2021 මාර්තු 27 වන සෙනසුරාදා

මට ගරුත්වයක් නෑ කෑගහන්න ඕනෑ තැනදී කෑ ගහන්නේ ඒකයි......

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

තිරිමාදුර කලාවට සම්බන්ධවෙලා වසර තිස් පහක් ගතවෙනවා. ඒ වෙනුවෙන් චිත්‍රපට උළෙලක් පවත්වන්න සියල්ල සූදානම්. මේ ආපු ගමන්මඟ ගැන ආයෙත් අපි ටිකක් කතා කරමු?
ඒක ලෙහෙසි ගමනක් වුණේ නැහැ. මට අවුරුදු දහසයේදී තමයි වේදිකාවේ මුලින්ම මගේ දහඩිය බිඳු වැටෙන්නේ. ඒ ලුම්බිණි රඟහලේදී. එතැන් සිට මම වේදිකා නාට්‍ය සියයක විතර රඟපාලා තියෙනවා. ටෙලිනාට්‍ය ගැන නම් මගෙන් අහන්න එපා. ඒ රඟපාපු ප්‍රමාණය මම කොහේවත් ලියාගෙන නැහැ. ඒ ගැන අද මට තියෙන්නේ පොඩි දුකක්. සිනමාව ගැන හොයලා බලද්දී චිත්‍රපට සංස්ථාවේ ඒ සම්බන්ධව සඳහන් කරලා තියෙන පොතේ 2000 අවුරුද්දේ චිත්‍රපට පනහක රඟපාලා තිබුණා. ප්‍රධාන චරිතයකට මම මුලින්ම රඟපෑවේ සොඳුරු දඩයම චිත්‍රපටයෙයි. එතැන් සිට මම චිත්‍රපටවල රඟපාමින් ඉන්නවා.

ඔබ බොහෝ ව්‍යසනයන්ට මුහුණදීපු කලාකරුවෙක්. මේ කොවිඩ් වසංගතයත් එක්ක කලාකරුවන්ටත් තද පහරක් වැදුණා?
ඔව්.. ඒක ඇත්ත. ත්‍රස්තවාදී ප්‍රශ්නයේදිත් අපි කොහොමහරි මේ සිනමාව කරගෙන ගියා. ජේ.වී.පී. භීෂණ කාලෙදිත් අපි කොහොමහරි සිනමාව කරගෙන ගියා. නමුත් ලෝකේ කිසිම කෙනෙක් හිතාගෙන නොහිටිය මේ කොරෝනා තත්ත්වයට මුළු ලෝකයම මුහුණ දුන්නා. ඒකෙදි මුළු රටේම මිනිස්සු මාස තුනක්ම ගෙවල්වල හිටියා. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගෙදරට වෙලා ඉන්න කියලා පැහැදිලිව කිව්වා. මේ නිසා මිනිස්සු මානසික ආතතියට පත්වුණා. ගේ ඇතුළට වෙලා හිටපු මනුස්සයා මානසිකව නගාසිටුවන්න තිබුණු හොඳම ඔසුව වුණේ රූපවාහිනියයි. ඒ දවස්වල ටෙලිනාට්‍ය සහ විවිධ චිත්‍රපට ඔය රූප පෙට්ටියේ පෙන්නුවා. ඒක ඇතුළේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම මහත්තයලා ඉන්න ඇති. ජෝතිපාල මහත්තයාගේ සින්දු යන්නත් ඇති. ඔය අස්සේ මගේ ටෙලිනාට්‍ය යන්නත් ඇති. මානසික ආතතියකින් පෙළුණු ජනතාවගේ මානසිකත්වය උස්සලා තිබ්බේ මේ රටේ කලාකරුවන් කලාකාරියන්. පුවත්පතක ප්‍රවෘත්ති වැඩි වශයෙන් තියෙන්නේ දූෂණය, හොරකම, දේශපාලනඥයන්ගේ ජඩ වැඩ වගේ දේවල්. මම අවුරුදු පහළොවක් පුවත්පත්වල හිටපු කෙනෙක්. සියලු දේවල් හිත් රිදවීම් වෙද්දී මේ රටේ මිනිසුන්ගේ හිතට පොඩ්ඩක් හරි සැනසීමක් ගේන්න මේ රටේ ඉන්න සමස්ත කලාකරුවන් කලාකාරියන් මහත් වෙහෙසක් ගන්නවා. මේ රටේ ඉතාම දරුණු කාලයේදිත් අපි මේ රටේ මිනිසුන්ව සතුටු කළා. නමුත් ජනතාව සනසපු අපි දුකෙන්. රට වනසපු අය සතුටින්. ඒක තමයි ඇත්ත. ඒක හරි වැරදියි.

වේදිකා නාට්‍ය, චිත්‍රපට පෙන්වන්න පහුගිය කාලයේදී අවසරය ලැබුණේ නැහැ. ඒ කාලය තුළදී කලාකරුවන් ජීවත් වුණේ ඉතා අමාරුවෙන්?
ඔව්.. වේදිකා නාට්‍ය අවුරුද්දකින් පෙන්නුවේ නැහැ. ඒ වෙද්දි මම රඟපෑ වේදිකා නාට්‍ය කිහිපයකටම දින දීලයි තිබුණේ. හැම සෙනසුරාදා ඉරිදාවකම අපි වේදිකා නාට්‍ය පෙන්නුවා. වේදිකා නාට්‍ය නැවැත්තුවා. සිනමා ශාලා වැහුවා. මම සින්දු කිහිපයක් කරපු නිසා දෙයියනේ කියලා සංගීත ප්‍රසංගවලට මට ආරාධනා ලැබුණා. ඔන්න ඉතින් සංගීත ප්‍රසංගත් තහනම් කළා. මේ සියල්ල නැතිවෙද්දී කලාකරුවන් අන්ත අසරණ වුණා. කලාකරුවන් කියන්නේ මාසික පඩියක් ගන්න අය නෙමෙයි. අපි වැඩ කළොත් විතරයි අපිට සල්ලි ලැබුණේ. ඒ නිසා අපි අන්ත අසරණ වුණා. හිඟන්නාට ඉල්ලන්න පුළුවන්. පුලන්නාට ඉල්ලන්න බැහැ. පුලන්නා කියන්නේ දුන්නොත් ෂේප් එකේ ගන්නවා. නැත්නම් නැහැ. කලාකරුවන්වත් පුලන්නා ගාණට වැටුණා. මේ රටේ මිනිසුන්ව සනසන මිනිහාට තමයි ඒක කළේ. මම මේ රටේ මිනිසුන්ට දොස් කියන්නෙ නැහැ. මිනිසුන් අසරණ වුණා. පාලකයන් විසින් ගත්තු වැරදි තීරණ නිසා අද කලාකරුවන් අසරණයි.

කලාකරුවන්ට ණයක් ලබා දෙන්න තීරණය කරලා තිබුණා නේද?
ඒක හොඳයි. හැබැයි ඒ ණය ගත්තාමත් මාසිකව ගෙවන්න ඕනෙ. වැඩ නැතිව අපි කොහොමද දැන් ඔය මාසික මුදල ගෙවන්නේ. ගෙදර පොල් සම්බෝලයි එහා ගෙදර යාළුවන්ගෙන් කොස් කෑල්ලකුයි ඉල්ලගෙන හදාගෙන කන එක ඊට වඩා හොඳයි. බොහෝ කලාකරුවන්ට මේ ආර්ථික ප්‍රශ්නයම තියෙනවා. හැබැයි ඒ අය කතා කරන්නේ නැහැ. ගරුත්වයට හානියක් වෙයි කියලා ඒ අය බයයි. මට ගරුත්වයක් නැහැ. මම මේ පොළොවේ පය ගහන, පොළොවේ දූවිල්ලත් එක්ක ආපු කෙනෙක්. ඒ දූවිලිවලටම මම ආපහු යනවා කියලා මම දන්නවා. ඒක දැනගත්තාම බයක් නැහැ. අරිසෙන් අහුබුදු මහතා අනේ තනි මං කුම් කළත් ජාතිය කළ පවට කියලා කිව්වා. ඇත්තටම මේ ජාතිය කළ පවට තනි මට කිසිම දෙයක් කරන්න බැහැ. අපි හිතාගෙන ඉන්නේ දියවන්නාව තියෙන්නේ මේ බොහෝ ළඟපාතක කියලයි. නමුත් මම හිතාගෙන ඉන්නේ ඒක තියෙන්නේ නෙප්චූන්, ප්ලූටෝ වගේ ඈතක කියලයි. අපි මේ කියන දේ ඔය දියවන්නාවේ ඉන්න අයට ඇහෙන්නෙ නැහැ. ආලෝක ශතවර්ෂ ගාණක් වගේ ඒ අපේ හඬ එහාට ඇහෙන්න ගොඩක් කාලයක් ගතවෙනවා. ඒකට ඒ අය උත්තර දෙන්නත් සෑහෙන කාලයක් ගතවෙනවා. ඒක තමයි අපේ ජාතියටම වුණු වින්නැහිය.

අදට වඩා අතීතයේ කලාකරුවන්ට කලාකාරියන්ට ලොකු ආදරයක් ගෞරවයක් තිබුණා නේද?
අන්න හරි. මගේ අම්මා 1978 ඔක්තෝබර් මාසේ විසි අට වැනිදා පපුවට අත්දෙක ගහගෙන බිම පෙරළෙමින් ඇඬුවා. මම හිතුවෙම තාත්තා මැරිලා කියලයි. මම අක්කාගෙන් ඒ ගැන අහද්දී ඇක්සිඩන්ඩ් එකකින් රුක්මනී දේවි මැරිලනේ කියලා අක්කා කිව්වා. රුක්මනී දේවි අපේ කවුරුවත් නෙමෙයි. නමුත් අපේ අම්මාට රුක්මනී දේවි ගැන ලොකු ගෞරවයක් තිබුණා. පහු කාලයේදී තාත්තාට හොරා මට චිත්‍රපට බලන්න යන්න අම්මා සල්ලි දුන්නේ ඒ චිත්‍රපටවලට තිබුණු ආසාව නිසාමයි.

ඒ කියන්නේ තිරිමාදුර ආසා කළෙත් කලාකරුවෙක් වෙන්නද?
ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මගේ ආසාව වුණේ සින්දු කියන්නයි. මම ඉගෙනගත්තේ මොරටුව වේල්ස් කුමර විදුහලෙයි. අසංක ප්‍රියමන්ත පීරිස් නමය ශ්‍රේණියේ ඉගෙන ගනිද්දි මම දහ වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තා. ඉස්සර ඔය කලා උළෙලවල්වල වැඩ දාන්න මම හරි ආසයි. හැබැයි ඒ කාලෙත් අසංක වැඩ්ඩා. අමරදේව මාස්ටර්ගේ ජගන් මෝහිනී මධුර භාෂිණී ගීතය හරි ලස්සනට අසංක ගායනා කළා. ඒ කාලෙදි ඉතින් කලා උළෙලවල් බලන්න ඔය විශාකා එකේ, අනුලා එකේ එහෙම කෙල්ලොත් ආවා. ඉතින් ඒ කෙල්ලො ඉස්සරහා වැඩ දාන්න මාත් ආසා කළා. මම වික්ටර් රත්නායකයන්ගේ හෝ පලු වන පෙත කම්පිත කරවන ගීතය ගායනා කළා. ඒක එදා කිව්වට ඒ ගීතය ගායනා කරන්න මට අදටත් බැහැ. ඔන්න ඉතින් ඒ ගීතය ගායනා කරද්දි ළමයි ටික නැඟිටලා අත්පුඩි ගහන්න පටන් ගත්තා. මම දන්න ස්වරයක් නැහැ. 88-89 අවුරුද්දේ අපිට ඉතා දරුණු යුගයක් ආවා. මගේ යාළුවෝ උස්සාගෙන ගිහින් මරන්න පටන් ගත්තා. මමත් මව්බිම නැත්නම් මරණය කියලා තිස්ස සර්ගේ තීන්තවලින් පෝස්ටර් ඇන්ඳා. ටික දවසකින් මේ භීෂණයෙන් අපිවත් මැරෙයි කියලා දැනගෙන ඔරුගොඩවත්තේ උපුල් හෝටලයට ගිහින් තේ හැදුවා. මට දවසකට රුපියල් විසිපහක පඩියක් ලැබුණා. මම ඒ සල්ලි සතියක් එකතු කරලා අම්මාට ගිහින් දීලා ආයෙත් දුවගෙන කඩයට ආවා. මට හෝටලයෙන් කන්න ලැබුණා. ඒ නිසා වියදමක් වුණේ නැහැ. මම දරුණුම යුගයක ජීවත්වෙලා පණ බේරාගත්තු මනුස්සයෙක්. මම අද මේ ගෙවන්නේ ජීවිතේ අතිරික්ත කාලයයි. ඉවර වෙන්න තිබුණු ජීවිතේ හතර වතාවක් මම බේරුණා. ඒ නිසා මේ ගෙවන්නේ දෙවියන් විසින් මට දීපු බෝනස් කාලයක්.

තිරිමාදුරට විජය කුමාරණතුංග අපූරු අනාවැකියක් කිව්වා නේද?
ඔව්. මගේ දහම් පාසලේ තෑගි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට විජය කුමාරණතුංග මහතාව ගෙන්නුවා. එදා මට දහම් පාසලේ හොඳම නළුවා සහ හොඳම ගායකයා විදිහට සහතික දෙකක් ලැබුණා. එතකොට මට වයස අවුරුදු දා හතරක් විතර ඇති. විජය කුමාරණතුංග යද්දී දහම් පාසලේ හිටපු කොල්ලො කුරුට්ටෝ ඔක්කොම විජය කුමාරණතුංගගේ කාරය ළඟට දුවගෙන ආවා. මාත් දිව්වා. මම මේ දැවැන්ත මනුස්සයා දිහා බලාගෙන හිටියා. මගේ ඔළුව අතගාපු විජය කුමාරණතුංග දහම් පාසලේ විතරක් නෙමේ.. ලංකාවෙත් හොඳම නළුවා වෙන්න ඕනෙ කියලා කිව්වා. විජයගේ කළු පාට කාරය ඈතට යනකම් මම බලාගෙන හිටියා. ඊටපස්සේ ආයේ කවදාවත් මම විජයව දැක්කේ නැහැ. විජය කුමාරණතුංග මැරුවයි කිව්වාම මම හරියට වේදනාවට පත්වුණා. මට එයාව බලන්න ඕනෙ කියලා මම අම්මාට කිව්වා. මම පෝලිමට එකතු වුණේ ලුම්බිණිය ළඟ ඉඳන්. මිනිය බලන්න පොල්හේන්ගොඩ තිබුණේ. එළිවෙනකම් පෝලිමේ ඉඳලා මම මිනිය බලලා පාන්දර ගෙදර ගියා. උඹ විජයව දැක්කද? මගේ අම්මා අහද්දි &අම්මේ මූණ වහලයි තිබුණේ*කියලා මම අඬලා කිව්වා. අපි විශිෂ්ටතම කලාකරුවාගේ ඔළුවටම වෙඩි තියපු ජාතියක්. ඊටපස්සේ ගීත ලියපු ප්‍රේමකීර්ති ද අල්විස්ටත් අපේ ජාතිය ඔළුවටම වෙඩි තිබ්බනෙ. අපි අපිවම විනාශ කර ගත්තු ජාතියක්.

තිරිමාදුර.. ඔබගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ගැනත් ටිකක් කියමු?
මගේ බිරිඳ බොහොම ඉවසා දරාගෙන මට ලබා දෙන මේ ආදරය මට හරියට වටිනවා. හැබැයි දරුවන් දෙන්නා එක්ක කතා කරන්නනම් බිරිඳ හරහා පොඩි කැබිනට් පේපර් එකක් දාන්නම ඕනෙ. ඒකට පොඩි වෙලාවක් වෙන්කරගන්නම ඕනෙ. ඒකෙ දැන් වරදකුත් නැහැ. සමස්ත දරුවොම දැන් හැදිලා තියෙන්නෙ එහෙමයි. හැබැයි දෙමව්පියෝ ඒක කියන්න ලජ්ජයි. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. උන් හරි හොඳයි. හැබැයි උන් දෙන්නත් එක්ක කතා කරන්න පොඩි වෙලාවක් වෙන්කරගන්නම ඕනෙ. මේ ගෙදර දැන් මට වඩා උන් දෙන්නා හරි කාර්යබහුලයි.

ඔබේ සිනමා උළෙල මාර්තු මස තිස් එක් වැනිදා සිට අප්‍රේල් මස හතර වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට දැනගන්නත් එක්ක තිරගත වෙන්න නියමිත චිත්‍රපට ගැනත් අපි කතා කරමු?
ඔව්.. මාර්තු මස 31 වැනිදා චෙයියාර් රවී (Cheyyar Ravi) අධ්‍යක්ෂණය කළ ධර්ම යුද්ධය, අප්‍රේල් 1 වැනිදා සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ %ටවුමේ ඉස්කෝලේ^, අප්‍රේල් 2 වැනිදා සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර අධ්‍යක්ෂණය කළ The Newspapers චිත්‍රපටය තිරගත වෙනවා. නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ තණ්හා රතී රඟා චිත්‍රපටය අප්‍රේල් 3 වැනිදාත්, සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ %ගාමනී^ චිත්‍රපටය අප්‍රේල් 4 වැනිදාත් තිරගත වෙනවා. මෙම චිත්‍රපට කොල්ලුපිටිය ලිබර්ටි ශාලාවේදී 10.30,  2.30 සහ 6.30 තිරගත වීමට නියමිතයි.

 

                    සේයාරූ I සුමුදු හේවාපතිරණ