එපා. අනික මේවා සිරා ගන්නත් එපා බලා සැනසෙන්න. එච්චරයි හරිය. එහෙනම් කොල්ලෝ අපි ගියා.