2021 මාර්තු 27 වන සෙනසුරාදා

ආච්චිගේ අනාවැකිය හරි ගියා

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

- ශෙරිල් ඩෙකර්

ශෙරිල්.. හුඟක් කාලෙකට පස්සෙ.. ජීවිතේ කොහොමද?
ජීවිතේ හරිම සරලව, සාමාන්‍ය විදිහට සතුටින් ගෙවෙනවා.

පහුගිය දවසක රුවන්ගේ උපන් දිනය යෙදිලා තිබුණා. උපන් දිනය සැමරුවේ කොහොමද.. උත්සවයක් එහෙම ගත්තද?
ඔව්.. රුවන්ගේ උපන් දිනය මාර්තු මාසේ විසි දෙවැනිදා තමයි යෙදිලා තිබුණේ. මේ පාර එයාව සප්‍රයිස් කළේනම් නැහැ. කොවිඩ් තත්ත්වයත් එක්ක අපි උත්සව තිබ්බෙ නැහැ. අපි එළියට යන්නෙ නැතිව ගෙදර කේක් කපලා, කෑම හදලා ගෙදර කට්ටිය එක්ක එයාගේ උපන් දිනය චාම් විදිහට සැමරුවා.

රුවන් ජනප්‍රිය ගායකයෙක්. කොවිඩ් නිසා සංගීත ප්‍රසංග සියල්ලම නතර කරන්න සිද්ධ වුණා. මේ කාලය තුළදී රුවන් සහ ශෙරිල්ගේ ජීවිතේ ගෙවුණේ කොහොමද?
ඇත්ත. සංගීත ප්‍රසංග නැති නිසා රුවන් ඒ කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. මම කොහොමත් ඒ කාලේ ඉඳන්ම හරියට තෝරාබේරාගෙන වැඩ කරන කෙනෙක්. මට ගැලපෙන දේවල් විතරක් කරන කෙනෙක්. මේ කාලෙදී රුවන් online ක්ලාස් කරනවා. ඒ නිසා රුවන් ටිකක් කාර්යබහුලයි. කොවිඩ් ආපු මුල්ම කාලෙදිම තමයි මම රුවන්ට online ක්ලාස් ගැන කිව්වාම එයා කරන්න පටන් ගත්තේ. දැන් නම් සෑහෙන පිරිසක් එයාගේ ක්ලාස්වල ඉන්නවා. පොඩි ළමයි වගේම රුවන්ගේ ක්ලාස් එකේ ලොකු අයත් ඉන්නවා. ලංකාව වගේම ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලිනුත් online වලින් ළමයි හඬ පුහුණුවීම් කරනවා.

පුංචි කාලේ දැකපු හීනයක්ද නිළියක් වෙලා අද මේ හැබෑවෙලා තියෙන්නෙ?
මම ඉස්සර නිළියක් වෙන්න හරි ආසයි. මම පුංචි කාලේ හරි කටකාරයි. පුංචි කාලේ මම කරන වැඩ දැකලා මගේ ආච්චි පවා මම නිළියක් වෙයි කියලා අම්මාට කියලා තිබුණා. ඒ අය මට හරි ආදරෙයි. මම නර්තනයට හරි දක්ෂයි. නර්තනයෙන් තමයි මම මේ තැනට ආවේ. පුංචි කාලේ මට එක එක හීන තිබුණා. කාලයක් මම ගුරුවරියක් වෙන්න, ගුවන් සේවිකාවක් වෙන්න ආසා කළා. හැබැයි ඒ අතරේ නිළියක් වෙන හීනයත් තිබුණා. මගේ අම්මා තමයි මාව නිළියක් වෙන හීනයට ළං කළේ. ඒ වෙනුවෙන් මගේ අම්මිට ස්තූති කරන්නම ඕනෙ.

ශෙරිල් ඉගෙන ගත්ත පාසල?
මම ඉගෙන ගත්තේ කොළොන්නාව ශාන්ත ජෝසප් විදුහලේ. ඒක මිශ්‍ර පාසලක්. ඉස්කෝලෙදි මම හරිම දඟ කෙල්ලෙක්. කොල්ලො වගේ තමයි හිටියේ. හැබැයි පාසලේ තිබුණු කලා උළෙලවල්වලදී, ඉංග්‍රීසි දිනය දා හැමෝටම කලින් ඒ වැඩසටහන්වලට මම තමයි ඉදිරිපත් වුණේ. මගේ ළමා කාලය වගේම මගේ පාසල් කාලයත් හරිම සුන්දරයි. ඒ කාලයට අදටත් මම හරි ආදරෙයි.

ශෙරිල් රඟපෑ මුල්ම නාට්‍ය වුණු අමා ටෙලිනාට්‍යයේ අමාගේ චරිතය අදටත් ජනප්‍රියයි. ශෙරිල් වැඩිය නිර්මාණ බාරගන්නෙ නැත්තෙ ඇයි?
මම මෙහෙම ඉන්න විදිහ හොඳයි කියලයි මට හිතෙන්නෙ. මගේ හිත මට කියන්නෙ එහෙමයි. මට මගේ හිත ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. හිත කියන දේ හරි කියලයි මට හිතෙන්නෙ. අපි හැම නිර්මාණයේම ඉන්න ඕනෙ නැහැ. අපිට ජීවත් වෙන්න සල්ලි ඕනෙ තමයි. නමුත් මම සල්ලි මත්තෙම මේ රස්සාව කරන කෙනෙක් නෙමෙයි. මම හම්බ කළේ මේ රටේ මිනිසුන්ගේ ආදරයයි. මට ඒකට මාර සතුටුයි. මම කවදාවත් සම්මාන බලාපොරොත්තු වුණේ නැහැ. සම්මාන පස්සෙ යන්නෙත් නැහැ. මම හම්බ කළේ මේ රටේ මිනිසුන්ගේ ආදරයයි. මට දෙවියන් වහන්සේ ලබා දීලා තියෙන දේ හරිම ආදරයෙන් හිතට එකඟව මම කරනවා. මම හැමදාම මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. ඒක මට සල්ලිවලට, සම්මානවලට වඩා වටිනවා.

අමා චරිතයේදී අමා අඬද්දී මිනිස්සුත් ඇඬුවා. අමා හිනාවෙද්දී මිනිස්සුත් හිනා වුණා. අමා මිනිසුන්ගේ ජීවිතයට බොහොම සමීප වුණා. මේ ලැබුණු ප්‍රතිචාර ගැන අද මොකද හිතෙන්නෙ?
අදටත් බොහෝ දෙනා ශෙරිල් කියනවාට වඩා මට අමා කියලා තමයි කතා කරන්නෙ. ඒකට මම හරි ආසයි. මහේෂ් අයියයි (මහේෂ් රත්සර මද්දුමආරච්චි) ශාන්ත අයියයි (ශාන්ත සොයිසා) මට දුන්නු වටිනාකමට මම අදටත් මාර විදිහට ඒ දෙන්නට ස්තූති කරනවා. ඒ දෙන්නා අමා තුළින් මට ලස්සන තැනක් හදලා දුන්නා. අමා ලැබුණේ මගේ වාසනාවටයි. අදටත් අමා ජීවත් වෙනවා. නිර්මාණ දහයකටත් වඩා හොඳ එක නිර්මාණයක් කළොත් මට ඒ හොඳටෝම ඇති. ළඟකදි මම ගාල්ලට ගියා. මිනිස්සු මට කතා කළේ අමා කියලයි. අමා රඟපාද්දි මට වයස අවුරුදු විස්සක් විතර ඇති. ලබන මාසෙට මගේ වයස අවුරුදු තිස් දෙකක්. තාමත් අමා මිනිසුන් අතරේ ජීවත් වෙනවා කියලා දැනෙද්දි මට දැනෙන්නෙ ලොකු සතුටක්. මම කලාවට හරි ආදරෙයි. කලාවෙත් හොඳ නැති දේවල්, නරක දේවල් තියෙනවා. ඕනෑම වෘත්තියක එහෙමයි. නමුත් අපි නිවැරදි දේ තෝරාගන්න ඕනෙ. අපිට ජීවිතේ හොඳම මිනිස්සු මුණගැහෙන්නෙ නැහැ. නමුත් අපිට මුණගැහෙන මිනිස්සු එක්ක සමබරව ජීවත් වෙන්න අපි දැනගන්න ඕනෙ.

ඔබ දෙවියන් වහන්සේ දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක්?
ඔව්.. මම රෝමානු කතෝලික කෙනෙක්. මගේ අම්මා බෞද්ධ. මම බෞද්ධ ආගමට ගොඩක් ගරු කරනවා. මම පන්සලුත් යනවා. හැම ආගමකටම අපි ගරු කරන්න ඕනෙ. ඒ වගේම අපි හැමෝටම ගරු කරන්න ඕනෙ. අසල්වැසියන්ට ප්‍රේම කරන්නත්, අපිට වෛර කරන අයට ආශිර්වාද කරන්නත් අපි පුරුදු වෙන්න ඕනෙ. පුංචි කාලේ ඉඳන් මම එහෙමයි ඉගෙන ගත්තෙ. දෙවියන් වහන්සේ මට හැමදේකදිම ආශිර්වාද කරලා තියෙනවා. හැම නරකකින්ම මාව බේරාගෙන තියෙනවා. අපි මොන වෘත්තියක හිටියත් අපි මේ රටේ හැමෝටම ගරු කරන්න ඉගෙන ගන්න ඕනෙ. මම මගේ ජීවිතයට හරි ආදරෙයි. අද මම සතුටින්.