2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අරවින්දලාගේ ආදරය

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

අරවින්ද කෙනෙක් හමුනොවූ කාලයක මම අරවින්දට ආදරය කළා... අරවින්දව මට මුණගැසුණේ විරාගයේ පොත් පිටු අතරේදී.... මාර්ටින් වික්‍රමසිංහට ජීවිතයේදී අරවින්ද කෙනෙක් මුණගැහෙන්නත් ඇති... මුණනොගැසෙන්නත් ඇති... ඒත් විරාගය තුළ මුණගැසෙන්නට ඉඩහළ ඒ අරවින්දට මම ආදරය කරන්න හේතුවක් තිබුණා.................

මම කැමතිම මනුස්ස හැඟීමට තමයි ආදරය කියන්නෙ... දාන පාරමිතාවක් පුරන්න ආදරය තරම් සුදුසු මනෝභාවයක් තවත් නැහැ කියලා මම විශ්වාස කරනවා..... කිසිවක් නොඉල්ලමින් පිරිනැමිය හැකි තැනදී ආදරය කියන්නෙම දාන පාරමිතාවක්. මම අරවින්දව තේරැම් ගත්තෙ ඒ වගේ දාන පාරමිතාවක් පුරන බෝධිසත්වවරයෙක් විදිහට...

මේ ළඟදී දවසක් අපි යාලුවො ටිකක් මුණගැසුණු තැනක එක මාතෘකාවක් වුණේ ආදරය... ආදරය මට දැනෙන ඕනෑම තැනකදී මම ආදරෙයි... ඒත් මම ආසයි රාගය කියන එක ආදරයෙන් වියුක්ත වෙන තැනකදී ආදරය දැනෙනවාට.... ආදරය කියන්නෙ ආදරය මිසක් ගනුදෙනුවක් නොවන තැනකදී ආදරය හරි පිරිසිදුයි....

අරවින්ද ළඟ තිබුණෙත් එහෙම ආදරයක්... ඒ ආදරය ඇතුළේ ඉල්ලීම් නෑ... තිබුණේම පරිත්‍යාග... ඒ තමයි අරවින්දගේ ආදරය. ඕෂෝ කියනවා ආදරයට මලක් සේ පූදින්න ඉඩදෙන්න ඒ මල නෙලා නොගන්න කියලා... අරවින්ද ළඟ තිබුණෙත් එහෙම ආදරයක්...

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතීවා කරෝතිවා

මනස සියල්ල පෙරටුව ගමන් කරන බව ඇත්ත... ආදරය ජීවිතයේ සියල්ල පෙරටුව හිඳින බව ඇත්ත... ආදරය වරෙක ජීවිතයම සේ දැනෙන බව ඇත්ත... ඒත් ජීවිතයම ආදරය සේ දැනෙන තැනකදී යමක් නොඉල්ලමින් යමක් පිරිනමන ආදරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයක්...

විරාගයේ අරවින්දට ආදරය දැනුණු හැටි ඔබ ආදරය ප්‍රතික්ෂේප කරන විදිහක් වෙන්න පුළුවන්... ඒත් මට හිතෙන්නේ ආදරය තියෙන්නේ එතන... ඔව් ආදරය තියෙන්නේ එතන...