2021 මාර්තු 20 වන සෙනසුරාදා

හොඳ චරිතයක් ලැබුණොත් ලංකාවට එනවා...

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

ජනප්‍රිය රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් ලන්ඩනයේ පදිංචියට ගියේ මීට අවුරුදු හයකට කලින්. එත් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට හා ටෙලි නාට්‍ය පෙළක් ප්‍රදර්ශන පෝලිමේ තිබෙනවා.
කාංචනා මෙන්ඩිස් රඟපාන තවත් චිත්‍රපටයක් මේ දිනවල සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශලාවල තිරගත වෙනවා. නිහාල් සංජයගේ නිෂ්පාදන අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ වස්සානේ සිහිනය. චිත්‍රපටය මාර්තු 25 සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වෙනවා.

කාංචනා මෙන්ඩිස් සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායක වුණේ සනත් ගුණතිලක සහ රොෂාන් පිලපිටිය ඇතුළු ජනප්‍රිය නළු නිළි පිරිසකි. මේ චිත්‍රපටය පිළිබඳ ලන්ඩනයේ සිට අප හා කතාබහකට එකතු වූ කාංචනා කියා සිටින්නේ වසර හයකට පසු ඇගේ චිත්‍රපටයක් තිරගත වීම ගැන ඇයට වගේම ඇගේ රසික රසිකාවියන්ගේ සතුටට හේතුවක් වනු ඇති බවය.
වස්සානේ සිහිනය මම බොහොම ආශාවෙන් රඟපෑ චිත්‍රපටයක්. අපි ඒ කාලය ගැන කළේ හරිම විනෝදෙන්. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සනත් ගුණතිලක සමඟ රඟපාන්නට ලැබීමත් මම විශේෂයෙන් සිහිපත් කරනවා. මගේ මුල්ම චිත්‍රපටයේ පටන්ම ඔහු විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. කාංචනා කතාව පටන් ගත්තේ එහෙම.

නිෂ්පාදන - අධ්‍යක්ෂක නිහාල් සංජය ගැන මතකය අවදි කළොත්.......?
නිහාල් සංජය මම දැන හඳුනගෙන අවුරුදු බර ගාණක් වෙනවා. මම මුලින්ම රංගනයට පිවිසෙන විට මට අවුරුදු 12යි. අවුරුදු 14 දී විතර මට ලැබෙනවා සුරලොව කියන ටෙලිනාට්‍යයේ චරිතයක්. එතකොට මම දහය වසරේ ඉගෙන ගන්නවා. ඉස්කොලෙ ඇරුණු ගමන් මාව ෂූටිංවලට එක්කර ගෙන යන්න එන්නේ නිහාල් සංජය. ඔහු ඒ ටෙලි නාට්‍යයේ විධායක නිෂ්පාදකවරයා. මට රංගනයක් සඳහා ඒ කාලෙ ලොකුම මුදලක් ලැබුණෙ සුරලොව ටෙලි නාට්‍යයට. රු. 10,000/- කියන්නේ ඒ කා‍ලෙ ලොකු මුදලක්, විශේෂයෙන් ඉස්කෝලේ යන ළමයෙකුට.

තවමත් ප්‍රදර්ශනය නොවූ ඔබ රඟපෑ චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිබෙනවද? 
ඔව් කීපයක්ම තියෙනවා. මම අවසන් වතාවට සිනමා රංගනයක් සඳහා දායක වුණේ ක්ලීටස් මෙන්ඩිස් මහත්මයාගෙ %පරපුර^ චිත්‍රපටයෙ. ඒක තිරගත වුණා. අවසාන වතාවට රඟපෑ ටෙලිනාට්‍ය %ගිරිකුල^. එම රංගනය සඳහා මම සුමති හා රයිගම් හොඳම නිළියට නිර්දේශ වුණා.

ඔබ ටෙලිනාට්‍ය තුළින් රංගනයට පිවිසියත් ඔබට සිනමාවෙත් දොර විවෘත වුණා?
ඔව්. මම ඒ අතින් හරි වාසනාවන්තයි කියලත් හිතෙනවා. බොහෝ දෙනෙක් හිතනවනෙ ටෙලිනාට්‍යය තුළින් ජනප්‍රිය වෙන අයට සිනමාවට එන්න අමාරුයි කියලා. මට එහෙම වුණේ නැහැ. මගේ මුල්ම සිනමා රංගනය වන &රාජ්‍ය සේවය පණිසයි* වෙනුවෙන් මට හොඳම සහාය නිළියට හිමි සම්මානයත් ලැබුණා. ජනප්‍රිය මෙන්ම හොඳම නිළිය සම්මානත් මට ලැබී තිබෙනවා. සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් යටතේ රංගනයෙන් දායක වෙන්නත් මම වාසනාවන්ත වුණා. ඊට අමතරව දකුණු ඉන්දීය චිත්‍රපට දෙකකටත් මම රංගනයෙන් දායක වුණා.

මේ තරම් සම්මානයට පාත්‍ර වුණු නිළියකට සිනමාවෙන් ඈත්වෙලා ඉන්න එක පහසු කාරණයක්ද?
පහසු දෙයක් නම් නෙවෙයි. ඒත් ඇත්තටම මම රංගනයට සමුදීලා නැහැ. මම මගේ පවුලට මූලිකත්වය දුන්නා විතරයි.

ඔබට හොඳ චරිතයක් ලැබුණොත් ඔබ එය බාර ගන්නවද?
අනිවාර්යයෙන්ම මට හොඳ චරිතයක් ලැබුණොත් මම ලංකාවට ඇවිත් රඟපාලා යනවා.

ලංකාවෙ අධ්‍යක්ෂකවරු එබෙන් හරියට වැඩක් ගත්තෙ නැහැ කියලා නිකමටවත් හිතිලා නැද්ද?
එහෙම නම් හිතිලා නැහැ. මම ලංකාවෙන් පිටවෙලා ගිෙය් මගේ වෘත්තීය ජීවිතේ මම හිණිපෙත්තෙ ඉන්න අවධියක. ඒ ගැන මට පසුතැවිල්ලක් නැහැ. මගේ ස්වාමිපුරුෂයා හා දරුවන් තුන්දෙනා සමඟ මම සතුටින් ජීවිතය ගත කරනවා.
ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම්, මට හිතෙන්නෙ මම හරිම ආසාවෙන් ඉන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් රඟපෑවා වගේ හොඳ චරිත මට ලැබෙනව නම්. ඒ වගේ චරිතාංග නිළියක් වෙන්නයි මම කැමති. ලංකාවට ඇවිත් රඟපාලා යන්න වුණත් ලෑස්තියි කිව්වෙ ඒ වගේ හොඳ චරිතයක් ලැබෙනව නම්.

ඔබට ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ රඟපෑ චරිතයක් වෙනස් විදිහට කරන්න කැමති වෙනවද?
එහෙම ලැබුණොත් නම් මට හිතෙනවා මම ඒ කාලෙට වඩා දැන් හොඳට කරයි කියලා. විශේෂයෙන් ජීවිතේ මං ලබපු අත්දැකීම් එක්ක. සක්මන් මලුව චිත්‍රපටයේ අවසානයේදී මං කියන දෙබස් ඛාණ්ඩය අද කිව්වා නම් මම හොඳටම කියනවා.
ඒ වගේම තමයි ඒ කාලෙට වඩා අම්මා කෙනෙකුගෙ චරිතයට මට අද ලොකු සාධාරණයක් කරන්න පුළුවන්. මම දරුවන් තුන්දෙනෙකුගෙ අම්මා කෙනෙක් නිසා.

අවසාන වශයෙන් මම නිහාල් සංජයගෙ චිත්‍රපටයට සුබපතන අතර එය ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ලංකාවෙ මගේ සියලුම රසික රසිකාවියන්ටත් මගේ ආදරය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.